දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී දිවි නිමා කල ඉන්දීය සාහිත්‍යධරයා

කලා පුවත් විශේෂාංග සියලුම ලිපි

2019 නත්තලට දින දෙකකට පෙර දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ වෑන් රථයක් බහලුම් ප්‍රවාහන රථයක ගැටී අනතුරට පත්වුණා. එහිදී සිව් දෙනෙක් මිය ගිය අතර එයින් තිදෙනෙක් ඉන්දියානුවන් ලෙසයි මාධ්‍ය වාර්තා කලේ. ඉන්දියානුවන් තිදෙනා එකම පවුලක අය බවත් පියා දියණිය හා මුණුපුරා වන බවත් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කලා. එහෙත් මාධ්‍ය සොයා නොබැලූ එක් කාරණයක් තිබුණා. මෙසේ මියගිය ඉන්දියානුවා කවුද? යන්න. අද වෙනතුරුත් මාධ්‍ය එය සඳහන් කර නැහැ. නමුත් මෙසේ මිය ගියේ අවුරුදු 80ක් වයසැති විශිෂ්ට ඉන්දියානු බුද්ධිමතෙකු හා සාහිත්‍යධරයෙකු බව ශ්‍රී ලංකාවේ මාධ්‍ය දැන සිටියේ නැහැ. ඔහු නමින් ආචාර්ය ගංගා ප්‍රසාද් විමල්.

1939 වසරේ දී උත්තරාඛණ්ඞ් ප්‍රාන්තයේ හිමාලයානු නගරයක් වන උත්තර්කාෂි හි දී ආචාර්ය විමල් උපත ලැබුවා. ඔහු අධ්‍යාපනය ලැබුවේ ගාර්වාල්, රිෂිකේෂ්, අලහබාද්, යමුනානගර් සහ පන්ජාබ් යන ප්‍රදේශවල. 1963 දී හයිද්‍රාබාද් හි ඔස්මානියා විශ්ව විද්‍යාලයේ වාග් විද්‍යාව පිළිබඳ ශිෂ්‍යයෙකු ලෙස ඉගෙනීම ආරම්භ කරනවා. එයින් ඔහු ඉහළ ලකුණු ලබා සමත්වන අතර, ඔහුගේ ශාස්ත්‍රපති විභාගයෙන් වාර්තාවක් තබා සමත් වෙනවා. මේ නිසා පන්ජාබ් විශ්ව විද්‍යාලය ඔහුට ශිෂ්‍යත්වයක් ප්‍රදානය කරනවා. ගංගා ප්‍රසාද් විමල් කුඩා කල සිටම දක්ෂ හා නිර්මාණශීලී කෙනෙක්. 1965 දී අන්තර් විනය විෂයයක් පිළිබඳ අධ්‍යයනයන් පිළිබදව ඔහුට ආචාර්ය උපාධිය හිමිවෙනවා. එම වසරේදීම 1965 පෙබරවාරි 5 වන දින ඔහු කමලේෂ් ආනමිකා සමඟ විවාහවන අතර ඔහුට අෂිෂ් (1969 ) සහ කනුප්‍රියා (1975) නමින් පුතෙකු හා දියණියක් ද සිටිනවා.

නිදහස් ලේඛකයෙකු ලෙස සිය ලේඛණ දිවිය අරඹන ආචාර්ය ගංගා ප්‍රසාද් විමල් ශිෂ්‍ය දේශපාලනයේ නිරත ක්‍රියාකාරිකයෙක් ද වෙනවා. ”දේශ්සේවා” නමින් සතිපතා සඟරාවක් ද සංස්කරණය කලා.

ආචාර්ය විමල් 1961 සිට 1964 දක්වා පන්ජාබ් විශ්ව විද්‍යාලයේ වසර තුනක් පර්යේෂණ සහකාර ලෙස සේවය කල අතර ඔහු 1962 සිට 1964 දක්වා එම විශ්ව විද්‍යාලයේම හින්දි භාෂාව හා සාහිත්‍යය ඉගැන්වීමේ ද නියැලුණා. ඔහු 1964 සිට 1989 දක්වා දිල්ලි විශ්ව විද්‍යාලයට අනුබද්ධිත ජකීර් හුසේන් විද්‍යාලයේ බොහෝ පර්යේෂණයන් හි නියැලි සිසුන් සඳහා පර්යේෂණ අධීක්ෂකවරයෙකු ලෙසද කටයුතු කලා. 1989 දී මධ්‍යම හින්දි අධ්‍යක්ෂ කාර්යාලයේ (අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ) අධ්‍යක්ෂ ලෙස පත් කරන ලද ඔහු 1997 දක්වා එහි සේවය කළ අතර 1997 සඳහා ජාතික කවුන්සිලය 1989-1993 සින්දි භාෂාව ප්‍රවර්ධනය කිරීම නවදිල්ලියේ සින්දි භාෂා ප්‍රවර්ධන මණ්ඩලය ලෙස සහ 1993-1995 බදෝදර මූලස්ථානයේ අධ්‍යක්ෂක ලෙස.

මේ හැරුණු විට ඔහු ශබ්දකෝෂ හා භාෂා දැනුම හා සම්බන්ධ බොහෝ ව්‍යාපෘති සඳහා ද සිය දැනුම ප්‍රදානය කර තිබෙනවා. ඔහු ඉන්දියානු භාෂාවන්ට අදාළ පනත් සහ ප්‍රතිපත්ති තීරණය කරන බොහෝ රාජ්‍ය ආයතන හා කමිටුවල ද කටයුතු කලා.

ඔහු 1999 සිට 2004 දක්වා නවදිල්ලියේ ජවහර්ලාල් නේරු විශ්ව විද්‍යාලයේ ඉන්දියානු භාෂා මධ්‍යස්ථානය, භාෂා පාසල හා සාහිත්‍ය හා සංස්කෘතික අධ්‍යයනය පිළිබඳ දෙපාර්තමේන්තුවේ මහාචාර්යවරයෙකු ලෙස ද සේවය කලා. 1999 සිට 2000 දක්වා ඔහු එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ද වුණා. මෙම කාල පරිච්ඡේදය තුළ ඔහු බොහෝ සිසුන්ගේ දර්ශනපති සහ ආචාර්ය උපාධි සදහා මාර්ගෝපදේශකයා වූ අතර භාෂා පිළිබඳ පර්යේෂණ තවදුරටත් කරගෙන යන ජාතික හා ජාත්‍යන්තර ආයතන සමඟ සම්බන්ධ වී කටයුතු කලා.

ආචාර්ය ගංගා ප්‍රසාද් විමල් ආරම්භයේ සිටම නිර්මාණාත්මක ලිවීමට උනන්දුවක් දැක්වූ අතර කවි හා කෙටිකතා, නවකතා රැසක් ලියා තිබෙනවා. ඉංග්‍රීසි භාෂාවෙන් හින්දි භාෂාවට පොත් ගණනාවක් පරිවර්තනය කලා. වෙනත් භාෂාවන් ගෙන් කවි, කතන්දර හා නවකතා ඇතුළු පොත් රැසක් ද පරිවර්තනය කලා. ලෝකයේ බොහෝ රටවලදී ඔහු සිය පර්යේෂණ කටයුතු හා සම්බන්ධ දේශන පැවැත්වුවා. එසේම සාහිත්‍ය හා සංස්කෘතිය වෙනුවෙන් ඔහු බොහෝ රටවල දී ගෞරව සම්මානයෙන් පිදුම් ලැබුවා. ප්‍රධාන වශයෙන් කාව්‍ය ජනතා සම්මානය (1978) :රෝමයේ කලා විශ්ව විද්‍යාලයෙන් ඩිප්ලෝමාව (1979) සොෆියා හි ජාතික සාහිත්‍ය කෞතුකාගාර රන් පදක්කම (1979) බිහාර් රජයෙන් පිරිනමන ඩින්කාර් සම්මානය (1987) ස්කොට්ලන්ත විවෘත ජාත්‍යන්තර කාව්‍ය ත්‍යාගය (1988) ඉන්දියානු භාෂා සම්මානය (භාරතීය භාෂා පරාෂාද්) (1992) සහ උත්තර ප්‍රදේශ් මහත්මා ගාන්ධි සම්මානය (2016) ආදිය එහිදී සුවිශේෂ වෙනවා.

ඔහු ලන්ඩනයේ බීබීසී ගුවන් විදුලියේ ඔහු විසින් රචිත කතා ඉදිරිපත් කිරිම හා සමස්ත ඉන්දිය ගුවන් විදුලියේ කාව්‍ය ගායනා ඉදිරිපත් කිරීම ද ඇතුලු පර්යේෂන පත්‍රිකා රැසක් ඉදිරපත් කර තිබෙනවා. ඔහු විසින් රචනා කරන ලද කතා එකතුවක් වන ‘Main Bhi Jaoonga’ කෘතිය 2016 දී සාහිත්‍ය ඇකඩමි සම්මානය සඳහා නිර්දේශ කරනු ලැබුවා

ආචාර්ය විමල් 21 වන සියවසේ හින්දි සාහිත්‍යයේ ත්‍රෛමාසික සඟරාවක් වන අර්ගලා හි ප්‍රධාන සාහිත්‍ය උපදේශක ලෙස ද කටයුතු කරමින් සිටියා.

2019 දෙසැම්බර් 23 දින ශ්‍රී ලංකාවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරෙන් ආචාර්ය ගංගා ප්‍රසාද් විමල් සහ ඔහුගේ දියණිය කනුප්‍රියා ද, මුණුපුරාද මිය ගියා.

මේ ඔහුගේ සාහිත්‍ය දායකත්වයෙන් බිදක්.

කාව්‍ය සංග්‍රහ:

Vijjap (1967) Bodhi Vriksh (1983) Itna Kuchh (1990) Talisman” Poems & Stories” Duel Text (1990) Sannate Se Muthbhed (1994) Main Wahan Hoon (1996) Alikhit-Adikhat (2004) Kuchh To Hai (2006) Khabren aur Anya Kavitayen (2010) Pachaas Kavitayen (2015) Talisman (poem and stories” Dual Text” London (1990)

කෙටිකතා සංග්‍රහ:

Koi Shuruaat (1972) Ateet Mein Kucch (1973) Idhar Udhar (1980) Baahar Na Bheetar (1981) Charchit Kahaaniyan (1983) Meri kahaniyaan (1983) Khoyi Hui Thaati (1994) Charchit Kahaaniyan (1994) Samagra Kahaaniyan (2004) Ikkis kahaniyaan (2010) Main Bhi Aaunga (2015)

නවකතා:

Apne Se Alag (1969) Kahin Kucch Aur (1971) Mareechika (1978) Mrigaantak (1978) Manushkhor (2013)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *