දේශීය ව්‍යාපාරයන්හි රන් සළකුණ- ජිනසේන

විශේෂාංග

වතුර මෝටරයක් කිව්වොත් මතක් වෙන්නෙ ජිනසේන නම යි. පිටරටවලින් ගෙන්වන වතුර පොම්ප අතරෙන් ලංකාවේ වෙනත් ආයතන නිෂ්පාදනය කරන වතුර පොම්ප අතරෙන් ජිනසේන වතුර පොම්පය එදා මෙන් අදටත් සිය අනර්ඝත්වයේ අභිමානවත් නම එලෙසම රැකගෙන සිටිනවා.
දේශීය ව්‍යාපාරිකයන්ගේ ඉතිහාසයේ ජිනසේන නම හුඟක් පැරණියි. ජිනසේන ආයතනය අවුරුදු සීය සමරන්න ආසන්න යි. ජිනසේනලගේ කතාන්දරය සහමුලින්ම යකඩ සහ වානේවලින් ලියැවුණු එකක්. එපමණක් නෙමෙයි. සුද්දගෙ දැවැන්ත කොම්පැණිවල එදිරිවාදිකම් මැද්දේ අභීතව ඉහ උස්සපු සිංහල ව්‍යාපාරයක්.
ජේමිස් ඇන්තනී ප්‍රනාන්දු නමැති දරුවා උපන්නේ 1873 ජන. 13 ද මොරටුවේ විල්ලෝරාවත්තේ දී. මොරටුව ප්‍රසිද්ධ වඩුවැඩවලට. ජේමිස් ඇන්තනීගේ පවුලත් කළේ වඩු වැඩ. ජේමිස් දරුවා වැඩිදුර අධ්‍යාපනය පස්සෙ පැන්නුවේ නැහැ. ඔහුට තිබුණේ අඩු යතුරු වගේ ආයුධ එක්ක හැපෙන ගායක්. මේ තරුණයා අවුරුදු 17 වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ වර්ක් ෂොප් එකට ඇතුළු වුණා. යකඩ වැඩවලට ඇන්තනි හරි ම සූරයා. යකඩ නවන්න,කපන්න, ඇණ මුරිච්ච කපන්න ඇන්තනි ඉගෙන ගත්තෙ රේල්වේ වර්ක් ෂොප් එකෙන් ඇන්තනි ඊට පස්සේ මලයාසියාවට ගියා. ඒ ගියෙත් යකඩ වැඩවලට ම තමයි. ඒ මැල්සියන් කොම්පනි කරපු සුද්දෝ ඇන්තනීට බොහොම කැමති වුණා. මක්නිසාද කාර්මික වැඩවල දී ඇන්තනී ළඟ තිබුණු පුදුම සහගත දස්කම නිසා. මේ තරුණයා මැලේසියාවෙන් ආපහු ලංකාවට ආවා. ආයෙ රේල්ලුවට ගිහින් වර්ක් ෂොප් එකේ වැඩ කළා. අවුරුදු 3 ක් එකේ වැඩ කරල හඩ්සන් කොම්පැණියෙත් අවුරුදු දෙකකුත් ඊළඟට බ්‍රවුන්ස් කොම්පනියෙත් වැඩ කරල ආයෙමත් මැල්සියාවේ ටින් ආකරවලට ගියා. මේ වන විට ඇන්තනි තරුණයා ඉංජිනේරුවකුගේ තත්වයට උසස් වෙලයි හිටියෙ.
ආපසු ලංකාවට පැමිණි ජේමිස් ඇන්තනි ප්‍රනාන්දු තරුණයා පරම්පරාව හෙලවෙන වැඩක් කළා. ඔහු ප්‍රනාන්දු වාසගම අත්හැරියා. මේ ඔහුගේ ජීවිතයේ විශාල පෙරලියක්. ප්‍රනාන්දු වෙනුවට ඔහු තම වාසගම බවට පත් කරගත්තේ ජිනසේන යන නමයි. සිංහල බෞද්ධ දේශිය ජාතිකානුරාගී ව්‍යාපාරය මේ වන විට රට පුරා මහා සුළඟක් සේ ව්‍යාප්ත වෙමින් තිබුණා. අනගාරික ධර්මපාල තුමාගේ දේශානුරාගී ව්‍යාපාරය ඔස්සේ ඉංග්‍රීසි නම් ගම් වෙනස් කරගැනීම ඇන්තනී තරුණයාට බලපාන්න ඇති. එසේ නොවුණා නම් ප්‍රනාන්දු ව්‍යාපාරයක් මිස ජිනසේ ව්‍යාපාරයක් අද නෑ.
මෙතැන් සිට අප කතා කරන්නේ ජිනසේන තරුණයා ගැන ය. ඔහු යන්ත්‍රෝපකරණ අලුත්වැඩියා කිරීමේ තමන්ගේ ම වැඩපලක් පටන් ගත්තා. ඒ 1905 දී කොළඹ රෝහල් වීදියේ තැනක. අද රෝහල් වීදිය හඳුන්වන්නේ චැතැම් වීදිය යන නමින්. මහණ මැෂින්, මෝටර් සයිකල් අලුත්වැඩියාව තමයි ඔහු මුලින් ම කළේ. මේ කාලය වන විට රබර්, තේ, පොල් සහ මිනිරන් කර්මාන්තය ලංකාවේ ජයට ම කෙරුණා. ඒවාට අවශ්‍ය යන්තෝපකරණ පිටරටින් ගෙන්නුවේ.මේවා අලුත්වැඩියා කිරීමේ දක්ෂ කාර්මිකයන් අතර ඉහළ ම තැනක සිටියේ ජිනසේන යි. තමන්ගේ තරුණ වියේ දී රේල්ලුවේ වර්ක් ෂොප් එකෙත් මැලේසියාවේ කම්මල්වලත් වැඩ කිරිමෙන් ලත් පුරුද්ද නිසා ඕනෑ ම යන්ත්‍රයක් අලුත්වැඩියා කිරිමේ හැකියාව විශේෂයෙන් තිබුණා. ගලා එන වැඩ ප්‍රමාණය වැඩි වුණා.
මිනිරන් පතල බොයිලේරු කැඩුණාම ඒවා අලුත්වැඩියාවට කෙළින්ම ආවේ ජිනසේන ළඟට. වැඩි ඉඩකඩ තියෙන තැනකට ගියොත් හොඳයි කියලා ජිනසේන කල්පනා කළා. කොළඹ රෝහල් වීදියෙන් ජිනසේන වැඩපළ හුණුපිටියට ගොඩ වැදුණේ එහෙමයි.
මේ වන විට ජිනසේන විවාහකයි. ළමයි 4 දෙනෙක් පවුලට එකතු වෙලා. ඒ ළමුන් අතරින් තිස්ස වීරවර්ධන ජිනසේන තාත්තගෙ පස්සෙන් වැටිලා යකඩ වැඩපළේ යකඩ කෑලි අතර ඇවිදිනවා.යකඩ කෝවේ දාලා උණු කරලා හයි කරලා හැඩේට නවලා පරණ මැෂින්වලට අලුත් කෑලි විදියට හයි කරන හැටි තිස්ස ජිනසේන ඕනෑකමින් බලා ඉන්නවා.
ජිනසේන තාත්තට පුතා ගැන බොහොම සංතෝෂ යි. තමන් වගේ ම යකඩවලට ආස කරන මේ පුතා ජිනසේන කොම්පනියේ දෙවන පරම්පරාවේ යතුර වන බව තාත්තා හිතින් හිතා ගත්තා. තාත්තා රබර් ෂීට්ස් හදන රබර් රෝල් මැෂිමක් හැදුවා. තිස්ස ජිනසේන මේ මැෂිම අත ගාල බැලුවා. ඒ රබර් රෝල් මැෂිම ලංකාව පුරා විකිනුණා.
ඊළඟට තාත්තා මිනිරන් පතලට වැඩට අවශ්‍ය මැෂිමත් හැදුවා. මේ වන විට සුද්දන්ගේ කොම්පණී කොළඹ පුරාම.බොස්ටෙඩ්,කළම්බු කොමර්ෂල්, වෝකර් සහ පුත්‍රයෝ. බ්‍රවුන්ස් සමාගම, මැක්වුඩ්, හන්ටර්, හේලිස් ආදී ප්‍රධාන පෙළේ ඉංජිනේරු කොම්පැණි ඔක්කොම තිබුණේ සුද්දගේ අතේ. ජිනසේන කොම්පැණියේ අලුත් අලුත් මැෂින් හැදිල්ල මේ සුදු කොම්පැණිවලට ඇල්ලුවේ නෑ. රටේ කර්මාන්තවලට අවශ්‍ය යන්ත්‍රෝපකරණ ගෙන්වීම බෙදාහැරීම සහ ඒවා අලුත්වැඩියා කිරිමත් තිබුණේ සුදු කොම්පැණි අධිරාජ්‍යය යටතේ යි.
රබර් ෂීට් හදන මැෂින් මිනිරන් පතලට අවශ්‍ය මැෂින් ලංකාවේ සිංහල මිනිහෙක් හදන කොට සුද්දගෙ මූණු රතු වුණා. සුද්දා ජිනසේන කොම්පැණියට හයිරන් දාන්න පටන් ගත්තා. නමුත් ජිනසේන පහු බැස්සේ නෑ. ඔවුන්ගේ මැෂින් සහ ඒවා අලුත්වැඩියාව විශිෂ්ට තත්වයේ තිබුණා.
මේ අතරේ අවාසනාවන්ත දෙයක් සිද්ධ වුණා. ජිනසේනලා හදාපු බොයිලේරුවක් පුපුරල මිනිරන් පතලක මිනිස්සු හත් දෙනෙක් මිය ගියා. සුද්දන්ට කාලකන්නි සතුටක් දැනුණා. මිය ගිය අය සම්බන්ධව ජිනසේන කොම්පැණියට විරුද්ධව නඩුවක් වැටුණා. Hoare නමැති සුදු කොම්පැණිය ජිනසේනලගෙ පුපුරපු බොයිලේරුවට සමාන බොයිලේරුවක් උසාවියට අරං ගිහින් පෙන්නුවා. සිංහලයා පරාද කරන්න ඒ කාලෙ සුද්ද වලි කෑවේ ඒ විදියට. ජිනසේන වැරදියි කියල නඩුකාරයා තීන්දුව දුන්නා. ජිනසේන පසුබෑවේ නෑ. ඔහු නඩුව ඇපිල් කළා. එංගලන්ත උසාවියට, එංගලන්ත උසාවිය ජිනසේන බොයිලේරුව නිවැරදිය කියල තීන්දු කරමින් ජිනසේන නිදහස් කළා.
සුද්දා පරාදයි. ජිනසේන කොම්පැනියෙ කීර්ති නාමය මේ නඩුව නිසා රට රාජ්ජවල පවා විහිදී ගියා.
තිස්ස ජිනසේනගෙ පුතා ලංකාවේ තියෙන හොඳ ම කොලීජීවලට යවල උගන්වන්න තාත්ත කටයුතු කළා. ඒ අනුව තිස්ස ජිනසේන කොළඹ රෝයෙල්, ආනන්ද සහ නාලන්ද යන විද්‍යාලවල ඉගෙන ගත්තා. ජිනසේන මහ ගෙදර තිබුණේ ජිනසේන පැක්ටරියට අල්ලපු ඉඩමේ, පැක්ටරියෙ යන්ත්‍රවලින් යකඩ කපන කොටන හඩ ජිනසේනට නිතරම ඇහෙනවා. කැපෙන යකඩ වීසි කරන ගිනි පුළුඟු ඔහුට පෙනෙනවා. සමහර දවස්වල රෑට පුතා තාත්තත් එක්ක වාත්තු මඩුවේම නිදා ගත්තා. පැක්ටරිය ඔහු වෙත ගෙන දුන්නේ ලොකු ආස්වාදයක්.
පාසල් විය හමාර වුණා. තිස්ස ජිනසේන පුතා හිතුවේ තාත්තා තමාව ලොකු කොම්පනියක රස්සාවකට යවාවි කියල යි.
‘නෑ. පුතා.. උඹ පලයන් එංගලන්තෙට. ගිහින් ඉංජිනේරු විද්‍යාව ඉගෙන ගනින්. මම වියදම් කරන්නම්.’
තිස්ස ජිනසේනට තාත්තගෙන් ලැබුණේ නොහිතපු වරමක් 1928 දී තිස්ස ජිනසේන පුතා එංගලන්තයේ ග්ලාස්ගෝවලට ගියා. ග්ලාස්ගෝ අධ්‍යාපන ජීවිතය යනු තනිකරම මැෂින් අතර ජීවත් වීමක්. තාත්තාට ඕනෑ වුණෙත් පුතාට යකඩ සහ වානේ ලෝකය මොන වගේ දෙයක් දැයි කියා හඳුන්වා දීමටයි.
තිස්ස ජිනසේන පුත්‍රයා වාහනයක සියලු කොටස් ගලවා නැවත සවි කරන හැටි ග්ලාස්ගෝවල දී ඉගෙන ගත්තා. ඔහු නැවත ලංකාවට පැමිණියේ ඇලි ඇන්ඩ් මැක්ලෙලන් කොම්පැණියෙන් ලබාගත් විශිෂ්ට සහතිකයක් ඇතුව යි. තිස්ස ජිනසේන ආපහු ලංකාවට පැමිනුණ දවස තාත්තට ප්‍රීතිමත් දවසක්. තාත්තා තරුණ පුතා අතින් අල්ලාගෙන ජිනසේන කොම්පනිය පුරා හැම දෙයක්ම විස්තර කරමින් ඇවිද්දා. ඉතා සංතොසින් නින්දට ගිය පියා පසුව දා යළි නැඟිටේ නෑ. ජීනසේන කොම්පනියේ පුරෝගාමියා අවු. 60 ක් ආයු වළඳා කළුරිය කොට තිබුණා. පළවුන පරම්පරාවට නැවතීමේ තිත වැටුණා.
ජිනසේන කොම්පැණියේ දෙවන පරපුරේ යතුර තිස්ස ජිනසේන අතට පත් වන්නේ මෙතැන් සිට යි. එංගලන්තයෙන් හැදෑරු කාර්මික ඥානය ඕනෑවටත් වැඩිය ඔහු සතු ව තිබුණා.
නමුත් පියා මිය යන විට ජිනසේන කොම්පැණිය දුප්පත් අඩියට වැටී තිබුණා. පියා බොහෝ සේ ණය වී තිබෙන බව දැන ගත්තේ පසුව යි. තමන්ගේ මරණයේ කටයුතු කරන්න පියා රු1000 ක් ඉතුරු කොට ගොස් තිබුණා. කාර්මික ඥනය කොතරම් තිබුණත් චෙක්පතකට අත්සන් කරන්නේ කොහොම දැයි අලුත් පාලනය භාර ගත් පුතා දැන සිටියේ නෑ. ජීනසේන කොම්පැණිය ණය කාරයන්ගෙන් බේරා ගැනීමේ පළමු පියවර ලෙස තිස්ස ජිනසේන චෙට්ටියාර්වරුන්ට තමන් සතු ඉඩම් අක්කර 100 ක් සින්න කළා. පීනසේන කොම්පනිය වැහෙන අඩියටම වැටුණා. තිස්ස ජිනසේනත් වැටුණේ ලොකු අමාරුවක. චෙට්ටියාර්ල ජිනසේන කොම්පිණීය සින්න කරගන්න මාන බැලුවා.
මේ වකවානුවේ මිලර්ස් කොම්පැණිය සුද්දන්ගේ වුණත් මේ අභාග්‍යයේ දී ජිනසේනට පිහිට වුණෙත් මිලර්ස්ලම තමයි. කොම්පැණියේ ණය ආධාර ක්‍රමයක් තිබුණා. අද ආසියානු බැංකුව ලංකාවට ණය දෙන්නේ. අන්න ඒ වගේ ක්‍රමයක්. ඒ ණය ඒ මොහොතෙ නොලැබුණා නම් ජිනසේන කොම්පැණිය හාන්සි වෙන්නම ඉඩ තිබුණා. මිලර්ස්ලගෙ ණය මුදලින් කොම්පැණිය නැගිට්ටා.
අනුන්ගේ යන්ත්‍රෝපකරණ රෙපයාර් කිරිමෙන් කොම්පැණිය පවත්වාගෙන යන එකේ තේරුමක් නෑ. ජිනසේන නම පවතින්න වැඩක් කරන්න ඕන. මිනිස්සුන්ට අත්‍යවශ්‍යම දෙයක් හදන්න ඕන.
වැඩපළේ ඉන්න හොඳ ම කාර්මිකයා එඩ්වඩ් බාස්.
ඉංජිනේරුවකුගේ මොළයක් ඔහුට තිබුණේ.
“එඩ්වඩ් බාස්… අපි වතුර මෝටරයක් හදමු ද?”
තිස්ස ජිනසේන එඩ්වඩ් බාගෙන් ඇහුවා.
අත ගැහුවොත් බැරිකමක් නෑ.”
එඩ්වඩ් බාස්ගෙ මූණෙ තිබුණ ඒ වගේ පිළිතුරක්. වතුර පොම්පයක් හදන්න යන අදහස අහපු ජිනසේගේ යාළුවෝ හිනා වුනා. “ඒක විහිළුවක්. ඇත්තක් නම් මිනිහා දිවි නසා ගන්න හදනවා.”
මිත්‍රයෝ කිවේ එහෙම යි. ඇත්තට ම සීයට සීයක් ලංකාවේ නිෂ්පාදනයක් විදියට වතුර පොම්පයක් හදන එක මීට අවුරුදු පනහකට කලින් මහ බැරෑරුම් වැඩක්.
තිස්ස ජිනසේන නැවතත් එංගලන්තයට ගියා. එංගලන්තයේ වතුර පොම්ප හදන ආයතනයක පොම්ප හදන විදිය හැදෑරුවා.
“එඩ්වඩ් බාස් අපි වතුර මෝටරයක් හදමු.”
තිස්ස ජිනසේන ඉංජිනේරු ඥානයත්. එඩ්වඩ් බාස්ගෙ කාර්මික දැනුමත් කිරිවලට පැණි වගෙ එකතු වුණා. වතුර මෝටරයට අවශ්‍ය යකඩ සියල්ල ම උණු කළේ තමන්ගෙ පැක්ටරිය තුළ ම යි. අන්තිමේ දී ශ්‍රි ලංකාවේ සිංහලයකු අතින් සියයට සියයක් දේශීය වතුර මෝටරයක් බිහිවුණා. ජිනසේන නම යකඩින් හැදූ අශ්ව ලාඩමක් සේ ව්‍යාපාර ලෝකයේ සෙලවිය නොහැකි සේ සටහන් වුණේ එහෙම යි.
මුල් ම වතුර මෝටරය පූජා කළේ කළුතර බෝධියට.
මුල් ම වතුර මෝටරයක් මිල කෙරුණේ රු.350කට. මෝටරයේ අඩු පාඩු නැවත නැවත හදමින් නිරමාණය කළ හොද ම තත්වයේ මෝටරය රු. 750ක් දක්වා වැඩි වුණා.
ආරම්භයේ දී මාසෙකට වතුර මෝටර් පහකට හයකට වැඩිය හදා ගන්න බැරි වුණා. අවුරුදු පනහකට පස්සේ අද වන විට ජිනසේන පැක්ටරියෙන් වතුර මෝටර් 3500කට වඩා වෙළෙද පොළට නිමනවා.
ජිනසේන පරම්පරාවේ දෙවන යතුර වු තිස්ස ජිනසේන අධිපතිතුමාගේ වයස අවු. 88 ක්. ඔහු දැන් ඉන්නේ රෝද පුටුවක. ජිනසේන කොම්පැණියට අල්ලපු ඉඩමේ මැඳුරක දිවි ගෙවන ඔහුට තවමත් යන්ත්‍ර සූත්‍ර කරකැවෙන හඬ ඇසෙනවා. ඒ හඩ ඔහුගේ කණට මිහිරි යි. ඔහුට මෙයින් පනස් වසරකට පෙර අතීතයේ සුන්දර ම දවස මතක් වෙනවා.
” එඩ්වඩ් බාස් අපි වතුර මෝටරයක් හදමු
“අත ගැහුවොත් බැරිකමක් නෑ.”
එඩ්වඩ් බාස්ගේ මුහුණේ නැඟුණු සිනහව..
දන් ජිනසේන සහ සමාගම කොම්පණි 10ක් දක්වා පුළුල් වෙලා. දැන් යතුර අතට අරං ඉන්නේ ජිනසේලගේ තුන් වන පරම්පරාව, ඒ කියන්නේ ජේමිස් ඇන්තනි ජිනසේනගේ මුණුබුරො. තිස්ස ජිනසේන විවාහ වුණේ ලිලී මාග්‍රට් ප්‍රනාන්දු සමඟ. ඉපදුණේ පුත්තුම 4ර දෙනෙක්. නිහාල්,රොහාන්,රංජිත් සහ තිස්ස. ඒ 4 ර දෙනා කොම්පැණියේ අධ්‍යක්ෂවරු හතර දෙනා. අධ්‍යක්ෂ රොහාන් ජිනසේන අපට මෙහෙම කිව්වා.
තාත්තා (තිස්ස ජිනසේන) හැම වෙලේම අපට කිවේ වටින්නෙ ධනය නෙමෙයි ඉගෙනීම කියලයි. කුඩා කාලෙත් අපට හුඟක් සැප සම්පත් දුන්නේ නෑ. නමුත් අපි හතර දෙනා ලංකාවේ තියෙන හොඳ ම ඉස්කෝලෙට දාලා ඉගැන්නුවා. ඊට පස්සේ අපි හතර දෙනාම එංගලන්තයට යවල වැඩි දුර ඉගැන්නුවා. තාත්තා අපට කිවේ ඉංජිනේරු විද්‍යාව ඉගෙන ගන්න කියල යි.
කොම්පණියේ නිෂ්පාදන දියුණු කරන්න අපට ඒ දැනුම ගොඩක් ප්‍රයෝජනවත් වුණා. 1950 තාත්තා අතින් හදපු මෝටරේට වඩා අද අපි හදන මෝටරය තාක්ෂණය අතින් හුගක් දියුණු යි. බොහෝ ව්‍යාපාර පියාගෙන් දරුවන් අතට ගියහම දරුවන් අතර
භේද ඇති වෙලා අන්තිමට ව්‍යාපාරය නැති වෙලා යනවා. නමුත් අපේ තාත්තා ඉතා කල්පනාවෙන් හොඳ තීරණයක් ගත්තා. තාත්තා තමන්ට 10% ක් තියාගෙන ඉතිරිය සියයට 22 1/2 ගනනේ කාටවත් අඩු වැඩි නොවෙන්න සම සේ අපි හතර දෙනාට බෙදා දුන්නා. අපි හතර දෙනා අතර සමාගමේ කොටස් ගැන කිසි අර්බුදයක් නෑ. අපි හතර දෙනා ඉතා ම සමගි . ජිනසේන සමාගම අද වන විට කොම්පැණි 11ක සමාගමක් වෙලා තියෙන්නෙ ඒ නිසයි.
අදත් අපි සාමාන්‍ය මිනිස්සු විදියට ජීවත් වෙන්නෙ . සල්ලි තිබුණට අපි විශාල අධිසුබෝපභෝගි වාහනවල යන්නෙ නැ. අදටත් අනුරාධපුරේ ගැමි ගෙදරක කටු මැටි කාමරයක අපට නිඳා ගන්න පුළුවන්. ඒ තමයි තාත්තා අපට කියා දුන් ජීවත් වීමේ කලාව.
අනිත් දේ තමයි තාත්තා අපට කිව්වා කිසිදාක අපේ ගනුදෙනු කරුවන්ට වංචා කරන්න එපා කියලා. ජිනසේන භාණ්ඩයක් හෝ අමතර කොටසක් නියම මිලට වඩා වැඩියෙන් විකුණන්න අපි ඉඩ තියන්නෙ නෑ. එලෙස වංචා කරන වෙළෙඳ නියෝජිතයා කවුරු වුණත් ඔහු අපේ සමාගමෙන් අයින් කරනවා.
නැවතත් කිව යුතුයි ජිනසේන නම හැදුණේ යකඩ සහ වානේ වලින්. ජිනසේන සමාගමේ ලාංඡනය වන්නේත් කිණිහිරිය මත තබා මිටියකින් යකඩ තලන කම්කරුවකුගේ රූපයක්. පරම්පරා තුනක ගමනේ කතාන්දරය ඒ ලාංඡනය තුළ තිබෙනවා.
උ-ගැ : දුක දිනා ජය ගත් මිනිස්සු By
චන්ද්‍රසිරි දොඩන්ගොඩ
සටහන අකුරැ කරේ-Dinuka Siriwardhane
විශේෂ ස්තූතිය -චන්ද්‍රසිරි දොඩන්ගොඩ
දිවයින කතෲ මන්ඩලය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *