නොනිමි මතක පොත – 44

නොනිමි මතක පොත විශේෂාංග සියලුම ලිපි

පසුගිය මාසයේ ලිපියෙන් මා කුළුගැන්වූ එක් කරුණක් වූයේ යුරෝපීය ජාතීන් උතුරු ප්‍රදේශයට පැමිණෙන තුරු ඉනියුට් ජාතිකයන්ට තම අනන්‍යතාවය Identity පිළිබඳ කිසිදු ප්‍රශ්නයක් හෝ ඕනෑකමක් නොතිබුණු බවය. යුරෝපීයයන් පැමිණ තර්ජන ඉදිරිපත් කරන අවස්ථාවල සහ ඔවුන්ගේ සංස්කෘතිය බාල්දු කරන අවස්ථාවලදී ඉනියුට් අනන්‍යතාවය ගැන සිතීමට ඔවුහු පටන්ගත්හ.

වැඩිහිටි ජනගහනය පිළිබඳව පසුගිය මාසයේ සාකච්ඡා කරන ලදී. අද ඉතා පැහැදිලිව කිව හැක්කේ බටහිර සංස්කෘතිය, වැඩිහිටිභාවය නිර්වචනය කරන වචනයේ ආදර්ශය මගින් නුනවුත් ඉනියුට් ජාතිකයන්ගේ වැඩිහිටියන් දෙස බැලිය නොහැකි බවයි. 2010 වර්ෂයේ ඉනියුට් වැඩිහිටියන් පිළිබඳව පර්යේෂණ පැවැත්වූ R. Rangijin ඕස්ටේ්‍රලියානු ජාතික ආදිවාසීන් පිළිබඳව පවසන්නේ ක්‍රීඩා කිරීම, අභ්‍යාස කිරීම සහ සෞඛ්‍ය සම්පන්නව වැඩිහිටිභාවයට පැමිණීම යනාදි සංකල්ප ඔවුන්ට අදාළ නොවන බවය. එම සාරධර්ම හා පුරුදු ගොඩනැගී ඇත්තේ නිදහස් ව සිටීම සහ ක්‍රියා කිරීම මෙන්ම තමන් මත තමන් යැපීම වැනි විශ්වාසයන් මතය. එහෙත් ආදිවාසීන් ගේ විශ්වාසය පදනම් වී ඇත්තේ වයසට යාම සාමාන්‍ය ක්‍රියාවලියන් යන සාරධර්මය මතය. එමෙන්ම මේ නිසාම ඔවුන් වයසට යාම එකිනෙකා මත රැඳී සිටීම එකිනෙකාට උදව් කිරීම සහ ඉතා තදින් බැඳුණු ඥාතීත්වයක් මත පදනම් වී ඇති බව මොනවට පෙනෙයි. ‘විශ්‍රාම යාම’ යනු සංකල්පයක් ඔවුන් තුළ දක්නට නොතිබුණු අතර තම මරණය ළඟා වනතුරු ම වැඩ කිරීම ඔවුන්ගේ පුරුද්ද වී තිබිණි. බටහිරට අදාළ නිර්වචන සහ ආදේශ මෙම ජනතාවට අදාළ නොවීම නිසා, බටහිර ලේඛකයන් ඉනියුට් වැනි වර්ගවල වැඩිහිටි ජනතාව පිළිබඳව ලියන්නට මැලි වූ බවක් පෙනේ.

යුරෝපීය ජනයා උතුරුකරයට පැමිණීමත් සමග ඉනියුට් ජාතිකයන්ගේ ජීවන රටාව පමණක් නොව හිතන පතන ආකාරය පවා අනුක්‍රමයෙන් වෙනස් වී ඇත. බටහිර ජාතීන් ඉදිරියට ගෙනා “පෞද්ගලිකත්වයේ ඇති වැදගත්කම” පිළිබඳ අගය හමුවේ ඊට හුරුපුරුදු වීමට ඉනියුට් ජාතිකයන්ට සිදුවූ බව පෙනේ. සාම්ප්‍රදායික සිතිවිලි, පුරුදු සහ සාරධර්ම අනුක්‍රමයෙන් ඉවත් වීමට පටන් ගෙන තිබේ. මැරිබල් මිචෙල් නමැති පර්යේෂිකාවට අනුව යුරෝපීය බලපෑම් සිව් ආකාරයකින් ඉනියුට්වරුන්ට ලැබී ඇත. ගවේෂණාත්මක කටයුතු හා වස්තු සොයා පැමිණි වෙළඳාම්කරුවන් වේල් මසුන් සොයා ආ අය, ආගම් ප්‍රචාරයට පැමිණි පූජකවරුන් සහ සමුපකාර පිහිටුවීමට මුල් වූ වෙළෙන්දන් ගේ පැමිණීම මෙන්ම රජයන් මගින් ඉඩම් අයිතීන් තහවුරු කිරීමට ගත් ප්‍රයත්නය මෙම සතරවිධ බලපෑම් හැටියට පෙනේ.

යුරෝපයෙන් පැමිණි ආක්‍රමණශීලී උදවිය වැඩි අවධානය යොමුකර ඇත්තේ තරුණ වයසේ ජීවත්වූ ඉනියුට් ජාතිකයන් දිසාවට ය. පිරිමි සහ ගැහැණු උදවිය එකසේම ඔවුනට වැදගත් වී තිබූ බව පෙනේ. තම වෙළෙඳාම් කරගෙන යාමේදී භාෂාව හැසිරවීම සඳහා තරුණ ගැහැනු ළමයින් සමඟ ප්‍රේම සම්බන්ධතා හා විවාහ සිදු කළ බවට සාධක දක්නට ලැබේ. මේ නිසාම වැඩිහිටියන් සතුව තිබූ දැනුම් සම්භාරය සහ කුසලතා දෙවැනි ස්ථානයක් ගත්තේය. වැඩිහිටියන් වෙත දැක්වූ ගෞරවය සහමුලින්ම ඉවත් නොවූ නමුදු යුරෝපීය ජාතිකයෝ තරුණ උදවිය සමග වැඩ කරන්නට බෙහෙවින් උත්සුක වූහ. තරුණ උදවිය ක්‍රිස්තියානි ආගමට හැරවීම, බටහිර සාරධර්ම උගැන්වීම සහ ඉනියුට් සාරධර්ම පහතට හෙළා දැකීමත් තරුණ උදවිය සමග පහසුවෙන් කළ හැකි බව යුරෝපීය වෙළෙන්දෝ තීරණය කළහ. නේවාසික පාසැල් (Residential School) පිහිටුවීම මෙම ඉහත පරමාර්ථ සම්පූර්ණ කරගැනීමට පූජකවරුන් ගත් ඉතා විශාල ප්‍රයත්නය ප්‍රතිඵල දායක වූයේ ය. එය ඉංග්‍රීසි භාෂාව භාවිතා කරන්නට ඉනියුට් ජාතිකයන්ට පුරුදු කළ අතර ඔවුන් අතර පැවති ඉනික්ටිටුට් හා ඉනියුනක්ටුත් වැනි භාෂා අර්ථ විරහිත බව ඔවුන්ගේ පෙන්වා දීම විය.

ක්‍රිස්තියානි ධර්මය ඇතුළු වූ ඉනියුට්වරුන්ට විශේෂ වරප්‍රසාද ලබාදීම ද යුරෝපීය ජාතිකයන්ගේ එක් පරිශ්‍රමයකි. නේවාසික පාසල්වලට ළමුන් ඇතුළු කරන ලද්දේ දෙමාපියන්ගේ අවසරය නොමැතිව බලපෑම් මගිනි. සමහර අවස්ථාවල දරුවන් පවුල් වලින් පැහැරගෙන යාම් ද සිදුවී තිබිණි. මෙය තවත් අතකින් බලන විට ‘සංස්කෘතික ඝාතනයක්’ (Cultural Genocide) වශයෙන් හැඳින්වීම නිරවද්‍ය වේ. එම පාසල්වල ඉංග්‍රීසි පන්නයට හැදුනු ගැහැණු පිරිමි අද විවිධ උතුරු ජනාවාසවල ජීවත් වෙති. ඉන් බොහෝ දෙනෙක් විවිධකාර මානසික රෝගවලින් පෙළෙන බවත් තදින් බීමත්කමට ඇබ්බැහි වී ඇති බවත් වාර්තාවලින් පෙනේ. මෑතකදී කැනඩා රජය විසින් පත්කරන ලද Reconciliation Commission මගින් මෙබදු උදවිය පිළිබඳ සත්‍ය තොරතුරු රාශියක් අනාවරණය වී තිබේ. ඇතැම් දරුවන් මූලික සංස්කෘතියෙන් මුලිනුපුටා දැමූ අතර ඔවුන් ලිංගික අපරාධවලට ද යොමුවී ඇති බව කොමිසන් වාර්තා වල සඳහන් වේ.

මාගේ පෞද්ගලික අත්දැකීම්වලට අනුව ඉනියුට් වැඩිහිටියන් ඉතා ප්‍රසන්න මානව වර්ගයක් වශයෙන් හඳුන්වා දීම වටනේය. අවශ්‍ය වේ. ඔවුන් තුළ පැවති ලෝක දර්ශනය හුදු පොතපතින් ම ඉගෙන ගත හැකි දේවල් නොවේ. ඔවුහු දේශගුණය, ස්වභාවධර්මය, මානව ගරුත්වය සහ ප්‍රගතිය යන කරුණු පිළිබඳව ජීවිතය නැමැති තක්සලාවෙන් ලත් දැනුම සහ අත්දැකීම් සහිතව ජීවත් වෙති. ඉතා පැහැදිලිව කාලගුණ තත්ත්වයන් පුරෝකථනය කරන්නට ඔවුනට හැකියාව තිබේ. හිමවලසුන්, කැරිබුවන් සහ අනෙකුත් වනචාරී සතුන්ගේ හැසිරීම් පිළිබඳව ඔවුහු හොඳින් දැන සිටියහ. අද ජීවත්වන ඉනියුට් ජාතිකයන් තුළ ද මේ දැනුම පාරම්පරිකව උරුම වී පවතී. මීට අමතරව, ආදරය ඇඟෑලුම්කම් දැක්වීම, ධනාත්මක සමාජ සම්බන්ධතා පැවැත්වීම පිළිබඳව ඔවුහු ඉතා දක්ෂ උදවිය බව මට පෙනී ගොස් ඇත.

මගේ ස්ථිරසාර අදහස් වන්නේ, බටහිර ලෝකයේ රටවල් දියුණුව සංවර්ධනය සහ සංකල්ප වලින් හඳුන්වන පුද්ගලවාදය කේන්ද්‍ර කොටගත් සංවර්ධන සැලසුම් ඔවුනට ගැලපෙන්නේ නැත. ඉනියුට් ජනයා බාහිර පෙනුමෙන් ඇඳුම් පැළඳුම්වලින් දැනටමත් නවීකරණයට භාජනය වී සිටිති. අද සිටින තරුණයින් ඉනියුට් ජාතිකයෝ සංස්කෘතීන් දෙකකට මැදි වී අසරණ වී සිටිති. ඉතා ඉහල සියදිවි නසා ගැනීම් සහ අධික සුරාපානය සහිත පවුල් අඩදඹර මෙම නොගැලපීම ප්‍රකාශ වන යම් යම් මාධ්‍යවේ. ඉනියුට් ජාතිකයන්ට ද නවීකරණය වීමට ආසාවක් සහ හැකියාවක් ඇත. එය කළ යුත්තේ අධ්‍යාපනය හරහා ඉහලට යාමට හැකියාවක් ඔවුනට ලබා දීමෙන් යැයි මම සිතමි. ඒ අතරම ඔවුන් සතු වසර ගණනාවක් පැවති සාරධර්ම සහ ගුණාංග තව තවත් පෝෂණය කිරීමට ද අධ්‍යාපන අවස්ථා සම්පාදනය කිරීමත් සමඟම කළ යුතු අත්‍යවශ්‍ය වගකීමක් වේ. ඉනියුට් භාෂාවන් රැක ගැනීමට උදව් වීමත් මෙහිම තවත් කොටසකි. ඉනියුට් භාෂාවන් සහ ඉංග්‍රීසි යන භාෂාවන් දෙකම එක සමාන වැදගත්කමකින් දරුවන්ට ඉගැන්විය යුතු වේ. ඔවුන් පුරුදු වී සිටින බෙදාහදා ගැනීමේ සාමූහික සංස්කෘතිය වෙනුවට හුදු පෞද්ගලිකත්වය වර්ධනය කරන සංස්කෘතික රටාවක් ඉදිරිපත් කර ඔවුන් අද පත්වී ඇති අවදානමෙන් ගොඩ ගැනීම ඉතාමත් දුෂ්කර කාර්යයක් විය හැකි බව මගේ අදහසයි. ස්ථාවර සංස්කෘතියකින් තොරව ගොඩ නගන ජාතිය, වැලිගොඩක් මත තැනූ මාලිගාවක් බවට පත්වනු නොඅනුමානය. ඕනෑම වෙලාවක එය කඩා වැටිය හැකි වනවා පමණක් නොව නැවත ගොඩනැංවීම ද ඉතා අසීරු වන්නේය.

මීළඟ ලිපියෙන් අනුක්‍රමයෙන් ඉනියුට් ජාතිය බටහිරකරණයට පුරුදු කළ හැටි සවිස්තරව දක්වා ලන්නට උත්සාහ කරමි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *