දේශපාලන-චරිතාපදාන සාහිත්‍යයට එකතුවක්.

දේශපාලන

කවරය පුෂ්පානන්ද ඒකනායක
ඡායාරූප හේමන්ත අරුණසිරි
ස්වර්ණ ග්‍රන්ථ වෙතින්,
ශිෂ්‍ය ව්‍යාපාරයේ ක්‍රියාධරයන්, දේශපාලන ක්‍රියාධරයන්, නීති වෘත්තිකයන් අත තිබිය යුතු පොතක්. දුලබ සේයා රූ රැසක් සමග. මේ එන්නේ පොතෙන් කුඩා කොටසක්:
“ලාල්ගේ මතකය ඔස්සේ පෙරී එන නුවර නගරයෙහි චිත්‍රයද අපගේ සිත් ඇද ගනියි. මහනුවර නගරය ඉතා සමීප සංස්කෘතික සම්මිශ්‍රණයකි. ඉතා කුඩා බිම්කඩක එතරම් සංස්කෘති ගණනක් සංකේන්ද්‍රණය වූ තැනක් තවත් සිහි කළ නොහැකිය. ලාල්ට මතක ඇත්තේ ඉතා පැරණි ගොඩනැගිලිවලින් සැදුණු කුඩා නගරයකි. අදත් දැකිය හැකි මුස්ලිම් හෝටල ගොඩනැගිල්ල, එලෙසින්ම පාහේ එකලද පැවතිණි. වර්තමාන මහජන බැංකුව පිහිටි ස්ථානයෙහි වයිටර් වේස් නැමති ගොඩනැගිල්ලක් තිබිණි. ක්වීන්ස් හෝටලය සහ වර්තමාන කාර්ගිල්ස් බිල්ඩිම එකල පැවති මතකයෙහි රැඳි ගොඩනැගිලි විය. ශාන්ත පාවුළු දේවස්ථානය(සේන්ට් පෝල්ස් පල්ලිය), කොටුගොඩැල්ල වීදියේ මුස්ලිම් පල්ලිය ආදිය පිහිටියේ ශ්‍රී දළදා මාලිගාව අසලමය. ධර්මරාජ විද්‍යාලයේ ප්‍රාථමික අංශය පැවතියේද දළදා මාලිගාව අසල නාථ දේවාල භූමියේය. මීරාමක්කම් පල්ලිය යටිනුවර වීදිය කෙළවර පිහිටියේය. මුස්ලිම් රතු පල්ලිය පිහිටියේ කොඩුගොඩැල්ල වීදියේය. රෝමානු කතෝලික පල්ලිය වූ ශාන්ත අන්තෝනි පල්ලිය පිහිටියේ දළදා මාලිගාවට මීටර් දෙසීයක් පමණ දුරිනි. බැප්ටිස්ට් පල්ලිය පිහිටියේ දළදා මාලිගාවට ඉතා ආසන්නයෙනි. දළදා වීදිය කෙළවර, පොලීසිය ආසන්නයේ හින්දු කෝවිල පිහිටියේය. මේ සියල්ල අදත් ඒ ඒ තැන්වල ලංකාවේ සංස්කෘතික මිශ්‍රිතභාවය සංකේතවත් කරමින් තවමත් පවතී.
මෙම නගර සැලැස්මම පවා අන්තර්-සංස්කෘතික සම්බන්ධතා ගැන ඇති කරන්නේ මනරම් සිත්තමකි.
“මේ විවිධ සංස්කෘතිවලට අයත් ස්ථාන එකට පැවතුණා විතරක් නෙමේ. පුදුමාකාර සමීප සම්බන්ධයක් තිබුණා. මෑතක් වනතුරුම, ඒ කියන්නෙ නුවර අලුත් උසාවිය හදනතුරුම, උසාවිය තිබුණෙ දළදා මාලිගාව ළඟ. නීතිඥයෝ, අනික් මිනිස්සු මාලිගාවෙ මහමළුවෙන් තමයි උසාවියට යන්නෙ. ඒ විතරක් නෙමේ අපරාධ නඩු අහපු උසාවිය පැවැත්තුවෙ මගුල් මඩුවෙ. මේ සියල්ල එක පොදියට තිබුණෙ. මිනිස්සුන්ට එහෙම පැවතීම ප්‍රශ්නයක් වුණේ නෑ. මිනිස්සුන්ට විතරක් නෙමේ මාලිගාවෙ අධිකාරියටත් ඒක ප්‍රශ්නයක් වුණේ නෑ. අද අපිට මාළිගාවට යන්න විශේෂයෙන් ලෑස්ති වෙලා යන්න ඕනෙ. ඒත් ඉස්සර ළමයි ෆුට්ගෝල් ගැහුවෙ මාළිගාවෙ මහමළුවෙ. ගොඩක් ෆුට් බෝල් ගැහුවෙ මුස්ලිම් කොල්ලො. කවුරුවත් මුකුත් කිව්වෙ නෑ. අනික ඒ කාලෙ මහමළුව කුලියට දෙනවා එක එක වැඩවලට. ඒවා ආගමික වැඩ නෙමේ. ලෞකික වැඩ.”
1988-89 කැරලි සමයෙහි ජවිපෙ කැරලිකරුවන් දළදා මාලිගාව අසල හමුදා මුරපොලට පහර දීමත්, පසු කලෙක කොටි ත්‍රස්තවාදීන් දළදා මාලිගාවට එල්ල කළ දරුණු බෝම්බ ප්‍රහාරයත් නිසා මාලිගාව අවට අවකාශය දැඩි ආරක්ෂාවකට යටත් කෙරිණි. ඊට පෙර නිදහස් මහජන අවකාශයක් වූ ඒ ප්‍රදේශය ටිකෙන් ටික ප්‍රභූවරුන්ගේ අවකාශයක් බවට පත් විය. මාලිගාව අභ්‍යන්තරය කවදත් ප්‍රභූවරුන්ගේ අවකාශයක් වූ නමුත් අවට එළිමහන පැවතියේ නුවර නගරයේම නිදහස් අවකාශයක් ලෙසය.”

මහාචාර්ය ලියනගේ අමරකීර්ති

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *