මගේ ජනවාරි ලිපියෙන් මා පෙන්වා දුන්නේ යුරෝපීය ජාතීන් හමුවේ ඉනියුට්වරුන්ට අත් වූ ඉරණම සහ මුහුණ දෙන්නට සිදු වූ සමාජ ආර්ථික වෙනස්වීම් පිළිබඳ කරුණු සමහරකි. යුරෝපීයයන් විසින් හඳුන්වාදෙන ලද වෙනස්කම්වලට එක මූලික හේතුවක් ලෙස ඔවුන් පෙන්වා දුන්නේ ඉනියුට්වරුන් සහ ඔවුන්ගේ සංස්කෘතිය එදාට නොගැලපෙන ක්‍රමයක් නිසා ඔවුන් නවීකරණයට භාජනය වියයුතු බවය. නව භාෂාවක් සහ සිරිත් විරිත් හඳුන්වාදෙන ලද්දේ එම පරමාර්ථය හිතේ ඇතිවය. මෙහිදී මතුවන එක් ප්‍රශ්නයක් නම් එම ක්‍රියාකාරකම් සිදු කරන ලද්දේ ඉනියුට්වරුන් සංවර්ධනය කිරීමේ අරමුණින් ද, නැතිනම් ඔවුන්ව තමන්ගේ යටත් වැසියන් බවට පත්කිරීමේ අභිලාෂයෙන් ද යන කාරණයයි. මේ පිළිබඳ විවාදය දිගින් දිගටම පවතින අතර විචාරකයන් පවසන්නේ දෙවැනි කරුණ වඩා ඉස්මතු වන බවය. මෙම ප්රහෙළිකාව විසඳීමට පෙර යුරෝපීය බලපෑම් මත ඉනියුට් සමාජයේ සිදු වී ඇති කැපී පෙනෙන සමාජ ආර්ථික වෙනස්කම් පිළිබඳව තවදුරටත් සොයා බැලීම් අනිවාර්ය වේ.
ඉනියුට්වරු සහ යුරෝපීය ජාතිය අතර ඇති වූ මුල්ම සම්බන්ධතා ඉනියුට් සමාජය වෙනස් කිරීම්ට තරම් ප්‍රබල නොවී ය. යුරෝපීය සංචාරකයන් සහ ආගන්තුකයන් සුළු පරිමාණ වෙළෙඳ කටයුතුවල යෙදුණ ද ඔවුහු සමාජ විපර්යාස ඒකකයන් නොවූ බව වාර්තාවලින් පෙනේ. සමාජ විපර්යාස ආරම්භ වූයේ වේල් මත්ස්‍යයන් දඩයම් කිරීමට සහ මිලදී ගැනීම සඳහා වේල් දඩයම්කරුවන් පැමිණියාට පසුව ය. ඔව්හු ජීවත්වීම සඳහා නව ක්‍රම, දෙවිවරු සහ ඉක්මනින් ධනය රැස් කිරීමේ හැකියාවත් එස්කිමෝ ජනතාවට හඳුන්වා දුන්හ.
බැෆින් දූපතට වේල් දඩයම්කරුවන් පැමිණියේ 1729 දී පමණය. බි්රතාන්ය ලන්දේසි සහ අමරිකන් නැව් බැෆින් වෙරළාසන්නයේ දිස්වන්නට පටන් ගති. 1900 වන විට බැෆින් වෙරලාසන්නයේ මෙන්ම හඞ්සන් බොක්කේ වෙළෙඳ මධ්‍යස්ථාන ඔවුන් විසින් පිහිටුවා තිබුණි. අෂර් (1970) පවසන අන්දමට ඇමරිකානු වේල් දඩයම්කරුවන්ට අමතරව ඇලස්කාවේ සිට පැමිණි එස්කිමෝවරුද එකල නුනවුත් ප්‍රදේශයේ දක්නට ලැබී ඇත. නුනවුත් එස්කිමෝවරු ඔවුන් සමග වෙළඳාම් කළහ. ඔවුන් සහ සමාජ සම්බන්ධතා පැවැත් වූහ. සමහරු ඔවුන් සමඟ විවාහ ආවාහ කර ගත්හ. යුරෝපීයයන්ගේ භාෂාව උගත් සමහරු ඔවුන්ගේ තාක්ෂණය සාරධර්ම සහ ආර්ථික ඉලක්ක ද අනුගමනය කරන්නට පටන් ගත්හ.
ෆ්රාන්සිස් (1984) පවසන අන්දමට මැකෙන්සි ඉනියුට් නමින් හැඳින් වූ එක්ස්කිමෝ වර්ගයක් 2500 සිට 250 දක්වා අනුක්රමයෙන් අඩු වී වඳ වී ගිය බව පෙනේ. යුරෝපීයයන් විසින් ගෙනෙන ලද විෂබීජ සහ බෝවන රෝග මෙම ජන අවපාතයට හේතු වූ බව කියැවේ. වේල් දඩයම්කරුවෝ ඉනියුට්වරුන් සේවකයන් ලෙස බඳවා ගත්හ. ඉනියුට් උදවියට තුවක්කු සහ වේල් හමින් කරන ලද බෝට්ටු හඳුන්වා දුන්නේ මේ අතරතුරදීය. මේවා සංස්කෘතියේ පෙර නොවූ විරූ නවතම අන්දමේ අත්දැකීම් බවට පත්වුණි. වේල් දඩයම්කරුවන්ට ඉනියුට් ජනයා ඉතා ප්‍රයෝජනවත් වූ බව නොරහසකි. ඉතා ශීතල ප්‍රදේශයක ජීවත් වීම සඳහා සීිතට ඔරොත්තු දෙන කෝට් ඔවුන් ලබා ගත්තේ එස්කිමෝවරුන්ගෙනි. තම රටවලින් ගෙනා ශීත ඇඳුම් වලට වඩා එස්කිමෝ කබායවල් ඉතා ශක්ති සම්පන්න බව ඔවුහු තේරුම් ගත්හ. එමෙන්ම ආහාර ලබාගැනීමට ද ඔවුන්ට සිදු වූයේ එස්කිමෝවරුන්ගෙනි. මේ අයගේ ආහාර වේල් සැපයීම සඳහා කැරිබු මස් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වූ බව වාර්තා වී ඇත.
වේල් දඩයම සඳහා අවශ්‍ය වේල් මත්ස්‍යයන් හීන වීමත් සමගම යුරෝපීය වෙළෙන්දෝ සත්ව සම්වලින් මසන ලද රෙදි මිලදී ගැනීමට පෙළඹුණහ. ඊට අමතරව වේල් ඇටකටු, වේල් සතාගේ දළ, තෙල් සහිත හම් ඔවුහු මිලදීගත්හ. එස්කිමෝවරුන්ට මේ නිසාම කාල සටහනකට අනුව මෙම ද්‍රව්‍ය රැස් කිරීමට පුරුදු වන්නට සිදුවූ බව පෙනේ. ඒ නිසාම සුදු මිනිසුන් ගෙනා සමහර ආහාර අනුභව කිරීමට ද එස්කිමෝවරු පුරුදු වූහ. සුරාපානය මේ අතරට එක්වූ තවත් පුරුද්දකි. වේල් දඩයම්කරුවන් මිට අමතරව තේ පානය, දුම්කොළ, සීනි සහ වෙඩි තැබීමේ උපකරණ හඳුන්වා දුන්හ. අව්කණ්නාඩි පවා පුරුදු කළේ මේ උදවියය. උපකරණ හා භාවිතයන් ඉතා ඉක්මනින් කැලෑ ගින්දරක් මෙන් ඉනියුට්වරු අතර ප්‍රචලිත වූ නිසාම සාම්ප්‍රදායික දඩයම් ක්‍රම ඔවුන්ගේ භාවිතයෙන් ඉවත් විය. තුවක්කු පාවිච්චියත් සමගම හිම වලසුන්ට ළං නොවී වෙඩි තැබීමට ඉනියුට්වරු පුරුදු වූහ.
වේල් ඔරු හිමිකරුවන් ප්‍රජාවේ නායකත්වය ගන්නට පුරුදු වූයේ මෙහි ප්‍රතිඵලයක් වශයෙනි. බොහෝ විට ඔවුහු බහු විවාහ වලට පවා එළඹුණාහ. ඉනියුට් වරුන්ගේ ලෝක දර්ශනය ඉතා ඉක්මනින් වෙනස් වූ බව වාර්තාවලින් පෙනේ. වෙනත් ප්‍රදේශවල සිටි එස්කිමෝවරු ද මේ නව වෙනස්වීම් ගැන අසා බැෆින් ප්‍රදේශයට පැමිණ ඇත. එසේ පැමිණි අය වේල් දඩයම්කරුවන්ට ආහාර පානවලින් සංග්‍රහ කළ බවත් වාර්තා වේ.
ඉනියුට් ජාතිකයෝ නව සංකල්පයක් වන රැකියාව යනු ප්රපංචයට අනුක්රමයෙන් හුරු වූහ. මෙය සාම්ප්‍රදායික දඩයම් කිරීමට වඩා හාත්පසින් වෙනස් දෙයක් වූයේය. සමහර අවස්ථාවලදී දඩයම්කාර ඉනියුට් පවුල් පිටින් ප්‍රදේශයේ ඈත විවිධ ස්ථානවල පදිංචි කර තිබූ බව පෙනේ. ඔවුන් සේවකයන් වශයෙන් සලකා තිබූ බැවින් නව ‘රැකියා’ පිළිබඳව ඉනියුට් වරුන් නැඹුරු වී ඇත්තේ රැකියාවට අමතරව නවීන උපකරණ ආනයනය කරන ලද බඩු භාණ්ඩ සහ නව ආහාර පාන ඔවුනට ලබා දිය හැකි වූ බැවිනි. සමහර ඉනියුට්වරුන්ට ප්‍රදේශ නායකයන් වශයෙන් වේල් දඩයම්කරුවන් විසින් පත් කරන ලදී. නායකයන්ගේ වගකීම වූයේ සේවය සඳහා අනිකුත් සගයන් බඳවා ගැනීම සහ ඔවුන් පාලනය කිරීම නිසාත් පන්ති ක්‍රමයක් සමාජය තුළ හටගත් බව මානව විද්‍යාඥයෝ පවසති. එනම් යුරෝපීය ජාතීන් මුදුන්හි සිටින අතර ඉනියුට් නායකයෝ මැද පන්තියට අයත් වූ බවය. ජනගහනයෙන් වැඩි පිරිසක් වූයේ සේවක සාමාන්‍ය ඉනියුට්වරුන්ය.
මේ වන තෙක් ඉනියුට් නායකයන් වශයෙන් පත්වී සිටියේ පූජකවරුන් කණ්ඩායමකි. එම තනතුරු මෙම ප්‍රාදේශීය නායකයන් විසින් පැහැර ගන්නා ලදී. එහෙත් පුදුමයකට මෙන් මෙම ප්‍රාදේශීය නායක තනතුරුවලට බැදුනු බොහෝ දෙනෙක් පරණ පූජකවරුන්ම වීම රසවත් සිද්ධියකි. වේල් දඩයමේ යාමට පෙර පූජාවන් පැවැත්වීම සාම්ප්‍රදායික ඉනියුට් සංස්කෘතියේ කොටසක් වී තිබිණි. ඒවා ඉටුකරන ලද්ද් ඉහත කී පූජකවරුන් විසිනි. එම පූජකවරුන් නව නායකත්වයට එළඹීම නිසා දෙවිධියකට ප්‍රයෝජන අත්කර ගැනීමට වේල් දඩයම්කරුවන්ට ඉඩ ලැබුණි.
මෙම කථාවේ අවසානය වටහා ගැනීමට මීළග මාසයේ ලිපියත් කියවන්න.