දවල් තරු දුටු ‘අප්පුහාමි’

විශේෂාංග

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස සූරීන් දැයෙන් සමුගෙන 21 වැනිදාට වසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

බුද්ධ කාලයේ මුල් අවදියේ සිටි සිංහහානු රජුගේ පුරෝහිත බමුණා අසිත තවුසා සුද්ධෝදන කුමරුට ද ශිල්ප ඉගැන්වීය. කුමරු රජවීමෙන් පසු අසිත තවුසා පුරෝහිතයා විය. අභිඥා බලයෙන් අතීතයෙන් 40 කපක් හා අනාගතයෙන් 40 කපක් දැක්මෙහි සමත් අසිත තවුසා සුද්ධෝදන රජුගේ පුත් සිදුහත් වඩා ගෙන වුත් අසිත තවුසාට වැන්දවීමට ගියේය. සිදුහත් කුමරුගේ සිරි පතුලෙහි මංගල සලකුණු දැක මතු බුදුවන බව දැන සතුටු කඳුළු හෙළා, සිනා සී බුදුවන තෙක් තමාට ජීවත්වනු බැරි බව දැන හැඬූ බවත් බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙයි.

අසිත තවුසාගේ චරිතය සිංහල සිනමාවේ ජීවමාන කළේ මීට හරියටම වසරකට පෙර (ජනවාරි 21 වෙනිදා) අද වැනි දිනක ජීවිතයෙන් සමුගත් සාහිත්‍යරත්න, රෝහණ ප්‍රදීප, කලාකීර්ති ආචාර්ය එඩ්වින් ආරියදාසයන් බව ඔබ විශ්වාස කරනවාද? තිරගත වූ ‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටයේ අසිත තවුසාගේ චරිතය රඟපෑවේ ඔහුය.

මට ආරියදාස මහතා මුලින්ම හමු වී කතාබහ කිරීමට අවස්ථාව ලැබෙන්නේ 1969 මා ලේක්හවුසියේ සේවයට ගිය පසුය. ‘දිනමිණ’ කර්තෘ මණ්ඩලයේ ඔහුගේ මේසය අසලට යන හැම විටම දකින්නට ලැබුණේ Time (ටයිම්) සඟරාව කියවමින් සිටින ආරියදාස මහතාය. ඔහු පදිංචිව සිටි උඩහමුල්ලේ දුම්රිය පාරේ නිවසට ගියත් එහි මේසය මත දක්නට ලැබුණේ අලුතින්ම නිකුත් වූ මුද්‍රණ තීන්ත සුවඳ වහනය වන ‘ටයිම්’ සඟරාවය.

‘ඔහේ දන්නවද ටයිම් සඟරාව පොත් සාප්පුවලට එන්න දවස් තුන හතරකට කලින් මට ලැබෙන්නේ. ඒ නිසයි මට අලුත්ම තොරතුරු අපේ පත්‍රවලට ලියන්න අවස්ථාව ලැබෙන්නේ.’ ඔහු සිනාසෙමින් කීවේය.

ඔහුගේ පුස්තකාලයේ විරාජමානව බැබළෙන්නේ රෙස්කිත් බැම්මෙන් යුත් 70 වසරක සිට එකතු කරන ‘ටයිම්’ එකතුවයි. ටයිම් සඟරාවේ ප්‍රධාන ලිපි මෙන්ම විශේෂයෙන් එහි ඇති කවරයේ කතාව (Cover Story) සහිත විශේෂාංග පළ වී ඇත්තේ කුමන සඟරාවේදැයි මතකයෙන් කීමට ඔහු සමත් විය.

සුමී, අර රාක්කයේ තුන්වැනි පේළියේ වම් පැත්තේ කෙළවරේ තියෙන ‘ටයිම්’ පොත ගන්නට ආරියදාස මහතා තම ඥාති පුත්‍රයා වන සුමීට කියයි.
1972 වසරේ මා දිවයිනේ ප්‍රවීණ ලේඛකයන් විසින් ලියන ලද පොත්වල පිටකවර නිර්මාණය දැන සිටි ආරියදාස මහතා දිනක් මට කතා කළේය.
‘ඔහේගේ පොත් කවර ගැන මම පත්තරේකට ලියන්න හිතන් ඉන්නේ. ඇහැක් වෙලාවක අපි කතා කරමු.’

‘මට ඕනෑ වෙලාවක පුළුවන් ආරියදාස මහත්තයාට විවේක තියෙන වෙලාවක කරමු.’ මම කීවෙමි.
‘දැන් කරමු.’ යි මේ නිහතමානී මහා පත්‍රකලාවේදියා කීවේය.

මා සමග සාකච්ඡා කළ ඒ ලිපිය ‘ඩේලිනිව්ස්’ පත්‍රයේ කර්තෘ වාක්‍යය තිබෙන පිටුවේ ප්‍රධාන ලිපියට යටින් පළ වී තිබුණි. Portrait of young Cover Artist – By Edwin Ariyadasa. විසිහතර හැවිරිදි වියේ පසු වූ මා වැනි අංකුර චිත්‍ර ශිල්පියකු ගැන ඉංග්‍රීසි පත්‍රයක පළවීම ගැන මට සිතුණේ යොවුන් පරපුරටම කරන ගෞරවයක් හැටියටය.

ආරියදාස මහතා ‘නවයුගය’ පුවත්පතේ කර්තෘ පදවිය භාර ගත් පසු මා කැඳවා අපේ රටේ සුවිශේෂ චරිත ගැන ලිපි පෙළක් ලියන්නැයි උපදෙස් දුන්නේය. ‘චරිත හමුව’ නම් එම විශේෂාංගය ඔහු නම් කළේය. ආරියදාස මහතා කර්තෘ පදවියෙන් විශ්‍රාම යන තෙක් මම චරිත හමුව ලිව්වෙමි.

මා නොදත් අමාරු ඉංග්‍රීසි වචනයක් ගැන දැන ගැනීමට ඔහු අසලට ගිය විට ඉක්මනින් ගැලවී එන්නට ලැබෙන්නේ නැත. තමා අසල ඇති පුටුවක හිඳුවා ඒ වචනයට සම්බන්ධ ඉතිහාසය ඔහු නිහතමානීව කියා දෙයි. තමා අසලට එන ඕනෑ කෙනෙකුට තරම තිරම නොබලා තමා ලියමින් සිටින ලිපිය නතර කොට නිර්ලෝභීව ඔහු උදව් කළේය.

ආරියදාස මහතා විශ්‍රාම ගිය පසු මුල්ම ‘චරිත හමුව’ මා ලිව්වේ ඔහු ගැනය. ඔහු සමග කළ සංවාදයෙන් මට ඔහුගේ ජීවිතයේ රසමුසු තැන් දැනගන්නට ලැබිණි.

‘මගේ සම්පූර්ණ නම විජේතුංග කරුණාරත්න එඩ්වින් ආරියදාසය. 1922 දෙසැම්බර් 03 වැනිදා මම ගාල්ලේ උනවටුණේ පවුලේ බඩපිස්සා හැටියට උපන්නේ. මට වැඩිමහල් සොහොයුරන් තුන් දෙනෙකුත් සොහොයුරියන් දෙදෙනෙකුත් හිටියා. මගේ තාත්තා ගොවියෙක්. ගම උනවටුණේ. අම්මා වැලිගම කාන්තාවක්. පුංචි කාලෙ ඉඳලම අයියලා අක්කලාගේ පාඩම් පොත් කියවනවා ඇසීමෙන් මගේ සාහිත්‍ය රුචිය දියුණු වුණා. මා නින්දට යන විට අක්කලා තම යෙහෙළින් සමග සැළලිහිණිය, ගුත්තිලය කියවනවා අසා සිටීමෙන් මට එහි කවි කටපාඩමින් කියන්න පුළුවන්.’

ආරියදාස මහතා අපට කී ආකාරයට තම පියා ඔහුට ‘එඩ්වින් අප්පුහාමි’ යයි නම් කිරීමට උත්සාහ කරන විට ලොකු අක්කණ්ඩි ‘ආරියදාස’ ඊට වඩා හොඳ යයි යෝජනා කළාලු. ‘එඩ්වින් ආරියදාස’ නම් ලැබූ ඔහු මුලින් ඉගෙන ගත්තේ උනවටුණේ බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙනි.

උනවටුණේ පාසලේ අපට උගැන් වූ ඇල්.එච්. ජයසේන ගුරු මහත්තයා ඔහුගේ මේසය වටා සිසුන් රැස්කරවා ‘ඔබලා වැඩිහිටියන් වූ පසු කුමන රැකියාවක් කරන්න බලාපොරොත්තු වනවා දැයි ඇසුවා. මගෙන් ඒ ගැන ගුරුවරයා අසන විට මා කීවේ ‘පත්තර කර්තෘවරයකු වන බවය. ළමයි සියලු දෙනාම සිනාසුණා. ඒ කාලේ ‘දිනමිණ’ හා ‘ඔබ්සර්වර්’ පත්‍ර කියවීමට මම කැමැතියි. ඒ කාලේ ආර්.එච්. පෝලර් නම් ලේඛකයා ‘ඔබ්සර්වර්’ පත්‍රයට ලියූ පලාඵල නොවරදවාම කියවූ මම අමාරුවෙන් ඉංග්‍රීසි වචනවල තේරුම ශබ්ද කෝෂයක් බලා ඉගෙන ගෙන ගෙදර අයගේ පලාඵල සිංහලෙන් ලියලා දුන්නා.’ ආරියදාස මහතා කුඩා කාලය මතක් කරමින් එදා අපට කීවේය.

ආරියදාස මහතා ගාල්ලේ මහින්ද විද්‍යාලය ඉගෙනීමට ගිය හැටිත් තමා සමග එකම පන්තියේ ඉගෙන ගත් සිරි ගුණසිංහ, විනී විතාරණ, ධර්මසේන අරම්පත්ත (මේ තිදෙනාම පසුව විශ්ව විද්‍යාල මහාචාර්ය වූහ) සමඟ ලංකා විශ්ව විද්‍යාලයට ගියහ. ආරියදාස සිසුවා විශ්වවිද්‍යාලයේදී සිංහල හා ඉංග්‍රීසි උපාධිය ලබාගත් අතර දෙමළ භාෂාව හා ඉංග්‍රීසි භාෂාවෙන් උපාධි ලැබූ හොඳම ඔහුගේ සරසවි සිසුවා වූයේ ඒ. අමිර්තලිංගම්. පසුව මෙරට පාර්ලිමේන්තුවේ විපක්ෂනායක විය.

‘මම උපාධිය ලබා කෙළින්ම ආවේ ලේක්හවුස් එකට. එහි අධිපති ඩී.ආර්. විජයවර්ධන මහතාගේ පරික්ෂණයට ලක්වී සමත් වී ‘දිනමිණ’ පත්‍රයේ කර්තෘ වාක්‍ය ලියන්න තෝරාගත්තා. ඒ කාලයේ ‘දිණමිණ’ කර්තෘ පියසේන නිශ්ශංක මහත්තයා. මා සමඟ දිනමිණේ උප කතුවරයන්ව සිටි ආනන්ද කුලසූරිය හා කේ.එන්. ජයතිලක පසුව විශ්වවිද්‍යාල මහාචාර්යවරු වුණා. පසු කාලෙක කර්තෘ මණ්ඩලයේ හිටියේ සිසිර කුමාර මානික්කආරච්චි, ධර්මපාල ජයවීර, මීමන ප්‍රේමතිලක, ඩී.ඇෆ්. කාරියකරවන, බී.ඒ. සිරිවර්ධන, ජී.එස්. පෙරේරා, බෙනඩික්ට් දොඩම්පෙගම, ජයවිලාල් විලේගොඩ, හේමා වික්‍රමාරච්චි, කේ.එස්. පෙරේරා, ජිනදස් පරනදු ආදීන්. කුඩා කාලයේ මගේ සමකාලීන මිතුරන් දෙදෙනකු වූ අනඳපිය කුඩාතිහි හා රෙජී වීරමන් සමග උනවටුණේ මුහුදු වෙරළ සෙවණකට වී සාහිත්‍යය ගැන වාද කර ගත්තා. අපේ ළමා කාලය නිෂ්ඵල කර ගත්තේ නැහැ. මේ දෙදෙනාම පසුව ලේක්හවුස් කර්තෘ මණ්ඩලවල මාත් සමග වැඩ කළාය.’ ඔහු අතීතයට යොමුවෙමින් කීවේය.
‘එඩ්වින් ආරියදාස’ හඳුන්වා දීම කිරෙහි සුදුපැහැය වැනීමකි.

ආරියදාස මහතාගේ බොහෝ ඇසූ පිරූ තැන් ඇති බවත් ඊට සමානව ඇති ඉහවහ ගිය මානව දයාව, නිහතමානීකම ගැන කීමට අටුවා ටීකා අවශ්‍ය නැත. ඔහු සමීපව ඇසුරු කළ අයත් මෙන්ම පුවත්පත් ලිපි මගින් ද, දේශනයෙන් ද, රූපවාහිනියෙන් දුටු ඔහු ඇසුරු නොකළ දහස් ගණනක් සහෘදයන් එමටය. බොහෝ පොතපත කිය වූ උසස් රසවින්දනයක් ඇති මගේ මිතුරෙකු වරක් මට මෙසේ කීවේය.

‘මට කිසියම් දෙවියෙක් වරමක් දෙනවා කිව්වොත් මම ඉල්ලන්නේ එඩ්වින් ආරියදාස මහත්තයට වගේ මොළයක් දෙන්න කියලා.’
ඔහුගේ දැනුම ගැන මීට වඩා අගයක් කුමටද? ‘නවයුගය’ පත්‍රයේ පිළිසඳරේ දී මම ඔහුගෙන් මෙසේ ඇසුවෙමි.

‘ආරියදාස මහත්තයාගේ ස්මරණ ශක්තිය වර්ධනය වුණේ කොහොමද?
‘මගේ අම්මා මට දැනුම එන්න කියලා පලා වර්ග කවනවා. දවසක් අම්මා මගෙන් මෙහෙම ඇහැව්වා.
‘පුංචි මහත්තය දවල් තරු බලන්න ඕනෑ නම් පලාවර්ග කන්න.

දවල් තරු බලන්න ආසාවෙන් මම දවල් බතට පලා වර්ග කීපයක් කෑවා. මේ පුරුද්ද මට අදටත් තියෙනවා. මම දිනකට පලා වර්ග දෙක තුනක්ම අනුභව කරනවා. මගේ අක්කණ්ඩිලා දෙන්න මට දැනුම, මතක ශක්තිය එන්න කියලා එළඟි තෙල්වලින් තැනු රොටීත්, මී පැණි හා එළඟි තෙල් එක්ක කන්න දෙනවා. මේ නිසා මම ඇත්තටම දවල් තරු දැක්කා.’

ආරියදාස මහතා ජීවිතයෙන් සමුගෙන අදට වසරකි. අදත් ඉඳහිට හෝ ටයිම් සඟරාවක් මට අහම්බෙන් දුටුවොත් අනිවාරයෙන් ඔහු සිහිපත් වෙයි. ඔහු ගැන කුඩා කල සිටම හඳුනන මහාචාර්ය විනී විතාරණයන්ගේ මේ ප්‍රකාශයෙන් මේ ලිපිය අවසන් කරමි.

‘දක්ෂතාව හා ප්‍රවීණත්වය ඔහු දරා උසුලා ගෙන සිටින ආකාරය, ඒ දක්ෂතාව හා ප්‍රවීණත්වයට වඩා ශ්‍රේෂ්ඨකම, වංචාව සහ අකෘතඥතාව, උසස්වීමේ හිණිපෙත්ත වශයෙන් පළිගැනීම ලබා ඇති ස්වදේශික සමාජය හා නොගැළපෙන පුද්ගලයෙකි. දාස් (ආරියදාස) ඔහු සතු විශ්ව ඥාන සම්භාරයෙන් නූතන සමාජය අඛණ්ඩව පෝෂණය කළා විනා ආන්තරායකර, විනාශකාරී විකාර දෘෂ්ටි මතවාද, චින්තන, ස්ථාවර ආදියෙන් එහි හරය සුන්කොට එහි ව්‍යූහය පුපුරුවා එහි හදවත පුළුස්සා අළුකොට මේ මහා චින්තකයෙකි යන විරුදාවලියෙන් ඔහු ප්‍රතාපයට පත්වූයේ නැත.
Lankadeepa

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.