නොනිමි මතක පොත

නොනිමි මතක පොත විශේෂාංග සියලුම ලිපි ළමා පුවත්

මා විසින් මීට ඉහත ඉනියුට් (එස්කිමෝ) ජනයා පිළිබඳව කරන ලද රචනාවෙන් ඔවුන් හැමදෙනා ම සමාජාතීය ජන කොට්ඨාශයක් ය යන අදහස පළ වී තිබුණි. එහෙත් විවිධ වයස් කාණ්ඩ දෙස බලන විට විශේෂතා මෙම කණ්ඩායම් තුළ දක්නට ලැබේ. අද මම එබැවින් ඉනියුට් වැඩිහිටියන් පිළිබඳව පමණක් ලියන්නට අදහස් කළෙමි. මෙහිදී වයස අවුරුදු 65ට වඩා වැඩි උදවිය ගැන සලකා බලමි.

කැනඩාව තුළ වැඩිහිටි ඉනියුට් ජනතාව පිළිබඳව ලියැ වී ඇත්තේ ඉතා අල්ප වශයෙනි. සංඛ්‍යා ලේඛන වශයෙන් බලන විට ඔවුන් සිටින්නේ මුළු ඉනියුට් ජනයාගෙන් 6%ක් පමණය. ඉනියුට් නොවන අනෙකුත් ජාතිකයන් සමග සංසන්දනය කරන විට, ඉනියුට් ජාතිකයන් ජීවත්වෙන සාමාන්‍ය වයස අඩුය. සමහර විචාරකයන් පවසන අන්දමට ආදිවාසීන් පිළිබඳව කතාකිරීමේදී සාකච්ඡාව ආරම්භ කළ යුත්තේ වයස 55 පිරුණු උදවිය වැඩිහිටියන් වශයෙන් සැලකීමෙනි. සාමාන්‍ය වශයෙන් බලන විට ඉනියුට් වැඩිහිටියන් දෙස බලන්නේ ඔවුන්ගේ වයස අවුරුදු ගණන අනුව නොවේ. ඔවුන්ගේ මානසික සෞඛ්‍ය, සමාජය සමග උරෙනුර ගැටී සිටින ආකාරය අධ්‍යාත්මික භාවය, ජීවිතය නමැති තක්සලාවෙන් උකහාගත් දැනුම භෞතික සෞඛ්‍ය යනාදී කරුණු වලට අනුවය.

දකුණු සහ නැගෙනහිර ආසියානු සංස්කෘතිය මෙන්ම ඉනියුට් සමාජයේ ද වැඩිහිටියන්ට සලකනු ලබන්නේ ඉතා උසස් අන්දමේ ගෞරවයක් හා ආඩම්බරයක් සහිතවය.“ පැසුණු හිසින් බුහුමන් ලබන“ යන කියමන මට සිහියට නැගේ. ඉනියුට් වැඩිහිටියෝ සංස්කෘතික සම්ප්‍රදායන් පවත්වාගෙන යන භාෂාව සහ ආගමික පුරුදු පවත්වාගෙන යන වාහන බවට පත්වී ඇත. සාම්ප්‍රදායක ඉනියුට් සමාජයේ ඉගෙන ගැනීම යන්න වැඩිහිටියන්ගෙන් ලබාගන්නා දායාදයකි. ඒ අනුව වැඩිහිටියෝ සංස්කෘතිය තරුණ පරපුරට පවරා දීම හා ඉදිරි අවස්ථා පෙන්වා දීමෙහිලා මහඟු කාර්යයක් ඉටු කරති. ඔවුනට පාසල් හෝ පිරිවෙන් තිබුණේ නැත. විද්‍යාල හෝ විශ්වවිද්‍යාලයන් තිබුණේ නැත. භෞතික ලෝකයේ ඇති සරුව පිත්තල බඩු භාණ්ඩ වලට ඇදී ගියේ නැත. ඔවුන්ගේ සකල ජීවන රටාවම ගොඩනැගී තිබුණේ දඩයම් කිරීම හා රැස් කිරීම මත ය. සාමූහික ජීවන රටාවකට පුරුදු වී සිටි ඔවුහු වැඩිහිටියන් දෙස බැලුවේ මාර්ගෝපදේශකයන් මෙන්ම නව මංපාදන්නන් හැටියටය. තරුණ උදවියට වෙනත් විකල්ප තිබුණේ නැත. වැඩිහිටි උදවිය පසුපස ගොස් ඔවුන්ගෙන් ඉගෙන ගැනීම හැරෙන්නට අන් මගක් නොතිබුණි. දඩයම් සහ රැස් කිරීම ඉගෙන ගැනීමට විධිමත් පාඨමාලා දක්නට නොලැබුණි. තරුණයෝ පියවරුන් පසුපස ගොස් නව ශිල්පයන් ඉගෙන ගත්තාහුය. හිම වලසුන් දඩයම් කිරීම මේ සඳහා ඇති මාහැඟි උදාහරණයකි.

හිම වලසුන් දඩයම් කිරීමේ උපක්‍රම, ක්‍රම සහ විධි වැඩිහිටියෝ දනිති. ඔවුන් සමග ගොස් ඒවා ඉගෙන ගැනීමට වැඩිහිටි දරුවන්ට අවස්ථා තිබේ. එමෙන්ම එබඳු දඩයම් ගමනක ඇති අවදානමද වැඩිහිටියෝ දැනගෙන සිටියහ. දැනුම සහ කුසලතා ඉදිරි පරම්පරාවට පවරා දීමේ ක්‍රමවේදය නිරීක්ෂණය මත සහ වැඩිහිටියන් මත රැඳාුනු බැවින් වැඩිහිටියෝ විශේෂ ගරුත්වයට ලක්වූ පිරිසක් වූහ. තරුණ උදවියට පැවැත්ම සඳහා වැඩිහිටියන් නැතිවම බැරි කොටසක් බවට පත් වූහ.

බොහෝ වැඩිහිටියන්ට දේශගුණික වෙනස්වීම, හුළං හමන දිශාව, කෙසේ සතුන් සොයා ගැනීමට කටයුතු කළ යුතුද, යන්න පිළිබඳව පැහැදිලි අවබෝධයක් තිබූ බව පෙනේ. ඔවුන්ද එම අවබෝධය ලබාගෙන ඇත්තේ අත්දැකීම්වලින් ම පමණි. මුළු වර්ෂය පුරා ජීවත් වීමට සරිලන පරිදි කැරිබු සතුන්, හිම වලසුන්, මස්කොක්ස් ගවයන් සහ මූස් වර්ග සොයා ගැනීමට ඔවුහු දක්ෂ වූහ.
සතුන් මතම ජීවත් වුවද එම වැඩිහිටියෝ සතුන්ට දක්වන ලද්දේ ඉතා අගනා කරුණාවන්ත තත්ත්වයකි. ඔවුන්ගේ ගායනා සහ කතාන්තරවල මේ බව ගැබ්ව තිබේ. ස්වභාවධර්මයා සමග ඔවුන්ගේ පැවතියේ ඉතා උසස් සම්බන්ධතාවයකි. ස්වභාවධර්මය දෙවියන්ගේ මැවීමක් බව ඔවුහු විශ්වාස කළහ. ස්ත්‍රී පුරුෂ භේදයන් පිළිබඳව වැඩිපුර වාර්තා ඉනියුට් ජනතාවගේ ඉතිහාසයේ දක්නට නැති බව පෙනේ. දඩයම් සම්පූර්ණ කර සතුන් තම පදිංචි ස්ථානයට ගෙන ඒම පිරිමින්ගේ වගකීමක් වූ අතර ඉන් ඉදිරියට ඉදිරි කටයුතු සියල්ලම කාන්තාවන්ට භාර වි තිබුණි. අනුභවය සඳහා මස් සකස් කිරීම, පාවිච්චිය සඳහා හිම අත්වැසුම් තැනීම, නිදා ගැනීමට ගැලපෙන අයුරින් සතුන්ගේ හම් සකස් කිරිම, මවගේ වගකීම යටතේ පැවතිණි. තරුණ වනිතාවෝ වැඩිහිටි කාන්තාවන්ගෙන් මෙම ශිල්පීය ක්‍රම උකහා ගත් බව පෙනේ. ඉනියුට් ජනතාව පිළිබඳව ලියැවී ඇති රචනා බොහොමයක ඔවුන් හඳුන්වා ඇත්තේ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව වගකීම් සම සේ බෙදා ගත් කණ්ඩායමක් වශයෙනි. ඔවුන් අතර උස් පහත් භේදයක් තිබී නැත.

අද කැනඩාවේ ජීවත් වන මුළු ඉනියුට්වරුන්ගේ ජනගහනය 30,000ක් පමණ වේ. අතීතයේ මීට වඩා වැඩි සංඛ්‍යාවක් සිටි බව සාධක ඇතත් ඔවුන්ගේ ප්‍රමාණය ස්වභාවික තර්ජන නිසා අනු ක්‍රමයෙන් අඩු වී තිබේ. මිචෙල් නමැති රචිකාවිය පවසන අන්දමට ඉනියුට්වරුන් ශතවර්ෂ ගණනාවක්ම අලුත්කළ හැකි සම්පත් ගණනාවක්ම පාවිච්චි කරමින් ජීවිතය පවත්වාගෙන යාමට සහ නැවත ගොඩනංවා ගැනීමට බලවත් උත්සාහයක් දරා ඇති බව පෙනේ. (1996) උතුරු ආක්ටික් ප්‍රදේශයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රෙඞ් පැරන්හයිට් -50ට අඩුවෙන් පවතින කාලය ඉතා දීර්ඝ වේ. සූර්යයා දක්නට නොලැබෙන දින ප්‍රමාණය සමහර වර්ෂවල දින සීය ඉක්මවා යයි. බොහෝ ඉනියුට්වරු ආහාර විරහිතව ගත කළ කාලයන් පිළිබඳව මතකයන් එමට පවතී. ඉනියුට් අයගේ ආගමික වතාවන් පවා යොමු වී තිබුනේ ආහාර රැස් කිරීම සහ ජීවිතය ආරක්ෂා කරගැනීමේ කාරණාවන් වෙත අවධානය යොමු කරමිනි. දරුවන් හදා වඩා ගත්තේ දඩයම්කරුවන් වන අයුරිනි. කාන්තාවන්ගේ වගකීම වූයේ එවැනි දක්ෂ දඩයම්කරුවන් ලොවට බිහිකිරීමය.

ආහාර හිඟ කාලවලදි ඔවුහු ආහාර ලබා ගැනීම හා ආරක්ෂා කරගැනීමට ප්‍රායෝගික ක්‍රමවේද භාවිතා කළහ. ආහාර බහුල වශයෙන් පවතින කාලවලදී සියල්ලෝම සතුටින් ඒවා භුක්ති වින්ද බව පෙනේ. හිඟ කාලවලදි සමහර උදවියට තමතමුන්ගේ ජීවිත රැක බලා ගැනීමට සිදුවී ඇත. එම නිසා ම කුඩා දරුවන්, අසනීප කරුවන් හා වැඩිහිටි උදවියට ඉනියුට් සමාජය විසින් රැකවරණ නොදුන් බව වාර්තා වේ. කුඩා ගැහැනු දරුවන් මෙබඳු කාලවල දී මරා දැමුණු බව රස්මුසන් (1931) වාර්තාවල සඳහන් වේ. සමහර කෑම හිඟ කාල වලදී වැඩිහිටියන්ට මැරෙන්නට ඉඩ හැර තරුණ කණ්ඩායම් වෙනත් ක්ෂේම භූමි කරා ගමන් කළ බව කියවේ. අද ඉනියුට් ජාතිකයන් අතර පවතින අධික සියදිවි නසා ගැනීම් වල පූර්වාදර්ශ මෙම පුරුදු විය හැකිය.

ඉතා අඩු වයසින් (වයස දාසයේ දී පමණ) විවාහ වීම පිළිගත් පිළිවෙතක් වූ බව පෙනේ. බහුභාර්යා සේවනය ද දක්ෂ දඩයම් කරුවන් අතර ප්‍රචලිත වී ඇත. ඒ ඔවුන්ට ඉතා විශාල සම්පත් උපයා ගැනීමට හැකි බැවිනි

ඉනියුට් දඩයම්කරුවන් සතුව පැවතියේ ඉතා සුළු ආයුධ කට්ටලය. එහෙත් ඒවා ඉතා තියුණු ආයුධ වේ. හාපූන් දුනු සහ ඊතල, කුරුල්ලන් මරණ කැටපොළු, ගලින් තැනූ උගුල්, බහුල වශයෙන් පාවිච්චි කර ඇත. සමහර උපකරණ අනුභවය සඳහා මරා ගෙන එනු ලබන සතුන්ගේ ඇට වලින් තැනූ ඒවාය. ඉනියුට් කාන්තාවක් එම ඇටවලින් සියුම් ඉඳිකටු, ලාම්පු සහ භාජන තනන්නට සමත් වූහ. ගිම්හාන කාලයේදී තණකොළ පාවිච්චි කර ඔවුහු කුඩා පෙට්ටි තැනූහ. සත්ව හම් වලින් කුඩා කල ගෙඩි තැනූහ. නිදා ගැනීම සඳහා සත්ව හම් ඇඳන් උර වශයෙන් පාවිච්චි කළහ. වැඩිහිටි ගැහැණු සහ පිරිමි මෙහෙම දේවල් තනන ආකාරය තරුණ උදවියට ඉගැන්වූ බව පෙනේ.

ඉනියුට් දේශය ගස් සහ ලී වලින් තොර වූ ප්‍රදේශයකි. කෙනකුට ලී වලින් තැනූ කරත්තයක් බඳු දෙයක් ලබා ගත හැකි වුවහොත් ඔහු අනිවාර්යයෙන්ම තරුණ බිරිඳක් ලබාගැනීමට සුදුසු වන්නේ ය. හිම මත වේගයෙන් ගමන් කළ හැකි බල්ලන් ඔවුන්ගේ වටිනා වස්තූන් අතර සිටියි. මේ බල්ලන් යොදාගෙන එහා මෙහා යා හැකි කරත්ත ඔවුන් තනා ගෙන ඇත. ඒ සඳහා අමුද්‍රව්‍ය සොයා ගැනීම ඉතා දුෂ්කර කාර්යයක් වී තිබුණි.

තමන්ට ලැබෙන මස් වර්ග සියලුම දෙනා සමඟ බෙදාගැනීම ඔවුන්ගේ එක් එක් යහපත් සිරිතකි. එනිසාම ආහාර හොරකම් කිරීම දක්නට නොලැබුණි.

පුරුද්දක් වශයෙන් සියලුම ඉනියුට්වරු මොවුන්ගේ වැඩිහිටියන්ට සවන් දුන් අතර ඔවුන්ගේ අණසකට යටත්ව සිටි බව වාර්තා වෙයි. වැඩිහිටි නායකයන් හඳුන්වන්නේ ‘ඉසුමායිටොක්’ නමිනි. එහි අර්ථය නම් ‘හිතන්නට පුළුවන් කෙනා’ යන්නයි. එමෙන්ම එම තැනැත්තාට පවුලට දඩයම් සැපයීමටද දක්ෂයෙක් විය යුතුමය. සෑම ඉනියුට් ජාතිකයෙක් ම එම නායකයාගේ හොඳනම ගැනීමට උත්සාහ කළ බව වාර්තා වේ.

ඉනියුට් ජාතිකයන් තම වර්ගයා පිළිබඳ උදම් අනන්නට හෝ අනන්‍යතාවය පිළිබඳ වර්ණනා කරන්නට ගත් උත්සාහයන් දක්නට නොලැබේ. එබඳු උත්සාහයක් යම් අයුරකින් සිදු වූයේ නම් ඒ යුරෝපීය ජාතීන් පැමිණ ඔවුන්ට හිරිහැර කරන්නට පටන් ගත් දා සිට ය. 60 වැනි දේශාංශකයෙන් උතුරේ ජීවත් වූ ඉනියුට්වරු කැනඩාවේ අනෙකුත් ආදිවාසීන් සහ සම්බන්ධකම් පැවැත්වූයේ නැත.

යුරෝපියන් පැවිනි පසු ඔවුන්ගේ වෙනස් නම් පිළිබඳව මීළඟ ලිපියෙන් සාකච්ඡා කරමු.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *