දුම්පානය ක්‍රමයෙන් නතර කිරීමට තැත් කරන නවසීලන්තය, සිය ඊළඟ පරම්පරාවට දුම්කොළ විකිණීම තහනම් කිරීමට කටයුතු කරනු ඇත.
ලබන වසරේ බලාත්මක කිරීමට බලාපොරොත්තු වන මෙම නීතිය යටතේ, 2008 වසරෙන් පසු උපත ලද සියල්ලන්ටම තම ජීවිත කාලය තුළ දී සිගරට් හෝ දුම්කොළ නිෂ්පාදන මිලදී ගැනීමට නොහැකි වනු ඇත.
“අපට ඕනෑ අපේ තරුණ පරම්පරාව කවදාවත් දුම්පානය ආරම්භ නොකරන තැනට වග බලා ගැනීම යි,” සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය අයේෂා වෙරල් පැවසුවා ය.
පසුගිය බ්‍රහස්පතින්දා නවසීලන්තයේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දුම්පානය මැඩලීමේ පුළුල් ක්‍රියාවලියක් ප්‍රකාශයට පත්කෙරුණු අතර, මේ පියවර ඉන් එකකි.
දුම්කොළ සඳහා ප්‍රවේශය අඩු කිරීම මෙන් ම, දුම්වැටිවල නිකොටින් මට්ටම ද සීමා කෙරෙන “ලෝකයේ ප්‍රමුඛතම” සෞඛ්‍ය ප්‍රතිසංස්කරණ, නවසීලන්ත වෛද්‍යවරුන් සහ අනෙකුත් සෞඛ්‍ය විශේෂඥයින් ප්‍රසංසාවට ලක් කර ඇත.
“මේකෙන් මිනිස්සුන්ට සිගරට් බොන එක නවත්තන්න හරි, හානිය අඩු නිෂ්පාදනවලට මාරු වෙන්න හරි උදව්වක් වේවි. ඒ වගේම, තරුණයො නිකොටින්වලට ඇබ්බැහි වෙන සම්භාවිතාව ද මේකෙන් ගොඩක්ම අඩු කරනවා,” යි ඔටාගෝ විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය ජැනට් හූක් පැවසුවා ය.
මෙම තහනමට මිශ්‍ර ප්‍රතිචාර ලැබී ඇත.
“ඇත්ත වශයෙන්ම මම හිතන්නේ ඒක හොඳ පියවරක් කියලා” එක් පුද්ගලයෙකු රොයිටර් පුවත් සේවයට පැවසීය. “මොකද මේ වෙද්දී ගොඩක් ළාබාල ළමයි පවා සිගරට් එක කටේ ගහන ඇවිදිනවා දකින්න පුළුවන්. ඒ ළමයි මේ සිගරට් මිලට ගන්නේ කොහොමද කියන එක මිනිස්සුන්ට ප්‍රශ්නයක්.”
“ඒ වගේම එක මටත් හොඳයි. මේ වැඩේ නිසා මට වැඩිපුර මුදලක් ඉතිරි කරගන්න පුළුවන්.”
කෙසේ වෙතත්, ඇතැමුන් පවසන්නේ මෙම පියවර මඟින් දුම්කොළ සඳහා කළු කඩයක් නිර්මාණය කරනු ඇති බව යි. මෙය, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නිකුත් කළ නිල ප්‍රකාශය හරහා ද පිළිගෙන තිබේ. “දේශසීමා හරහා අනවසරයෙන් දුම්කොළ නිෂ්පාදන ගෙන්වීම වැලැක්වීමට රේගුවට වැඩි සම්පත් ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇතැ” යි එහි සඳහන් කර තිබේ.
“මේ සියල්ලම 100%ක් න්‍යායික යි, 0%ක් අප්‍රායෝගික යි,” ප්‍රාදේශීය සිල්ලර වෙළඳසැල් ප්‍රවර්ධන සමූහයක් වන ඩෙයරි ඇන්ඩ් බිස්නස් ඕනර්ස් ගෘප්හි සභාපති සනී කෞෂාල් නවසීලන්තයේ ස්ටෆ් ප්‍රවෘත්ති වෙබ් අඩවියට පැවසුවේ ය. “මෙයින් අපරාධ රැල්ලක් ඇති වේවි. අපරාධ කල්ලියි, අපරාධකාරයො යි මේ හිඩැස පුරවාවි”.
දුම් පානය ක්‍රමයෙන් සහ සම්පූර්ණයෙන්ම තුරන් කිරීම අරමුණු කරන නවසීලන්තය, 2025 වන විට එරට දුම්පානය කිරීමේ අනුපාතය 5% දක්වා අඩු කිරීමේ ජාතික ඉලක්කයක් සපුරා ගැනීමට අදිටන්කර ගෙන සිටියි.
වර්ථමානයේ නවසීලන්තයේ වැඩිහිටියන්ගෙන් 13%ක් දුම් පානය කරන අතර, ආදිවාසී මෞරී ප්‍රජාව අතර මෙම අනුපාතය තුනෙන් එකක් ලෙස බෙහෙවින්ම වැඩි අගයක් ගනී. එමෙන් ම මෞරී ප්‍රජාව අතර රෝග හා මරණ අනුපාතය ද ඉහළ ය.
පිළිකා හතරෙන් එකකට හේතුව දුම්පානය බව පවසන නවසීලන්තයේ සෞඛ්‍ය අමාත්‍යාංශය, මිලියන පහක් වූ එහි ජනගහනය මුහුණදෙන,’ වැළැක්විය හැකි මරණවලට’ ප්‍රධානතම හේතුවත් එය බව පවසයි. මෙනිසා ම දුම්කොළ කර්මාන්තය දැන් දශකයකට වැඩි කාලයක් තිස්සේ එරට නීති සම්පාදකයින්ගේ ඉලක්කය වී තිබේ.
බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන ලද තහනමෙහි කොටසක් ලෙස දුම්වැටි අලෙවි කළ හැකි ස්ථාන සැලකිය යුතු ලෙස සීමා කිරීමත් ඇතුළුව දුම්කොළ පාලනයට සඳහා නීති රැසක් ද ආණ්ඩුව හඳුන්වා දුන්නේ ය. මෙනිසා සුපිරි වෙළඳසැල් සහ කුඩා කඩවලින් සිගරට් ඉවත් කිරීම ද සිදුවිය.
දුම්වැටි අලෙවි කිරීමට අවසර දී ඇති වෙළඳසැල් සංඛ්‍යාව 8 000 සිට 500 දක්වා විශාල ලෙස අඩු කෙරෙන බව බලධාරීහු පවසති.
මෑතක දී, තරුණ පරම්පරාව අතර සිගරට්වලට වඩා ජනප්‍රිය වූයේ e-සිගරට් ය. මේ e-සිගරට් මඟින් නිකොටින් අඩංගු වාෂ්පයක් නිපදවනු ලැබේ.
නවසීලන්ත සෞඛ්‍ය බලධාරීන් පවසන අන්දමට මෙය ද හානි රහිත ක්‍රමයක් නොවේ. e-සිගරට් ද්‍රවයේ ද අන්තරාදායක මෙන්ම පිළිකාකාරක ද්‍රව්‍ය තිබේයැ යි පර්යේෂකයන් සොයාගෙන ඇත.
නමුත් 2017 දී නවසීලන්තය දුම් පානය කරන්නන්ට දුම්කොළ අත්හැරීමට සහාය වීමේ ක්‍රමයක් ලෙස වාෂ්ප දුම්වැටිය හඳුන්වා දුන්නේ ය.
(BBC සිංහල සේවය)