අද මා මතකය අවදි කරන්නේ 1965 වර්ෂයේදී අපේ පංතිභාර ගුරුතුමා වූ සාන්තන බණ්ඩාර රාජපක්ෂයන් අප අතට රුපියල් ගණනක් දී නැරඹීම ඉතා අවශ්‍ය යැයි කියා බලකල මරදානේ ඔලිම්පියා සිනමා ශාලාවේදී නැරඹූ ජපන් චිත්‍රපටියක් පිළිබඳවයි. එම චිත්‍රපටිය ෘ්හ ෘරු්ප නැතිනම් දවල් සිහිනය නමැති ලෝක ප්‍රකට සිනමා සිත්තමයි. ජපන් තරුණ යුවළක් වටා ගෙතී ඇති එම චිත්‍රපටිය එදාට වඩා අද රසවින්දනයට භාජනය වන සිනමා රූපයක් බව මම කල්පනා කරමි.
එම චිත්‍රපටිය ආරම්භ වන්නේ තරුණ ජපන් කාන්තාවක් තම දත් සුද්දකර ගැනීමට පැමිණෙන දර්ශනයකිනි. ඉන් මොහොතකට පසු ජපන් තරුණ කලාකරුවෙක්ද එම කරුණ සඳහාම එම ස්ථානයට පැමිණේ. ටික මොහොතකින් එම තරුණිය දන්ත වෛද්‍යවරයාගේ කුටිය තුළට කැඳවා ආසනයේ සතපවා දත් පරීක්ෂාවේ යෙදෙන බව පෙනේ. ඒ සමඟම පිරිමියාද ඊට සමීප ඇඳකට ආරාධනා ලබයි. වෛද්‍යවරයා පිරිමියෙකු වූ අතර ඔහු එම තරුණිය සිහිනැතිකිරීමකට භාජනය කළ බව මෙම තරුණයා දකියි. ඒ සමඟම එම තරුණයාටද එබඳු එන්නතක් ලබා දී සිහි නැති කරනු ලබයි.
චිත්‍රපටියේ නියම කථාව ආරම්භ වන්නේ මෙතැනිනි.
තරුණයා සිහියෙන් තොරව නිද්‍රාගතව සිටින අතර ඔහු මවන චිත්තරූප චිත්‍රපටිය ඉදිරියට ගෙන යන ප්‍රධාන මාධ්‍යය බවට පත්වේ. ඔහුට එම තරුණිය පිළිබඳව සිතක් සහ සරාගී හැඟීම් ඇතිවූ බව ප්‍රේක්ෂකයාට වැටහේ.
එම හැඟීම මත්තේ සිහිය නැති වූ විට ඔහු නිද්‍රාගතව සිටින අතර කල්පනා කරන්නේ ද මෙම තරුණිය පිළිබඳවමය. ඔහුගේ චින්තන පරම්පරාව තුළ ඇය නොනිදා ජීවත්වන්නීය. ඔහු සිතන අන්දමට එම තරුණ වෛද්‍යවරයා තරුණියව මුසපත් කර ඔහුගේ කාමරයට රැගෙන යන සැටි මෙම තරුණයා මවා ගනී. ඉන්පසු ඇයට පුටුවක බැඳ ඇයව සිපගන්නා අයුරු ඇයට වද දෙන අයුරු යනාදී වශයෙන් සිහින චිත්ත රූප ඔහු මවා ගනිමින් සිටී. ඒ අතරම ඔහු සඳහා ද වෛද්‍යවරයා ශල්‍යකර්මයක් සිදු කරන බව පෙනේ.
තරුණියත්, තරුණයාත් යන දෙදෙනාටම එම ශල්‍යකර්ම නිමවන්නේ එක්වරමය. දෙදෙනාම නින්දෙන් අවදිවන බව ප්‍රේක්ෂකයා දැකගනී. ඒ වන තුරු මෙම සිද්ධි මාලාව නියම සජීවී සිද්ධිමාලාවක් යැයි ප්‍රේක්ෂකයාට හැඟෙන නමුදු ඒවා එම තරුණයා සිහිමද ගතියෙන් දුටු හීන රාශියක් බව ප්‍රේක්ෂකයාට වැටහෙන්නේ චිත්‍රපටිය අවසානයේදීය.
‘දවල් සිහිනය’ ඉතා රමණීය ආකාරයෙන් ප්‍රේක්ෂකයා විස්මයට පත් කරන චිත්‍රපටියකි.
එය භාවිතා වූ ශබ්ද, චලන චිත්‍ර හා සංකේත සියල්ල මෙම තරුණයාගේ ආශාවන් සහ සංවේදීතාවන් ප්‍රකාශ කරන අන්දමේ ඒවාය. චිත්‍රපටිය නරඹා ඉන් නික්මුන පසු අද දක්වාත් මතකයේ රැඳී ඇති සලකුණු එම චිත්‍රපටිය සනාතනික කලා නිර්මාණයක් යැයි ඔප්පු කිරීමට තරම් සමත් වී යැයි මම කල්පනා කරමි.
ජූනිචීරෝ ටනේසාකී නමැති ලේඛකයා විසින් රචිත මෙම චිත්‍රපටි කථාව 1926 දී ලියවුණු කෙටිකථාවක් ආශ්‍රිතව ගොඩ නැගී ඇත. නාට්‍ය නිෂ්පාදකයකු වූ ටෙසුජි ටකේචී විසින් නිෂ්පාදනය කරන ලද මෙම චිත්‍රපටිය කාමුක හැඟුම් සහ දර්ශන එළිපිට නොපෙන්වූ ජපන් සංස්කාතිය තුළ පෙරළියක් ඇති කර තිබේ. මෙහි අන්තර්ගත සංසර්ග දර්ශන හා සිප වැළඳ ගැනීම ඊට පෙර ජපානය තුළ පෙන්වා ඇත්තේ ඉතාම දුර්ලභ අන්දමිනි. මෙම චිත්‍රපටි පොකීතු නමැති ප්‍රදර්ශන සමාගම විසින් බෙහෙවින් ප්‍රචලිත කරන ලද්දේ 1963 වර්ෂයේදීය.
මෙම චිත්‍රපටිය ප්‍රදර්ශනය කරන ලද්දේ ජපානයේ ඔලිම්පික් තරඟාවලිය සිදුවන කාල වකවානුවේදීය. මේ නිසා ජපානය පිළිබඳ වැරදි චිත්‍රයක් ලොවට ළඟාවිය හැකිබව සිතමින් ජපන් රජය මීට විරුද්ධව තහංචිද පනවා ඇත. ජපන් දන්ත වෛද්‍ය සභාවද මීට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇත්තේ ඔවුන්ගේ වෘත්තිය වැරදි අර්ථකථනයකට භාජනය විය හැකිය යන බිය නිසාය. 1964 සැප්තැම්බර් මස ෘ්හ ෘරු්ප වෙනිසියේ ලෝක චිත්‍රපටි උළෙලට ඉදිරිපත් කරන ලදී. එහෙත් විවිධ මතිමතාන්තර මධ්‍යයේ එය ප්‍රදර්ශනය කිරීමට ඉඩ නොදෙන ලද බව වාර්තා වේ.
එහෙත් 1964 දෙසැම්බර් මස ලොස්ඇන්ජලීස් නුවර එය ඉතා ගෞරව සහිතව ප්‍රදර්ශනය කරන ලදී. මෙබදු චිත්‍රපටි ඇගයීමට භාජනය වන්නේ එවක ජපන් සමාජයේ පැවති සාරධර්ම හා පිළිගැනීම්වලට සාපේක්ෂකවය. නිරුවත, කාම සම්භෝගය වැනි දේවල් සංස්කෘතික වශයෙන් තහනම් වී තිබු අවදියක මෙබදු චිත්‍රපටියක් විශාල චින්තන පෙරලියක් ඇති කළ බව නොකියාව බැරිය.
මිනිසුන් නිතරම මනඃකල්පිත ලෝකවල ජීවත් වෙමින් ඒවායේ සුන්දර ගමන් යනෙන බව අප දන්නා කරුණකි. දවල් සිහිනය එබදු මානසික යාත්‍රාවකි. එය ඉතා වටිනා සිහින යාත්‍රාවකි.
මේ පිළිබඳව ඉතා මෑතදී අපට දක්නට ලැබුණු සිංහල චිත්‍රපටි දෙකක් ගැන මට මතකය අවදි වී ඇත.
එකක් නම් රූකඩ කලාකරුවකු තමන් ඉදිකරනු ලබන රූකඩ නලඟනකට පෙම් බඳින කථාන්තරයක් වූ වෛශණාවී චිත්‍රපටියයි. දෙවැන්න නම් රාත්තල් 300 බර ආදරයක පුවතක් ගෙන හැර පෑ අසන්ධිමිත්තාය.
වෛශණාවී නම් චිත්‍රපටිය නැරඹූ බොහෝ දෙනෙක් ඉන් අසාමාන්‍ය වින්දනයක් ලැබූ බව අපට පැවසූහ. එම චරිත හෝ ජීවන යාත්‍රාවේ අවස්ථා බොහෝ පිරිමින්ටද අත්දකින්නට ඉඩ ලැබී ඇති බව ඒ අය පැවසූහ.
ගජමන් නෝනා ඇලපාත මුදලිගේ කවිවලට පෙම් බැන්ද නමුත් ඇලපාත මුදලි ගජමන් නෝනාට පෙම් බැන්ද බව රහසක් නොවේ. මෙම ප්‍රේමාන්විත හැඟීම් සමුදාය පිරිමි ගැහැණු කාහටත් පොදු සංවේදී අත්දැකීම් බව මනෝවිද්‍යාඥයෝ නිරතුරුවම පවසති. තමන්ටම හිමිකර ගත නොහැකි දේවල්වලට ආදරය කිරීමට බොහෝ අය පෙළඹෙති.
අසන්ධිමිත්තා කථාවේද එබදු චිත්තරූපී ආදරයක් හා එවැන්නක අවශ්‍යතාවක් පිළිබඳව ලියවුණු සිත්තමත් දක්නට ලැබේ.
එහෙත් එය චිත්තාකර්ෂණීය ලෙස ඉදිපත් කරනු විනා පූර්වාපර සන්ධි නොගැලපූ අසන්ධි මිථ්‍යාවක් වශයෙන් අප හමුවට පැමිණීම කණගාටුවට කරුණකි.