නොනිමි මතක පොත 47

දේශපාලන නොනිමි මතක පොත පුවත් සියලුම ලිපි

ශ්‍රීී ලංකාව භයානක අර්බුදයකට මුහුණ පා ඇත්ද?
මගේ මීට ඉහත ලියවුනු ලිපි වල එස්කිමෝවරුන්, නේපාල ජාතිකයන්, එඞ්වඞ් කුමාර දිවයින් වැසියන් සහ කැනඩාවේ ජීවත් වන ලාංකේය උරුමය ඇති උදවිය සමග මගේ අත්දැකීම් විවිධාකාරයෙන් ඉදිරිපත් කරන්නට උත්සාහ දැරුවෙමි. ඔවුන් සමග සේවය කළ මම, ඔවුන් සමග තර්ක විතර්කවල ද සංස්කෘතික වශයෙන් නිරතවීම්වලද යෙදී සිටියෙමි. ඔවුන්ගේ ජීවන චාරිකාවේ අර්බුද සහ සංකීර්ණතා විනිවිද දකින්නට මම උත්සාහ කළෙමි. එම මානව වර්ගයා විවිධ අත් අත්හදා බැලීම් සහ අර්බුද මධ්‍යයේ ජීවත් වූ බව නො නොරහසකි. ඇතැම්හු ඉන් ජයගත් අතර අනෙකුත් උදවිය යළිත් ගොඩ එන්නට බැරි අන්දමින් ගිලෙන්නට පටන් ගත්හ.

මා දැන් කල්පනා කළේ මීළඟට මා ප්‍රවේශ විය යුත්තේ මා උපන් භූමිය සහ වයස 24 පමණ වනතුරු දිනපතා ජීවිතය ගත කළ සංස්කෘතිය අළලා යම් විමර්ශනයක් කළ යුතු බවය. පසුගිය තිස් වසර තුළ ලංකාව මහා පරිමාණ සමාජ වෙනසකට භාජනය වී තිබේ. විශේෂයෙන්ම පසුගිය 18 වසර තුළ (2000-2018) විදේශ්ීය ආර්ථික බලවේග වන නව ලිබරල්වාදී දර්ශනය මත ගොඩනැඟුණු ආර්ථික රටාවකට සහ මිථ්‍යා දෘෂ්ටික සම්පන්න දේශපාලන සහ ජාතිවාදී කණ්ඩායම්වල බලපෑම්වලට රටේ පොදු ජනතාව පත් වී තිබෙන බව පැහැදිලියි.
ලයනල් බෝපගේ සහ කුක් යන දෙපල මෑතදී කළම්බු ටෙලිග්‍රාෆ් අන්තර්ජාල සංසද සැපයූ ලිපි කියවූ මට ලංකාව දැන් ගමන් කරන්නේ කොයි දිසාවකට ද යන ප්‍රශ්නය විමසා බැලීමෙන් ඈත් වීමට අපහසු විනි. ඔවුන් අසන ප්‍රශ්නය වන්නේ අප සද්දන්ත විනාශයක් කරා ගමන් කරන්නේද එය පාලනය කළ නොහැකි සහ හරියාකාරව ගැඹුර මැනිය නොහැකි නස්පැත්තියක් නොවන්නේද යන ප්‍රශ්නය මට මතුවී ඇත.

බෝපගේ පවසන අන්දමට ඉතා ඉහළ වර්ධන අනුපාතයන් ගැන වාර්තා වී ඇතත් ලංකාව තවමත් ලෝකයට විශාල ණය බරක් උසුලාගෙන සිටී. වර්ධන අනුපාත සහ ඉතා උසස් සාක්ෂරතාවක් සහිත ජනතාවක් රට තුළ ජීවත් වූ නමුදු රටට අවශ්‍ය භාණ්ඩ රාශියක් ම අපට නිෂ්පාදනය කිරීමට තවමත් අපොහොසත් වී සිටිමු. මධ්‍යම පාන්තික සහ ඉහළ පන්තිවල උදවිය තවමත් හරියාකාරව බදු නොගෙවති. රටේ ආර්ථිකය සහ දේශපාලනික නායකයන් මේ තත්ත්වයෙන් ගොඩ ඒමට අපොහොසත් වී ඇතිවා පමණක් නොව මෙම මාරාන්තික සර්පයා දමනය කිරීමට උනන්දුවක් තිබේ ද යන්න ප්‍රශ්න කළ යුතු කරුණු වේ.
ප්‍රේමරත්න රාජපක්ෂ පසුගියදා සාධක සහිතව ලියූ සාධාරණත්වය පිළිබඳ ලිපියෙන් ප්‍රශ්න ගණනාවක් මතු කර ඇත. මෑත කාලයේ සිදු වූ සාධාරණත්වය ගබ්සාවීම් පිළිබඳ සිද්ධි හතරක් ඔහු ගෙන හැර දක්වයි. ගමනාගමනය පිළිබඳ භාර පොලිස් නිළධාරියකුගේ වාහනය, බලගතු ඇමති දරුවකුගේ වාහනයෙන් අනතුරට භාජනය කිරීම සහ එම නිලධාරියා එම අනතුරින් මිය යාම මින් එක් සිද්ධියකි. ඔහු නගන ප්‍රශ්නය නම් රටේ සාධාරණත්වය සැපයෙන්නේ ද? විනය හා නීතිය ආරක්ෂා කිරීම ඇත්තේ කා භාරයේ ද? පොලිසිය සෑම අපරාධ කටයුත්තකටම සමානව නීතිය ආයෝජනය කරන්නේ ද? මෙම නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ බරපතළ වගකීම්් දරන්නේ කවුරුන්ද? යන ප්‍රශ්නය.

අන්තර්ජාල මගින් පිටරටවල වෙසෙන බොහෝ අයගේ සංවේදීතාවන් උරණවීම් සහ උපේක්ෂා සහගත ප්‍රකාශ කියැවීම් නිදහස අපට ලැබී තිබේ. ඔවුහු බොහෝ දෙනෙක් වරක සාඩම්බර ජාතියක් වූ ලංකාවට සිදුවීගෙන යන අනුක්‍රමික පරිහානිය පිළිබඳ කම්පාවට පත්වී සිටිති.

ඒ අතරම, සමහරු මෙබඳු තත්ත්වයක් රටට උදාව වී නැති බව පවසමින් ලංකාව රොස්ටෝව් පැවසූ ආර්ථික උද්ධමනය අවධියක (takeoff) පසුවන බව පවසති. ඔවුන්ගේ ප්‍රතිචාර වලට අනුව පිටරට සිට ලංකාව පිළිබඳව ලියන කියන උදවිය ‘හාන්සි පුටු‘ චින්තකයන් වන අතර ජාත්‍යන්තර ස්වේච්ඡා සංවිධානවල ආධාර සහිතව රටට ජාතියට අහිතකර මිථ්‍යාවන් ප්‍රබන්ධ කරන කණ්ඩායමක් වන්නේ ය.
කෙසේ වෙතත් රොයිටර්ගේ 2019 මාර්තු විමර්ශනයට අනුව 2018 හතරවන කාර්තුවේ ආර්ථික වර්ධනයට 1.8 කට සීමා වී ඇත. මීට පෙර තුන්වැනි කාර්තුවේ වර්ධන වේගය තුනයි 3.452 වූ බව රහසක් නොවේ. 2014 පසුව සිදු වූ ඉතාමත් මන්දගාමී ආර්ථික ප්‍රගතියකි. මෙම හතරවැනි කාර්තුව.

නිල වශයෙන් ලැබෙන වාර්තා සහ රට තුට තුළ වෙසෙන ඇතැමුන්ගේ මතිමතාන්තර අතර ඒකාග්‍රතාවයක් දක්නට නොලැබේ. මෑතදී ලංකාවට ගොස් පැමිණි කැනඩා ලාංකිකයන් පවසන්නේ ඩොලර්වලින් වියදම් කළ නිසා ණය නොවී ආපසු පැමිණි බවය. ජීවන වියදම අහස් උසට නැඟීම පිළිබඳව ඔවුහු සෑම දෙනාම මැසිවිලි දොඩන අතර මේ නිසාවෙන් ලංකාවේ බහුතර ගැමි ජනතාවට පැටවෙන ආර්ථික බර පිළිබඳ උරණ වී සිටිති.

පළමුවන ප්‍රාග්ධන සමාගමේ පර්යේෂක අධිපති දිමන්ත මැතිව් පවසන අන්දමට දින 52කේ කතන්දරය නිසාවෙන් නිෂ්පාදන කර්මාන්තවලට නිර්යාතවලට ප්‍රබල බලපෑම් සිදු වී ඇත. විශාල වශයෙන් මුදල් අවප්‍රමාණය වීමට ඊට ඉතා හොඳ උදාහරණයක් වේ. දින 52කේ කතන්දරය අමුතුම සංවේගජනක කතාවකි. මිරිස් කුඩු නිශ්පාදනය කරඇත්තේ ආහාර පිසීමට සහ පරිභෝජනය සඳහා පමණි. රටේ නීති සම්පාදනය සම්පාදක මණ්ඩලය තුළ විපක්ෂය මර්දනය කිරීම් සඳහා මිරිස්කුඩු පාවිච්චි කිරීමට ලංකා ඉතිහාසයේ වාර්තාගත වූ අමනෝඥ ක්‍රියාවලින් එකකි.

විවිධාකාරව වාර්තාවේ ඇති පරිදි අද අධ්‍යාපන අමාත්‍යාංශය උසස් පාසල්වලට විදුහල්පතිවරුන් පත්කිරීමේ ක්‍රියාදාමය සහමුලින්ම තමන්ගේ වසඟයට අත්පකරගෙන ඇත. එය මෙතෙක් පැවැති සම්ප්‍රදාය සහ රෙගුලාසිවලට පටහැනිව ය. ඉතා හොඳ උදාහරණය අපට ලැබෙන්නේ කොළඹ රාජකීය විද්‍යාලයට නව විදුහල්පතිවරයෙකු පත් කිරීමට මෑත දී ගත් උත්සාහයෙනි. රාජකීය විද්‍යාලයීය ආදි ශිෂ්‍යයන් සහ විද්‍යාලීය සංගමයට අනුව, ශිෂ්‍යයන් 8400 පමණ ඉගෙන ගන්නා ගුරුවරුන් 350න් සමන්විත අක්කර 37ට වැඩි ඉඩම් ප්‍රමාණයක ස්ථාන ගත වූ රාජකීය විද්‍යාල දිවයිනේ ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනයේ මුදුන් මල්කඩක් වේ. එහි විදුහල්පතිවරයා අත්දැකීම් සම්භාරයක් සහිත, ප්‍රදර්ශන දක්ෂතා පෙන්වා ඇති වියපත් පුද්ගලයකු විය යුතුය. එබන්දක් ලංකා අධ්‍යාපන සේවයෙන් ලබා ගැනීම අසීරු නොවේ. මෙම මූලික අවශ්‍යතා මෑතදී නොසලකා පත්වීමක් කරන ලදී.

මීට සම්බන්දිත තවත් කාරණා ගණනාවක්ම දක්නට ලැබේ. උසස් විද්‍යාලවලට දරුවන් ඇතුළු කිරීමේ දී පගාව දීම ඉතා වැදගත් කාර්ය කොටසක් ඉටු කර ඇත. සමහර වනිතා ගුරුවරුන් ලිංගික අතවරට භාජනය වූ අවස්ථාද වාර්තා වේ. මේවා ප්‍රසිද්ධ රහස් වශයෙන් ලාංකිකයන් අතර තවමත් පවති.

මෙහිදී මට මතුවන ප්‍රශ්නය නම් ලාංකිකයෝ බොහෝ දෙනෙක් පිටරට පදිංචියට යාමට උත්සාහ දරන්නේ ඇයිද? තම දරුවන් කැනඩාව, ඕස්ටේ්‍රලියාව වැනි රටවලට අධ්‍යාපනය සඳහා යැවීමට බලවත් උත්සාහයක යෙදෙන්නේ මන්ද? ළඟදී පිපිරීමට භාජනය වන වොල්කැනෝවක් හෝ ගිනි කන්දක් ලංකාවේ පිහිටා තිබේද? ලංකාව ඉතා ඉක්මනින් ග්‍රීසිය සේ වෙනිසියුලා පැවති ස්ථානයට පත්වේවිද?

ලංකාවේ අනාගතය පිළිබඳ එතරම් ම අවිනිශ්චිත භාවයක් පවතින්නේ කෙසේද? කවර කරුණු මේතත්ත්වය ජනිත කරයිද? මෙම අර්බුදකාරී තත්ත්වයෙන් වාසිලබන, මධ්‍යම හා ඉහළ මධ්‍යම පංතික බලවතුන් පවා විකල්ප සොයා පිටරට යන්නේ ඇයිද?

මේ අවස්ථාවේදී මෙම අර්බුධකාරී තත්ත්වයන් පාලනයෙන් ඔබ්බට යන්නට පෙර සුලෝහිත සංග්‍රාමයකින් හෝ විප්ලවයකින් අවසන් වන්නට පෙර විමසා බැලිය යුතු වන්නේය යනු මගේ හැඟීමයි. මූලික වශයෙන් අංශ 3ක ගැටලු විමසන්නට මා සූදානම්ය. එම ක්ෂේත්‍ර නම් අධ්‍යාපනය සහ තරුණ පරම්පරාව, ජාතිය සතු ධනය, පොදු ජනතාවගේ සහ බලවතුන්ගේ සදාචාරාත්මක පරිහානිය වේ.

තම දරුවා පාසලකට ඇතුළත් කිරීමේදී හෝ විශේෂයෙන්ම කොළඹ උසස් පාසලකට ඇතුළු කිරීමේදී ඒ සඳහා පගාව භාවිතා කිරීමට සිදුවී ඇත. බොහෝ ගැමි දෙමාපියන්ට එබඳු මුදල් ඇත්තේ නැත. නිදහස් උසස් මට්ටමේ ගුරු හරුකම් ලැබුණු අධ්‍යාපන රටාවක බිහිවූ සහ ජීවත් වූ මා වැන්නන්ට මෙම තත්ත්වය දුක් සහිත කතාන්තරයක් වන්නේය. 1960 ගණන්වලදී දිවයින පුරා පැවති තරඟ විභාගයකින් තේරී කොළඹ ආනන්ද විද්‍යාලයේ උගත් මා හෝ මගේ දෙමාපියෝ කිසිදු වන්දියක් හෝ පගාවක් ඒ සඳහා භාවිතා නොකළෝය. අප 14 දෙනා දිවයිනේ අපේක්ෂකයන් 600කින් පමණ තේරී ආ ශිෂ්‍යයෝ වූහ. කැනඩාවේ සිට මෑතදී මහනුවර පදිංචියට ගිය යුවළකට තම දෙවැනි දියණිය විදුහලකට ඇතුළත් කර ගැනීම සඳහා රු. 150,000 පමණ මුදලක් වැය කරන්නට සිදු වී තිබිණි.

එබදු කප්පම් විදුහල්පතිවරුන් ඇතුළු කිහිප දෙනෙකු අතට මිස ගොඩනැගිලි සංවර්ධන අරමුදලට නොයන බවද වාර්තා වී ඇත. සමහරුන්ගේ තර්කයට අනුව ලංකාවේ අධ්‍යාපන ක්‍රමය පහත සඳහන් ගැටලුවලින් මිරිකෙමින් පවතී.
1 – ගුණාත්මකව උසස් අධ්‍යාපනයක් නොදීම සහ නොලැබීම
2 – පුහුණුව ලත් ගුරුවරුන් උසස් පාසල්වලට පමණක් සීමා වීම
3 – රජයෙන් අධ්‍යාපනයට ලැබෙන මුදල් සීමා වීම
4 – අනාගතය පිළිබඳ සැලැස්මක් නොතිබීම
5 – දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා අධ්‍යාපනය භාවිතා කිරීම
6 – රෙගුලාසි හෝ විනය නීතිරිතිවලින් තොර අධ්‍යාපන ක්‍රමයක් පැවතීම.

පෞද්ගලිකව පාඩම් කියාදීම හෝ Tuition Class මෙම ක්ෂේත්‍රය තුළට ඇතුළුවීම නිසා මෙම අර්බුද තවත් දුරට වර්ධනය වූ බව නොරහසකි. මගේ මිතුරකුගේ ප්‍රකාශයකට අනුව පශ්චාද් උපාධි ලැබූ සමහර විශ්වවිද්‍යාල ආචාර්යවරුන් පවා ලැබෙන රු.150,000ක පමණ මාසික වේතනයට අමතරව නිතිපතා පෞද්ගලික පංති පවත්වාගෙන යන බව පෙනේ. පාසල් ගුරුවරු තමන්ගේ හවස් පංති සඳහා පැමිණිය යුතු බව අවධාරණය කර ඇත. සමහර ගුරුවරු පැයට රු. 1000 මුදලක් අය කරන බව පෙනේ.

මුදල් සෙවීමේ බලවත් පරිශ්‍රමයක යෙදෙන මෙම පුද්ගලයන් අධ්‍යාපනය දෙස බලන ආකාරය සාමාන්‍ය සමාජ වෙනසියාවේ ලක්ෂණයක්ද? එසේ නැතිනම් එය කොළඹ ධනවතුන් විසින් හිතාමතා සැලසුම් කරන ලද ආර්ථික රටාවක ප්‍රතිඵලයක්ද? ධනය උදෙසා මෙබඳු ‘පෙරේත කමක්’ නැත්නම් දොළදුකක් ඇති වූයේ කෙසේද? ඇති කළේ කවුද? සාමාන්‍ය මධ්‍යම පංතික පවුලකට තමන්ගේ මාසික වේතනයෙන් පමණක් ජීවත්වීම ඉතා දුෂ්කර වී ඇත. වෙනදාට වඩා උගත් ලාංකික ගැමි පවුල් මෙම මුදල් හඹායාමට අසුවී ඇත්තේ බලවත් වේදනා සහගත අත්දැකීම් සහිතවය.

ලාංකිකයන්ගේ ණයගැති භාවය පිළිබඳ වාර්තා මෙම බැරෑරුම් ප්‍රශ්නය මැනැවින් පහදා දේ. දේවල් ණයට ගැනීමට නිකුත් කර ඇති කාඞ්පත් මගින් සහ පෞද්ගලික ණය ලබා ගැනීම් මගින් බොහෝ දෙනෙක් බැංකුවලට ණය වී සිටිති.

දැනට පැමිණිය හැකි එක් නිගමනයක් නම් අවුරුදු 15 පමණ පෙර එවකට රට පාලනය කළ උදවියට හා නායකයන් මෙම පරිහාණි සංස්කෘතිය මැනැවින් ක්‍රියාවට පරිවර්තනය කළ බවයි. ඔවුන් එය දියත් කළේ ‘ජාතික සංවර්ධනය’ යන ශීර්ෂ පාඨය යටතේය. පරණ සිංහල සාහිත්‍ය වදන්වලට අනුව

රජුන් අදමිටුවන්
වෙති මැතිදෝ ද එපවත්
දැන උන්ගේ පවත්
බමුණු ගහපතියෝද එ ගනිත්

අද රටේ පවතින්නේ මෙම සනාතන සත්‍යය නොවේද? මුදල් වංචාවලට මිනිසුන් පොළඹවන්නේ මුදල් විශාල ප්‍රමාණයක් නොමැතිව ජීවත්විය නොහැකිය යන මන්ත්‍රය ජාතික නායකයන් විසින් වාචිකව සහ ක්‍රියාවෙන් පෙන්වා දුන් පසුවය. මුදල් වංචා අසීමිත සංඛ්‍යාවක් රටේ සිදුවූ බව ජන මාධ්‍ය වාර්තා කර ඇතත් ඒවා ගවේෂණය කිරීමට සහ අදාළ සූරාකන්නන්ට දඩුවම් කිරීමට ගන්නා ප්‍රයත්න ප්‍රශ්නවල බැරෑරුම්කම්වලට කිසිසේත් සමාන නොවේ.

මීළඟට තවත් අවස්ථා ගණණාවක් පිළිබඳව සලකා බැලිය යුතු වේ. ඒවා ද තේරුම් නොගෙන, මෙම අර්බුද ඇතිවෙන්නේ කෙසේද? හෝ ඒ පිළිබඳව කළ හැක්කේ කුමක්ද යන්න පැහැදිලි වන්නේ නැත.
ලංකාවේ විශ්වවිද්‍යාලවලට අත්වී ඇති ඉරණම තවත් මාහැඟි උදාහරණයකි.

කොළඹ විශ්වවිද්‍යාලය 1946 වර්ෂයේ ලෝකයේ 52 වැනි ස්ථානයේ වැජඹුන අතර 2016 දී එම ස්ථානය 1946 දක්වා පහත බැස තිබිණි. පේරාදෙණිය විශ්වවිද්‍යාලය 2016 දී 2158 වැනි ස්ථානයට පත්වී දකුණු ආසියාවේ 59 වැනි ස්ථානය දිනාගෙන ඇත. ජපුර විශ්වවිද්‍යාලය ලෝකයේ 3045 වැනි ස්ථානයද ආසියාවේ 147 වැනි ස්ථානයද දිනා ගෙන ඇත. අනෙකුත් විශ්වවිද්‍යාලද එබඳුම අඩු ඇගයීම්වලට ලක්වී ඇති බව වෙබෝමෙටි්‍රක්ස් නමැති ජාත්‍යන්තර ඇගයුමට අනුව පෙනේ. (2016 හෙට්ටිආරච්චි 61 පිටුව)
පසුගිය වසර 50 ඇතුළත විශ්වවිද්‍යාලයේ පිළිගැනීම, රටට ඇති වූ බලපෑම, විවෘත භාවය සහ වෘත්තිමය විශේෂඥතාවය යන නිර්ණායක අනුව මෙම විශ්වවිද්‍යාල අනුක්‍රමයෙන් පරිහාණිය කරා ගමන් කරන බව වාර්තා වේ. අපේ විශ්වවිද්‍යාල රටට හෝ ලොවට වැඩදායි පර්යේෂණවල නොයෙදෙන බව වාර්තාවේ. අලුතින් එක් එක් ක්ෂේත්‍රයට නව දැනීම් එකතු නොකරන බව මේ වාර්තාවලින් කියැවේ. ඉතාම අල්ප වශයෙන් දියුණු වූ පර්යේෂණ සංස්කෘතියක් සහ මනසක් මේ විශ්වවිද්‍යාල තුළ පවතී.

මේ හා සමාන ආසියානු විශ්වවිද්‍යාල සමග සංසන්දනය කරන විට උදාහරණ වශයෙන් සිංගප්පූරුව, හොංකොං, චීනය, ජපානය හා ඉන්දියාව අපේ සරසවි පිළිගත හැකි හෝ සතුටු විය හැකි පර්යේෂණ සංස්කෘතියක් විද්‍යාමාන නොකරන බව සත්‍යයකි. රටේ පාලකයෝ සහ පරිපාලන නිලධාරීහු පර්යේෂණ සංවර්ධන වැඩපිළිවෙළට අත්‍යාවශ්‍ය දෙයක් වශයෙන් සලකනු ලබන බවක් නොපෙනේ.
මෙම සාකච්ඡාව ඉදිරි ලිපිවලින් ඉදිරියට ගෙන යනු ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *