නොනිමි මතක පොත 46

දේශපාලන නොනිමි මතක පොත සියලුම ලිපි ළමා පුවත්

ඉනියුට්වරුන් සාම්ප්‍රදායිකව සතුන් දඩයම් කර එම මාංශ අනුභව කර ජීවත් වූ පිරිසක් බව මා කිහිපවරක් මේ ලිපිවලින් දන්වා සිටියෙමි. ඔවුන් සොයාගන්නේ තමන්ට සරිලන ආහාර ප්‍රමාණ පමණකි. නව උපකරණ භාවිතා කිරීම නිසා ආහාර අතිරික්තයක් නිපැදවීමට ඔවුනට හැකිවුනි. එම අතිරික්තය වේල් මත්‍යයන් සොයා ආ යුරෝපීයයන්ට විකුණා දැමීමට ඔවුහු පටන් ගත්හ. අතිරික්ත නිෂ්පාදනය ආරම්භ වීම මාක්ස් පැවසූ අන්දමට ‘ධනවාදය’ නමැති භීෂණය ඉනියුට් ජාතිකයන් කරා පැමිණීමේ මුල් ආරම්භය වූ බව පෙනේ. මෙම වේල් මසුන් සොයා ආ යුරෝපියයන් අවංකව ඉනියුට්වරුන් සමග ගනුදෙනු නොකළ බව වාර්තා ලැබී තිබේ. ඩොලර් 10 ක් පමණ වටිනා තුවක්කුවක් සඳහා ඔවුහු ඩොලර් 700ක් පමණ වටිනා මස්කොක්ස් හම්, ඉනියුට්වරුන්ගෙන් ලබාගත් බව ප්‍රාන්සස් නැමති ලේඛකයා (1984) වාර්තා කරයි.
ඉනියුට්වරුන් නවීකරණයට පත්කිරීම සඳහා ගත් උත්සාහය මෙසේ විවිධාකාර වී තිබුණි.

අද ලිපියෙන් මා පෞද්ගලිකව රැකියා කළ සහ ජීවත් වූ කොපර් ඉනියුට්වරුන්ගේ ගම්මාන අළලා සමහර තොරතුරු ගෙන එන්නට උත්සාහ කරමි.

හොල්ටන් සහ කේම්බි්‍රජ් බේ යන ගම්මාන දෙකත් තවත් කිහිපයකුත් මෙම කොපර් ඉනියුට් සංයුතියට අයත් වේ. එෛතිහාසික වාර්තා අනුව මෙම ප්‍රදේශයේ පමණක් ඉනියුට් උප සංයුති 19 පමණ ජීවත් වී ඇත. ඔවුනගේ භාෂාව සහ සංස්කෘතිය බෙහෙවින් සමාන විය.

විවාහ වීම සහ දරුවන් ලබා ගැනීම ඉතා වටිනා සමාජ සාරධර්මයක් වී පැවතිනි.

1913 දී රෝමානු දේවගැතිවරයන් දෙදෙනෙක් මේ ප්‍රදේශයට ඇතුළු වී ඉනියුට්වරුන් ක්‍රිස්තියානි ආගමට හැරවීමට ගත් උත්සාහයට ඉනියුට්වරුන්ගේ ප්‍රතිචාරය වී ඇත්තේ එම දෙදෙනා ම ඝාතනය කිරීමය. 1930 වන විට RCMP පොලිසිය විසින් ස්ථාවර පොලිස් ස්ථාන පිහිටුවා තිබිණි. RCMP කෝපරල් ජී.එම්.බෝල් පවසන අන්දමට යුරෝපීය වෙළෙඳ මධ්‍යස්ථානවලට ආසන්නව ජීවත් වූ ඉනියුට්වරුන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඈතින් ජීවත් වූ ඉනියුට්වරුන්ට වඩා ඉතා පහත මට්ටමක තිබුණු බව පෙනේ. ඊට එක් හේතුවක් නම් සුරාපානයට මේ උදවිය පුරුදුවන්නට පටන් ගැනීමය. එම නව පුරුද්ද මුළු ඉනියුට් වර්ගයා අතර ප්‍රචලිතවීමට එතරම් කාලයක් ගත වී නැත. වෛද්‍ය විද්‍යාවට අනුකූලව කල්පනා කරන විට, ඉනියුට්වරුන්ගේ ශරීර සුරාවට ඔරොත්තු දෙන අන්දමේ ඒවා නොවන බව පෙනේ. බීමට හරියාකාරව වතුර පවා නොතිබුණු ඉනියුට්වරුන් සුරාවට පුරුදු කිරීම, ජාතික අපරාධයක් වශයෙන් මම සැලකිය හැකිය.

1932 වන විට බොහෝ ඉනියුට්වරු ක්‍රිස්තියානි ආගම වැළඳගෙන සිටියහ. අලුතින් පිහිටුවන ලද පල්ලි සහ වෙළෙඳ මධ්‍යස්ථාන ආදි සියල්ල එකිනෙකට ලංව පිහිටුවිය යුතු බව කැනඩා රජය විසින් ඔවුන්ට දැන්වූයේ ද මේ අතරය.

අනුක්‍රමයෙන් ලීවලින් තැනූ ගෙවල් කේම්බි්‍රජ් බේ වැනි ප්‍රදේශවල ඉදිවන්නට පටන් ගැනුනි. අලුත් දඩයම් උපකරණ භාවිතය පටන් ගැනීමත් සමග ඉනියුට්වරු බැඳීමක් ඇති වැඩකාරයන් බවට පත්වූ බව විචාරකයෝ කියති. මෙසේ ඉදිරිපත් කරන ලද තුවක්කු යනාදිය ඉනියුට්වරුන්ට මිලදී ගැනීමට සිදු වී තිබිණි. බොහෝ අයට එම භාණ්ඩ සඳහා මුදල් උපයා ආපසු ගෙවීමට සිදුවූයේ ඊළඟ දඩයම් වාරයේදීය. මේ නිසා ම ඉනියුට්වරු බොහෝ දෙනෙක් ‘ණය කරුවන්’ බවට පත් වී තිබුණි.

යුරෝපීය ආගමනයට පෙර ඉනියුට්වරුන් නිරෝගී ජන කොට්ඨාසයක්ව සිටියේය. එහෙත් යුරෝපීය සම්බන්ධතා සහ කාසරෝගය, උණ, සරම්ප සහ සමාජ රෝග යුරෝපීයයන්ගෙන් ඉනියුට්වරුන්ට බෝවී ඇත. 1930 සිට 1970 දක්වා කාස රෝගය ඉනියුට්වරුන් රෝගී තත්ත්වයට පත් කළ ප්‍රධානම ව්‍යසනය වූ බව රාජ්‍ය වාර්තාවල සඳහන් වේ. ක්ෂයරෝගය අනුක්‍රමයෙන් පාලනය කළ පසු 1960 දී පමණ ඉනියුට් ජනගහණ වර්ධනයක් සිදු වී ඇති බව පෙනේ.

අලුත් වෙනස්කම්

බල්ලන් විසින් ඇදගෙන ගිය වාහන අනුක්‍රමයෙන් භාවිතයෙන් ඉවත් වී හිම මෝටර් බයිසිකල් භාවිතය ආරම්භ වීය. 1972 වන විට බොහෝ ඉනියුට්වරුන්ට මෙම නව බයිසිකල් මිලදී ගැනීමට හැකියාව ලැබුණි. එපමණක් නොව ඉනියුට් ගම්මානවලට දුරකථන රූපවාහිනී ෆැක්ස් සේවා, ගුවන් සේවා සහ නව ගෙවල් හඳුන්වා දී තිබිණි. අවසාන විග්‍රහයේ දී ඉනියුට්වරුන් සමග ඉතිරි වූ දේවල් මේවාය.
1. අනුභවය සඳහා කළ සත්ව දඩයම්
2. දඩයම් කළ සතුන්ගේ හම් විකිණීම
3. වෙළඳාම සඳහා මසුන් දඩයම් කිරීම
4. වැටුප් සඳහා රැකියාවන් කිරීම
5. හිම ආශ්‍රිත ක්‍රීඩා
6. කලා භාණ්ඩ නිෂ්පාදනය
7. පෞද්ගලික ව්‍යාපාරිකයන් සහ රජයෙන් ලැබුණු මහජනාධාර

ඉනියුට් තරුණයන්ට සාම්ප්‍රදායික දඩයම් ක්‍රම ඉගෙන ගැනීමට නොහැකි වූ නිසා ඔවුන්ට එම සාම්ප්‍රදායික ජීවන රටාව පවත්වා ගැනීමට ඉතා අපහසු වී ඇත. ඔවුන්ට ලැබුණු අධ්‍යාපනය සිදුවූයේ 9 සහ 12 ශ්‍රේණිය පමණක් දක්වා ඉගැන්වීම් ලැබුණු පාසල් වලිනි. දකුණු කැනඩාවේ විශ්වවිද්‍යාලවලට ඇතුළු වූ ඉනියුට්වරුන් ගැන අසන්නට නැත. කැනඩා රජය තමන්ගේ සේවා පවත්වා ගැනීම සඳහා කුසලතා ඇති උදවිය සොයා ගිය නිසා ඉනියුට්වරුන්ට මේ අංශවල සේවය ලබා ගැනීම ඉතා දුෂ්කර වී ඇත. මේ නිසාම බොහෝ දෙනෙක් රජයෙන් සපයන මහජනාධාර මත යැපෙමින් ජීවත්වන්නට පටන් ගත්හ.

පාසල්වල සියලු විෂයන් උගන්වන ලද්දේ ඉංග්‍රීසි මව්භාෂාව කථා කළ ගුරුවරු විසින්, බටහිර ලෝකයට අදාළ විෂය නිර්දේශයකට අනුවය. කවදාවත් ගස් දැක නැති ගස් සමග අන්දැකීම් නැති ජනතාවට ගස් පිළිබඳව කතා කරන විට ඉනියුට්වරුන් පත්වූ අසරණ තත්ත්වය ඔබට හිතාගත හැකිය.

මේ නිසා පාසල් ආරම්භ වූ මුල් දිනවල වර්ෂවල පාසල් පැමිණීමේ අනුපාතය පහත වැටුණු අතර සහ ඉතා පහළ අධ්‍යාපන මට්ටම් ප්‍රදර්ශනය වූ බව වාර්තාවල සඳහන් වේ. තරුණයන් පාසල්වලට ගෙන්වා ගැනීම සඳහා ක්‍රීඩා මධ්‍යස්ථාන රජය විසින් ඉදිකරන ලදී.

මා කේම්බි්‍රජ් ජනාවාසයේ රාජකාරි භාරගත් විට එම ජනාවාසයේ 1500ක් පමණ ජනයා ජිවත් වූහ. එම ප්‍රජාව තුළ නාගරික කවුන්සල් කාර්යාලයක්, පාසලක්, තැපැල් හලක්, රෝහල් බැංකු ශාඛාවක්, ප්‍රජා සෞඛ්‍ය මධ්‍යස්ථානයක්, ප්‍රජා මානසික සෞඛ්‍ය මධ්‍යස්ථානයක් සහ කෝපි පානය කළ හැකි අවන්හල් කිහිපයක් ද දක්නට ලැබිණ. ගෙවල් සහ අනෙකුත් ගොඩනැගිලි 3000ක් පමණ ඉදිවී තිබුණි. ක්‍රියාත්මක දුරකථන හා අන්තර් ජාල සේවාවන් ද අක්නට ලැබිණ.

සුරාව පහසුවෙන් ලබා ගත හැකි වූයේ එහි තිබූ හෝටල්වලදී පමණි. එහෙත් හොරෙන් විකුණූ වොඞ්කා බෝතලයක් ඩොලර් 100 ක් පමණ විය. නුනවූත් ප්‍රාන්ත රජය බිහිවූයේ 1999 අප්‍රියෙල් මාසයේ 1 දා ය.

නුනවුන් නාගරික ප්‍රදේශවල අලුත් පන්නයේ ගොඩනැගිලි බිහිවූ තිබුණත් වෙනත් කිසිදු කැනඩාවේ නගර සමග ඒවා සංසන්දනය කිරීම අසීරු වේ.

භෞතික සංවර්ධනයක් ඇති වූ බව රහසක් නොවේ. ප්‍රශ්නය වන්නේ ඉනියුට් ජාතිකයන්ගේ සිතුම් පැතුම් සෞඛ්‍ය තත්ත්වයේ සාමාජීය සම්බන්ධතාවල සැලකිය යුතු වර්ධනයක් සිදුවී ඇත්ද යන්නයි.

2018 දී ප්‍රකාශයක් නිකුත් කළ නුනවුත් ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයා පවසන්නේ ඉනියුට් සමාජය විශාල අර්බුදයකට මැදිවී සිටින බවයි. එහි ලක්ෂණ නම් අධික සිය දිවි නසා ගැනීම්, පවුල් ආරවුල්, රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග සහ මිනීමැරුම්ය.

මෙම තත්ත්වය සමනය කර ගැනීමට කැනඩා රජය එක් එක් නාගරික පරිපාලන ඒකක සමග වැඩ සටහන් දියත් කර ඇතත් එම වැඩ සටහන්වලට මෙම ප්‍රශ්න ජය ගැනීමට තවමත් හැකියාව ලැබී නැත.

ඉනියුට්වරුන් අතර වෘත්තීය පුහුණුව ලැබූ අය ස්වල්පය. ඒ නිසා දකුණු දිග කැනඩාවෙන් ඉනියුට් දේශයට සේවයට ගොස් සිටින බොහෝ සමාජ සේවකයන්ට සහ පරිපාලකයන්ට ඉනියුට් සංස්කෘතිය පිළිබඳව ඇත්තේ ඉතා අල්ප අවබෝධයකි. පෞද්ගලිකත්වයට බර ධනවාදී දකුණු කැනඩාවට ගැලපෙන උපක්‍රම ඉනියුට්වරුන්ට නොගැලපෙන බව ඔවුන්ට දැනෙන්නට පටන් ගත්තේ ඉතා මෑතකදීය. බටහිර ක්‍රමවලට පුරුදු පුහුණු නොවීම පිළිබඳ ඉනියුට්වරුන්ට දොස් පැවරීමෙන් මෙම ප්‍රශ්න විසඳෙනු ඇතැයි සිතීම මුලාවකි.

ඉනියුට්වරු සාම්ප්‍රදායික ඉනියුට් සංස්කෘතිය සහ බටහිර නවීකරණය යන බලවේග දෙක අතර හිරවී ජීවත් වෙති. ඉන් ගොඩ එන්නට නම් ඔවුන්ගේ සාම්ප්‍රදායික සංස්කෘතිය මැනැවින් තේරුම් ගත් සහ බටහිර නවීකරණය තුළ ජීවන අත්දැකීම් ඇති මෙහෙයුම්කරුවන් අතට සංවර්ධන ප්‍රයත්න භාරදිය යුතුවේ.

ඉනියුට් ජාතිකයන් ඉගෙන ගන්නේ ද අනෙක් ජාතීන් බොහොමයක් උගන්නා අයුරින් නොවේ. ඉනියුට්වරු අත්දැකීම් ආශ්‍රිතව උගන්නා ජන කොට්ඨාශයකි. මෙම කරුණ ඉතා පැහැදිලිව තේරුම් ගත යුත්තකි.

ඉනියුට්වරුන්ට වර්තමාන සමාජ ප්‍රශ්නවලින් ගොඩඒමට උදව් කළ හැකි බව මම අදත් විශ්වාස කරමි. ඉකාලුයිට් නගරය ටොරොන්ටෝ බවට පත්කිරීමෙන් මේ ප්‍රශ්නය ඉවත් වී නොයනු ඇත. සාම්ප්‍රදායික සහ නවීනත්වය මිශ්‍ර කිරීමට දක්ෂ පුද්ගලයන් අතට එම ප්‍රදේශ පත් කළ යුතුය. එම කටයුත්ත ඉනියුට්වරු සහ අනෙකුත් වෘත්තිකයන් එකට එක්ව කළ යුතු දෙයකි.

මෙය සිදුවනතුරු – ඉනියුට් ජාතිකයන් ගේ සංවර්ධනය හුදු තවත් අන්දමක අලුත් සංස්කෘතික මර්ධනයක් හෝ සංස්කෘතික අධිරාජ්‍යවාදයක් වන බව සත්‍යයකි.
නිමි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *