නොනිමි මතක පොත – 53

නොනිමි මතක පොත විශේෂාංග සියලුම ලිපි

මේ මස මතක පොතෙන් මා හඳුන්වා දෙන්නේ සිංහල බුද්ධාගම පිළිබඳ මාහැඟි පර්යේෂණ පැවැත්වූ, ලාංකික විද්වතෙක්. එතුමා ආචාර්ය කිත්සිරි මලල්ගොඩ ශූරීන්ය. එතුමා පසුගිය ඔක්තෝම්බර් මස නවසීලන්තයේ ඕක්ලන්ඞ් නුවරදී අප අතරින් වෙන් වී ගියේය.

මා මළල්ගොඩ ශූරීන් හඳුනාගෙන දැනට වසර පනහක් පමණ ගත වී ඇත. මුලදී එතුමාගේ ශිෂ්‍යයෙක් වශයෙන් සමාජ විද්‍යාව හැදෑරූ අතර පසුව 1972 දී එතුමා සමඟ සගයෙකු වශයෙන් පේරාදෙණි සරසවියේ සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවේ උගන්වන්නට මට අවකාශ ලැබිණ.

මලල්ගොඩ ශූරීන් ලංකා විශ්වවිද්‍යාලයට 1961 දී ප්‍රවිෂ්ට වූයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයකු වශයෙන් ඉගෙන ගත් පසුවය. සමාජ විද්‍යාව පිළිබඳ ප්‍රථම පන්තියේ සාමාර්ථයක් ලැබූ ඔහු එංගලන්තයේ Rhodes ශිෂ්‍යත්වයක් ලබා ඔක්ස්ෆර්ඞ් සරසවියට ඇතුළු වූවේය. 1968 දී ලංකාවට පෙරළා පැමිණි ඔහු ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ ඔහුට ත්‍යාගයක් වශයෙන් පිරිනැමූ වාහනය පවා ප්‍රතික්ෂේප කළ පුද්ගලයෙකි. මලල්ගොඩ ශූරීන්ගේ ප්‍රියතම විෂය වූයේ සමාජ ව්‍යුහය, බුද්ධාගම පිළිබඳ සමාජ විද්‍යාව හා නවීකරණයයි. ඔහුගේ සමකාලීන උගතුන් හා මිතුරන් අතර මහාචාර්ය ජේ බි දිසානායක ගනනාත ඔබේසේකර, එච්. එල්. සෙනෙවිරත්න, පෝල් සේරම්, තිස්ස ප්‍රනාන්දු, කුමාර් ඬේවිඞ්, ජෙරල්ඞ් පීරිස් සහ සරත් අමුණුගම ද සනිටුහන් කලයුතු උගතුන් රැසකි.

1972 පෙබරවාරි මස මට තැපෑලෙන් සුදු ලියුම් කවරයක් ලැබුණු අතර ඒ තුළ මනා කොට ශූරීන්ගේ අත්සනකින් යුතුව ලියුමක් විය. එම ලිපිය මා හට සහාය කථිකාචාර්ය තනතුරක් පිරිනමන බව සඳහන් පත්වීම් ලිපියකි. බෙහෙවින් උද්දාමයට පත් වූ මම එදිනම ගම්පහ දුම්රිය ස්ථානයෙන් පිටත් වූ දුම්රියක නැඟ පේරාදෙණි සරසවියට ගියෙමි. ඉතා සතුටින් එම තනතුර බාර ගත් මා හට මලල්ගොඩ ශූරීන්ගෙන් ලැබුණේ ඉතා අගනා උපදෙස් සම්භාරයකි. මා ප්‍රථම වරට එම වසරේ ඉගැන්වූයේ සමාජ සංඛ්‍යා ලේඛන විද්‍යාවයි..

මලල්ගොඩ ශූරීන්ට ඉතා හොඳ සිංහල භාෂා දැනුමක් තිබුණ ද ඔහු වැඩි වශයෙන් අප සමඟ කතාබස් කළේ ඉංග්‍රීසි භාෂාවෙනි. ඉංග්‍රීසි භාෂාවේ පරිචය වැඩිදියුණු කිරීම සඳහා ඔහු එසේ කළ බව අපි පසුව තේරුම් ගතිමු. සමාජ විද්‍යාඥයන් විසින් බටහිර රටවල ලියැවී තිබුණු ගාම්භීර පර්යේෂණ ග්‍රන්ථ වැඩි වැඩියෙන් පරිහරණය කළ යුතු බව ඔහු නිතර කියා සිටියේය. සරසවි ඇඳුරන් සතුව ඉතා විශාල දැනුම් සම්භාරයක් තිබිය යුතු බව ඔහු නිතර අවධාරණය කළේය. මලල්ගොඩ ශූරීන්ගේ කෘතහස්ත නිර්මාණය වූයේ ඔහුගේ ආචාර්ය උපාධියට ඉදිරිපත් කරන ලද බුද්ධාගම සහ සිංහල සමාජය යන ග්‍රන්ථය යි. පැල්මයිරා විචාරකයන් මෙම පොත හැදින්වූයේ සිංහල බුද්ධාගම පිළිබඳ ඉතා අසාමාන්‍ය සුසංයෝගයක් වූ විශ්වාසය සහ සංස්කෘතිය අලලා ලියැවුණු ඉතා පුළුල් රචනයක් බවය. ලංකාවේ නූතන ආගමික සහ මානව වර්ගීය ගැටලු දෙස බලන්නට මෙය ඉතා හොඳ මානයක් වන බව සඳහන් වී ඇත.

සිංහල බුද්ධාගම යන සංකල්පය මහාචාර්ය ගනනාත් ඔබේසේකර විසින් ඉතා අතීතයේ වර්ධනය කර තිබූ සංකල්ප පද්ධතියේ කොටසකි. මලල්ගොඩ ශූරීන් මෙම ග්‍රන්ථය සම්පාදනය කරන්නට පෙරාතුව මේ හා සමාන මාතෘකාවකින් ආචාර්ය උපාධි නිබන්ධයක් ගරු කොටගම වාචිස්සර හිමි පාණන් විසින් ලන්ඩන් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කර තිබුණි. වැලිවිට සරණංකර සංඝරාජ හිමි සහ බුද්ධාගමේ පුනර්ජීවනය එම පුස්තකය විය.

ආචාර්ය මලල්ගොඩ ඉතා සරල සුභම ප්‍රියමනාප පුද්ගලයෙකි. නූතන තාක්ෂණය හා ආම්පන්න පිළිබඳව ඔහු උනන්දු වූයේ නැත. කිසිදා වාහනයක් පාවිච්චි නොකළ ඔහු පයින් ගමන් යාමට පුරුදු වී සිටියේය. මලල්ගොඩ ශූරීන්ගේ ප්‍රියතම විෂයයන් අතර නාට්‍ය සිංහල හා බටහිර සංගීතය සහ නිර්මාණ කලාවන් ද දක්නට ලැබුණි. 1968 සිංහබාහු නාට්‍ය දෙවැනි වතාවට පුහුණු කරන අවස්ථාවල ඔහු පැමිණ එය නරඹන්නට පුරුදු වී සිටි බව මට අද මෙන් මතකය.

ඔහු හදිසියේම පේරාදෙනිය අතහැර නවසීලන්තයට සංක්‍රමණය වීමට ගත් තීරණය හුදු නව හා ලාභදායී රැකියාවකට යාමට තිබූ ආසාව මතම පදනම් වූයේ නැත. එවකට පේරාදෙණි සරසවියට දේශපාලනය රිංගන්නට පටන් ගෙන තිබුණි. අග්‍රාමාත්‍ය සිරිමා බණ්ඩාරනායකගේ උපදේශක හා සම්බන්ධීකරණ නිලධාරී ව සිටි තැනැත්තෙක් තෝරා පේරාදෙණි සමාජ විද්‍යා අංශයට බැඳී බටහිර රටවලින් පුහුණුව ලැබූ සියලුම උගතුන් දෙපාර්තමේන්තුවෙන් පලවාහැරීමේ බරපතළ දේශපාලන ක්‍රියාපටිපාටියක් ගෙන ගිය බැවින්, ගනනාත් ඔබේසේකර, තිස්ස ප්‍රනාන්දු වැනි උගතුන් අප රටට අහිමි වූ බව නොරහසකි. එම කටයුතු දියත් කළ පුද්ගලයා ද කේම්බි්‍රජ් විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය හැදෑරූ තැනැත්තෙකි.

මා හට 2012 ජූලි මස මලල්ගොඩ ශූරීන් හමුවීමේ අවස්ථාවක් ඕක්ලන්ඞ් නුවරදී උදාවුණි. මගේ බිරිඳත් ඔහු සහ මාත් තායිලන්ත ආපන ශාලාවකට ගොස් හිතේ හැටියට ආහාර බුදිමින් අතීතාවලෝකනයක යෙදීමට අවස්ථාව උදාකර ගතිමු. කිත්සිරි මලල්ගොඩ ලංකාවට පහළ වූ දුර්ලභ ගණයේ සමාජ විද්‍යාඥයෙකි. ඉංග්‍රීසි භාෂාවෙන් ඉතා ප්‍රබල අන්දමින් අදහස් ප්‍රකාශ කිරීමට සමත් වූ ඔහු දේශීය සංකල්ප පිළිබඳව ඉතා පුළුල් අවබෝධයකින් කටයුතු කළේය. ඉතා සරල ජීවිතයකට නැඹුරු ව සිටි ඔහු අවසානය දක්වාම අවිවාහකයකු වශයෙන් ජීවත් වූ නමුදු තම තමන්ගේ ඥාතීන්ට සහ ශිෂ්‍යයන්ට බෙහෙවින් උදව් පදව් කිරීමට අමතක නොකළේය.

මීට පෙර නොවූ විරූ අන්දමේ සම්මාදමක් සමාජ විද්‍යාවට සැපයූ කිත්සිරි මලල්ගොඩ නාමය ජාකික සමාජ විද්‍යාඥයන්ගේ කීර්ති නාම පුවරුවේ සඳහන් කළ යුතු බව මම විශ්වාස කරමි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *