දහසක් දනන් සුවපත් කල වෙද ඇසකී…. රහසක් වගේ අමතක වුන කතක් සකී….

විශේෂාංග

විශේෂඥ වෛද්‍ය විනීතා රංජනී ප්‍රනාන්දු මහත්මිය අරලගංවිල රෝහලේදි මියගිය කණගාටුදායක පුවත වාර්තා වුනා…?

හදිසියේම බලාපොරොත්තු කඩා ඉහිරී ජීවිතය කඩා වැටී හුදෙකලා වුනු ගැහැණියකට ඈ සතු දැන උගත්කම් ,වත් පොහොසත්කම් , තරාතිරම ආදිය සියල්ලම බිංදුවටම දා වනගත වන්නට හැකිද…?
අපි හිතමු ඈ අගනුවර ප්‍රධාන පෙලේ රෝහලක විශේෂඥ වෛද්‍යවරියක් කියා… එහෙම කෙනෙකුගේ ජීවිතය කොතැනකින් හෝ බිඳ වැටී අවසන ගොමස්කඩ චීත්තයක් පටලාගෙන..අපිරිසිදු මඩුවක, තනිවට බල්ලන් බලලුන් පිරිවරාගෙන උන් හා කතා බහ කරමින් ජරා ජීර්ණ වේවිද..?
එහෙම වෙන්න පුලුවන්ද..?
බොහෝ ගැහැණු ප්‍රේම කරන්නට වූ කලී දිවි දෙවැනි කොට ප්‍රේම කරන්නීය.. වචනයේ අරුතින්ම එහි වංචාව බොරුව නැත.. ..ඉතින් හදිසියේ ඔහු මියගිය විටෙක, නොඑසේනම් ඔහු ඈ අත් හැරි විටෙක ජීවිතය බිඳගෙන වනගත වන නැතහොත් ආගමික ස්ථානයක ඇගේ ආගම් කතෲන් වහන්ස්සේලා ට පුද පූජා පවත්වමින් ඉදිරි ජීවිතය හුදෙකලා කරගත් ගැහැණු මා දැක තිබේ..
එවන් එක් ගැහැණියක උතුරේදිත්, අනෙක් ගැහැණිය නැගෙනහිරදීත් මම දුටුවෙමි.
ඔවුන් ඇසුරු කොට ආ දින රාත්‍රිය මට මහා දිගු එකක් විය. මගේ හුස්ම හිරකරන සුලු විය.. ඒ මහා භයංකර, රුදු පාලුව මට දැනුනේය..කෑගසා හඬා දුක කියන්නට කෙනෙකු නැතිකල, ඒ දුක අසන්නට කෙනෙකුන් කෙනෙකු නැතිකල.. ඒ ගැහැණුන් දෙදෙනා එසේ හුදෙකලා වුනු තරුණ කල කෙසේ දිවි ගෙව්වාදැයි නොදනිමි. ඔවුන් දෙදෙනාම දැන් ඉතාමහලුය.
2015 ජූනි මාසෙ දිනයෙක මමත් දරුවනුත් .. අරලගංවිල පසු කරමින් ගමන් කරමින් සිටියෙමු.. වෙහෙරගල මහවැලි ගම්මානයකි.. එහි පාලුවට ගිය කැලෑවට වැසුනු ගබඩා කාමරයක ඉදිරිපිට බොහෝ මහලු මාතාවක් බිම ඉඳගෙන සිටියාය…
කපු පුලුන් කුල්ලක් බඳු හිසැකේ ඉතා කුඩාවට උන්ඩි කොට ගැටගසාගෙන තිබුනේය.. එතරම් උසක් නැති අව්වටම පිලිස්සීම නිසා අඳුරු වූ සම බුරුල් වී එල්ලී රැළි ගැසී තිබේ..
සුදු පැහැති හැට්ටයක් සහ චීත්තයක් ඇඳ බිම ඈඳිගෙන සිටි ඈ සමීපයට ගිය අප ඈට කතා කලෙමි..
” කවුද මේ.. අනේ මට ඇහැ පේන්නෙ නෑනෙ..පුතේ.. යන්තං චායාවක් තමා පේන්නෙ අඳුනගන්න නං බෑ…”
ඒ මොහොතේත් ඇගෙ උකුලේ කුඩා බලල් පැටියෙකි..වටා පිටාවෙ ඈ වටකොටගෙන සිටින බල්ලන් සංඛ්‍යාව දහයක් දොලහක් වන්නට ඇත.. බලලුන් ද රාශියකි.. ඈ අත වන කුඩා බලල් පැටියා ඇගෙන් මිදී යන්නට තැත් කලද ඈ පැටවා තදින් අල්ලාගෙනම…සිටින්නීය.
“,අද මම පෙන්ෂන් එක ගන්න අරලගංවිල ගියානෙ… ඉතින් මගෙ මේ ලමයි ටික බඩගින්නෙ.. නන්දා ගියා කෑම ටික අරන් එන්න ..ඒකයි මේ ඉන්නෙ..”
මගේ බීබීසී සංදේශය වෙනුවෙන් සේවය කරන දියණිය..ඈ අමතා තමන්ගේ සේවා ස්ථානය කීවාය..
අහ්… ඒ මහලු දෙනෙත් වලට ආ ආලෝකය.. හරියට ඇගේ නෑයෙකු හමුවුනා වැනිය…
ඉතින් මේ කිලිටි මහලු මාතාව.. එතැන් සිට.. කතා කලේ සහමුලින්ම ඉංග්‍රීසි බසිනි… ඒ හඬෙහි වන පෞර්ෂය මට ඇගේ කීර්තිමත් අතීතය හිතේ ඇඳ පෙන්වයි..
ළමා රෝග පිලිබඳ විශේෂඥ වෛද්‍ය විනීතා රංජනී ප්‍රනාන්දු නම් වූ මේ ඇගේ කතාවයි.
‘මම ඉගෙන ගත්තේ කොළඹ ‍ලේඩිස් කො‍ලේජ් එකේ.. ගෙවල් තිබුණේ කුරුඳුවත්තේ. ඒ කියන්නේ කොළඹ හත, මම ඉගෙන ගත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙන්.
පාසැල් අධ්‍යාපනයෙන් පස්සේ මම කොලඹ සරසවියට ඇතුලු වුනා මා සමග අල්ලපු මේසයේ තමයි මහාචාර්‍ය කාලෝ පොන්සේකා හිටියේ පසුපස මේසයේ ඉගන ගත්තේ මහාචාර්‍ය තිස්ස විතාරන තවත් පැත්තක හිටියා වර්නැන්ඩි සිල්වා කියල කෙනෙක් එයා පසුව රට ගියා එයිට පස්සේ මට මුන ගැසුනෙ නැහැ .අප විභාග සමත් වුනාට පසුව එක එක රෝහල් වලට දානවනේ මම මුලින්ම දැම්මේ කොලඹ ජාතික රෝහලේ ඕ පි ඩි එකේ වෛද්‍ය පි ආර් ඇන්තනිස් යටතේ එයිට පස්සේ මට මුලින්ම රිජ්වේ ලමා රෝහලේ පත්විම ලැබුනා මට දින වකවානුනම් හරියට මතක නැහැ .
මේ ඈ කියන කතාවයි. ඈ කොලඹ බොරැල්ල ළමා රෝහලේ සීමා වාසික සේවයේ යෙදුනේ යැයි කියන වසර පිලිබඳව මට ඉඟියක් ලැබුනේ එහිදී ඈ මතකයේ තිබුනු එස් ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනාය මහතා ගේ ඝාතන සිද්ධිය ගැන ඈ කරන ආවර්ජනයෙනි.
“අපි ඔක්කොම දුව ගෙන ආව. එතකොට බණ්ඩාරනායක මහත්තය මොකද්ද දන්නවද කිවුවේ? සිවුර දාගත්ත මෝඩ මිනිහෙක්…..
බලන්න හාමුදුරු කෙනෙක් කිවුවේ නෑ – සිවුර දාගත්ත මෝඩ මිනිහෙක් මට වෙඩි තිබ්බ කිවුව,එයිට පස්සේ බෝලේ වාගේ පුංචි පැටියෙක් වන අනුරත් එක්ක මැතිනියත් අඩාගෙන ආපු අවස්තාව මට හොදටම මතකයි “
ඒ 1959 සැප්තැම්බර් 26 දාය.
‘මම සීමාවාසික පුහුණුව ලබන්න පත්වීම් ලැබුවේ බොරැල්ල රිජ්වේ ළමා රෝහලෙන්. පුහුණුවෙන් පස්සේ කොළඹ නගර සභාවේ වෛද්‍ය නිලධාරිනියක් විදිහට වැඩ කළා.
ඒ අතරේ ළමා රෝග විශේෂඥයකු වීමට ඉගෙන ගත්තා. මම විවාහ වුණා. මගේ ස්වාමිපුරුෂා දන්ත වෛද්‍යවරයෙක්. මගේ අම්මයි, තාත්තයි පදිංචි වෙලා හිටියේ ගම්පහ විසි වැනි සැතපුම් කණුව ළඟ තිබුණු ගුණවර්ධන මාවතේ. අපේ පවුලට යමක් කමක් තිබුණා. මම විවාහ වෙලා ටික දවසක් ගියහම මගේ සැමියා මැරුණා. ඊට පස්සේ මගේ අම්මා තාත්තාත් මගෙන් සදහටම සමුගත්තා. මම තනිවුණා. ඔය අතරේ තමයි මම පත්තරේක දැක්කේ මහවැලියට අනුබද්ධිතව වැඩ කරන්න වෛද්‍යවරියක් ගන්නවා කියලා. ඒ අනුවයි මම පොලොන්නරුවෙ දෙහිඅත්තකන්ඩිය මහවැලි කලාපයට ආවෙ.
මම දෙහිඅත්තකණ්ඩියට යනකොට මට රෝහලක් තිබුණේ නැහැ. ඒ පැත්තේ හුඟක් අයට මැ‍ලේරියාව හැදිලා. වෙනත් රෝගවලටත් ගොදුරු වෙලා. ඒ වගේම යුද්දෙත් ඇවිලිලා තිබුනෙ… ”
වසර තුනක ට පමණක් මේ දුෂ්කර සේවයට ආ ඇයට යලි විශ්‍රාම ගන්නා තෙක්ම එහිම සේවය කරන්නට විය.. ඒ හැත්තෑවෙ අගභාගය විය.
මේ අතරේ යලිත් ඇගේ ජීවිතයට වසන්තය පැමින තිබුනාය.. හිරු නොබසින අධිරාජ්‍යයෙන් නැගෙනහිරට පැමිනි රාජ්‍ය නොවන සංවිධානයක වෛද්‍යවරියක ලෙස ඈ යලි ක්‍රියාකාරී සාමාජිකාවක විය…. .. ඒ කන්ඩායමත් සමඟ පැමිණි ජෝර්ජ් නම් සුදු මහතා … මේ සුන්දර වෛද්‍යවරියට නැවත ජීවිතය දුන්නේය..
සේවයෙන් විරාමයක් ලද හැමවිටෙකම ඔවුහු ජීවිතය වින්ඳෝය..
විටෙක එල්ටීටීඊ වෙඩි උන්ඩ ඔවුන්ගෙ හිස් මතින් පියාඹා යන්නේය. ….එහෙත් ජීවිතය බිහිසුනු නැත… තම රැකවරණයට කෙනෙකු සිටින්නේය.. වතාවන් ගනනාවක් ජෝර්ජ් හා බටහිර රටවල් කිහිපයකටම චාරිකා වල යෙදුනු ඇගේ ඒ මතකය සිහිපත් කරද්දී ඉතා ගැඹුරු ආවාටයක ගිලී මිලින වී තිබෙන ඈ දෑස් කඳුලින් දිලිසෙන්නේය..
මම ඇගේ ඈ නිදන , ගබඩා කාමරයට ඇතුල් වීමි..
” ටිකක් ගඳයි…. පරිස්සමෙන් යන්න..”
ඇත්ත.. ඈ පවසන්නේ සත්‍යයකි.. .. එහි ඇත්තේ කුමන දුඟදක්දැයි වෙන් කර ගත නොහැක.. බල්ලන් බලලුන්ට බෙදා දෙන ලද ආහාර පාන පිලුණු වීමෙන්ද, කිලිටි පරිසරයෙන්ද කොතැනකින් එන දුඟදක්දැයි මට නොතේරේ..
එහි අඳුරු මුල්ලක පකිස් පෙට්ටියක් මත ඇතිරූ රෙද්දකි ඒ ඈ නිදන සයනයයි.. එහි පසෙක කැඩුනු බිඳුනු බෑගයක් ද වේ. හට්ටි මුට්ටි කීපයක් හැරුනු විට ඇගේ බැංකු පොත, දුර්වර්ණ වූ ගුවන් ගමන් බලපත්‍රය, වෛද්‍යවරියක ලෙස සේවය කල බව සඳහන් යතුරු ලියනය කල නැවු වලින් දිරාගිය කඩදාසි කීපයක්ද වේ.
ඈ අවසන් වරට ගුවන් ගමනක යෙදී තිබෙන්නේ 1999 සැප්තැම්බර් 09 දිනය… ඒ ගමන ඈ ගොස් තිබෙන්නේ බ්‍රිතාන්‍යටය.. ඒ ගැන අසන්නට ඈට දින වකවානු මතක නැත.
එක්තරා දිනෙක ජෝර්ජ් තම මවු බිම ගියේ නැවත පැමින .. ඇයව බ්‍රිතාන්‍යයේ ස්ථිර පදිංචියට රැගෙන යන බවට පොරොන්දු වෙමිනි…
ඈ බලා සිටියාය…. දින සති මාස අවුරුදු ගණන් ගෙවෙද්දිත් ඈ ඔහු පැමිනේවි යැයි බලාපොරොත්තු වූවාය..
අනතුරුව ඈ ඔහු සොයා යන්නට තීරණය කලාය… …
” එයා මැරිලා…. පොලඟෙක් දෂ්ඨ කල බව තමයි එයාගෙ නෑයො කිව්වෙ…. …ඔව් ඒක ඇත්ත….ජීවතුන් අතර උන්නා නම් එයා එනව…”
මගේ දියණියක ආදරය ගැන මොකද හිතෙන්නෙ…මෑම් යයි විමසීය..
” I worked so hard more than Love ”
ඈ එසේ පිලිතුරු දුන්නාය.. හිත තුල තිබූ දෙයක් නොදනිමි..
ඒ වකවානුවේ සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටියේ මෛත්‍රිපාල සිරිසේන මහතාය.
” අනේ මෛත්‍රීට කියන්නකො මම ගැන.. ඒ කාලෙ මහවැලියෙදි නිතර මාව හමුවෙලා තිබුන.. මෛත්‍රී දන්නවනම් මටයි මේ මගෙ හුරතලුන්ටයි ජීවත්වෙන්න තැනක් හදල දෙයි…”
“මගෙ ඇහැ පේන්නෙ නෑ.. ඒකත් සනීප කරගත්තොත් මේ ගම් වල ලමයින්ට ඉංග්‍රීසී ටිකක් උගන්නගෙන මට තව ටික කලක් හිටියෑකි.. ”
ඒ වනවිටත් ඇයට වයස අවුරුදු 80 කි.. එහෙත් හොඳ සිහි බුද්ධියකින් කතා කරන්නීය.
නන්දාවතී මහවැලි කලාපයේ කාන්තාවකි. ඈ මේ මහලු වෛද්‍යමාතාවටත් බලු බලල් පරම්පරාවටත් තම නිවසේ උයා පිහා ගෙනත් දෙන්නීය…මා සිතුවේ ඈ කෙතරම් උසස් මානුෂීය ගති ඇත්තියෙකැයි ද කියාය.
මසකට වරක් මේ මාතාව කැටුව බැංකුවට යන නන්දාවතී විශ්‍රාම වැටුපගන්නට උදවු කරන්නීය..
” මම නන්දාට රුපියල් 6000/= දෙනව ..මටයි මගෙ මේ බලු ලමයින්ටයි කෑමබඩු ටික ගෙනත් උයා දෙනවාට. ..මං කියා තියෙන්නෙ හොඳ අලුත් මාලු ගෙනැත් උයල දෙන්න කියල…”
අප එහි ගියදා .. ඒ එතුමිය වාඩිවී සිටියේ විශ්‍රාම වැටුප රැගෙන එන අතරමඟ කඩ මන්ඩියෙන් මසකට කෑම බීමට සෑහෙන්නට ගත් මාලු එලවලු පිරිවැස්ස ද නන්දා අත ඇගේ නිවසට යවා අනතුරුවය..
මාලු මිලදී ගත් බව කීවද… නන්දා අප එතැන හිඳිත්දී බලු පරම්පරාවට ගෙනා බත් වල තිබුනේ කරවල කටු පමනි. මාතාවට ගෙනා බත් පිඟානේ වූයේ සෝයා මීට් පමනි..
ඈ අප සමඟ මහලු මාතාවට ආඩපාලිද කියෙව්වාය.
” මේ බල්ලො ගොඩක් හදාගෙන අප්පිරියාවෙ බෑ.. මෙයාගෙ මල කෝලම්….ඉංග්‍රීසියෙන් බල්ලන්ට කතා කර කර ඉන්නව…පිස්සු මෙයාට..”
පැහැදිලිවම මහලු මාතාවගෙ මේ තරමින් හෝ ආරක්ෂාව රැඳී ඇත්තේ මසකට වරක් ලැබෙන විශ්‍රාම වැටුප නිසා පමණක් බව දැන් අපට පැහැදිලිය..
අනේ ඒ කිසිවක් නොවැටහෙන ඈ හදිසියේ හමුවූ නෑදෑ පිරිසක් සමඟ මෙන් අප හා ආගිය තොරතුරු කතා කරමින් සිටින්නීය..
ඇගේ පැහැදිලි ව්‍යක්ත ඉංග්‍රීසි බස හැසිරවීමත්… හඬත්…. ඇස් වසා අසන්නෙකුට ඇගේ මේ ජීවත්වීම විශ්වාස කල නොහැකි වනු ඇත..
” ඉස්සර මම නිතර පොලොන්නරුවෙ හයරිං වාහනයක කොලඹ එහෙම ගියෙ…” ඈ අපට ඒ රියදුරාගෙ නම පවසන්නීය. සැබැවි ඈ පැවසූ නම හිමි අය පොලොන්නරුව නගරයේ විදේශීය සංචාරකයින් රටේ ඒ මේ අත ගෙනයන අයෙකි ..
මං දැන් අවුරුදු 20 කින් විතර අරලගංවිලෙන් එහාට ගිහින් නෑ…. ….
අපට ඈ වෙනුවෙන් කල හැකිව තිබුනේ වහ වහා වගකිවයුත්තන් දැනුවත් කිරීමය…අපේ පුවත් පල දැරීය.
ඉන් මාස කිහිපයකට පසු මෛත්‍රිපාල සිරිසේන සෞඛ්‍ය අමාත්‍යවරයා ගේ නියමයෙන් වෙහෙරගල ට පැමිනි එවකට සෞඛ්‍ය ලේකම් වෛද්‍ය මහීපාල මහතා ඇතුලු කන්ඩායමක් විසින් ඇගේ ඇස් සුවපත් කිරීමට පොලොන්නරුව මහ රෝහලට ඇතුලත් කල බව සැලවිය…
අනතුරුව ඒ වන විටත් මහවැලි අමාත්‍ය ධුරයද හොබවමින් සිටි මෛත්‍රිපාල සිරිසේන මහතා මේ මාතාවට ජීවත් වන්නට හැකි පරිසරයක නිවසක්ද ලබා දුන් බව සැලවිය..
එදා අප සමුගන්නට පෙරාතුව ඇගේ දෑත තරයේ අල්ලා” මම ඉක්මනටම ඔබතුමිය ගැන ලෝකෙට කියනවා” .. පොරොන්දු වූයෙමි..
” Whatever im so happy with them….
If I get any protection, they should get it too”
ඈ අවිහිංසකව සිනාසෙන්නීය…..
ඊයේ මට එතුමිය ගැන යලි අසන්නට ලැබුනාය. මගේ ඥාති පුතෙකුට ඇය හමුවී තිබේ…… දෙවියන්ට පිං සිදුවන්නට ඇය නිරුපද්‍රිතය…. අට ලෝ දමින් කම්පා නොවන්නැයි හිත තරමක් හෝ හික්මවාගත් ඇතැම් වයෝවෘද්ධ මවු පියවරු අපට කියති..
එහෙත් අදද මට නම් ඈ සිහිපත්වෙද්දී දැනෙන හුස්ම හිරවෙන සුලු පීඩාව සුලු පටු නොවේ…
ඉන්දුමතී ජයසේන
රච්කාවියගේ මුහුණු පොතින් උපුටා පළකිරීමකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *