තොටගමුවේ ශ්‍රී රාහුල හිමි

කලා

තොටගමුවෙ රාහුල හාමුදුරුවන් ගෙ නම දිහා බලපු ගමං සමහරු හිතන කාරණාවක් තම යි උන් වහන්සේ උපන්නෙ තොටගමුවෙ කියන එක. නමුත් උන් වහන්සෙ තොටගමුවෙ ඉපදුණු කෙනෙක් නෙවෙ යි. පරෙවි සන්දේශයේ උන් වහන්සේ කියන්නෙ ‘කඳවුරු කුල උපන් රැඳි තොටගමු පියස’ කියලා. ගිරා සන්දේශය ‘කඳවුරු ගම් කුල’ කියලා යෙදුමක් භාවිත කරනවා. කඳවුරු කුලයෙ ඉපදුණු උන් වහන්සේ වාසය කළේ ‍‍තොටගමුවෙ. රාහුල හාමුදුරුවො වාසය කරපු තැන යි, ගම යි තවත් හොඳින් පැහැදිලි වෙන කවියක් තියෙනවා කාව්‍යශේඛරයෙ.
කුලග මිණි පිවිතු රු
දෙමටානගමැ කඳවු රු
තොටගමු වැසි සොඳු රු
උතුරුමුළ මහ තෙරිඳු මුනුබු රු
රාහුල හාමුදුරුවො වාසය කළේ තොටගමුවෙ උනාට උන් වහන්සේ ඉපදුණේ ‘දෙමටාන’ කියන ගමේ. දෙමටාන කියන ගමත්, කඳවුරු කියන කුලයත් තම යි රාහුල හාමුදුරුවන් ගෙ උපතත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නෙ. මේ දෙමටාන කියන ගම තියෙන්නෙ මොන ප්‍රදේශයේ ද කියන එක බොහෝ දෙනෙක්ට ගැටලුවක් වෙලා තිබුණා. සමහර විට අදත් යම් යම් අයට ‍මේ කාරණාව ගැටලුවක් විය හැකි යි. මේ ගැන අවධානය යොමු කරපු කහවේ රතනසාර හාමුදුරුවො කීවෙ මේ ගම ‘සීතාවක’ ආසන්නයෙ තියෙන දෙමටාන වෙන්න පුළුවන් කියලා. රත්මලානේ ධර්මාරාම හාමුදුරුවන් ගෙ අදහස වුණේ කාව්‍යශේඛරයෙ සඳහන් වෙලා තියෙන දෙමටාන මොන ප්‍රදේශයක පිහිටි එකක් ද කියන කාරණාව නිශ්චය කරන්න කරන්න බැහැ කියන එක. බටුවන්තුඩාවේ පඬිතුමා අදහස් කළේ දෙමටාන කියන්නෙ දඹදෙණිය ආසන්නයේ තිබුණු ගමක් කියන එක. බටුවන්තුඩාවේ පඬිතුමා ගෙ අදහස වැලිවිටියේ සෝරත හාමුදුරුවො 1956 දී විතර මතු කරලා පෙන්වනවා. 1962 දී විතර මේලියස් සිල්වාත් තමන් ගෙ කෘතියෙ සඳහන් කරන්නෙ දඹදෙණි පුරයට අඩුත්තු වූ දෙමටාන ග්‍රාමය රාහුල හාමුදුරුවන් ගෙ ජාත භූමිය කියන කාරණාව.
දෙමටාන ගම ගැන කියද්දි රාහුල හාමුදුරුවො පාවිච්චි කරන සඳහනක් තමා ‘කඳවුරු කුලය’ කියන යෙදීම. ඒ උන් වහන්සේ ගෙ වංශය. කඳවුරු කුලය ගැනත් විවිධ අදහස් අදහස් මතු වෙලා තියෙනවා. කඳවුරු නුවර කියන නම පොළොන්නරුව හඳුන්වන්න කාලයක් භාවිත කළා. ඒ වගේ ම තමා දඹදෙණිය හඳුන්වන්නත් කඳවුරු නුවර කියන නම භාවිත කරපු බව සඳහන්. මැදඋයන්ගොඩ විමලකීර්ති හාමුදුරුවො ව‍ගේ වියත් ලේඛකයො කියන විදියට පොළොන්නරුව, දඹදෙණිය කියන නගර දෙක ම කඳවුරු පුර කියන නමින් හඳුන්වලා තියෙනවා. හැබැයි පොළොන්නරුවට පස්සෙ යි දඹදෙණිය කඳවුරු පුර කියන නමින් හඳුන්වන්න පටන් අරං තියෙන්නෙ. දඹදෙණියෙ රජකම් කරපු දෙවෙනි පරාක්‍රමබාහු රජතුමා ගෙ දින චර්යාව ලියලා තියෙන පොත හඳුන්වන්නෙ ‘කඳවුරු සිරිත’ කියන නමින්. මේ පොතෙත් දඹදෙණිය හඳුන්වලා තියෙන්නෙ කඳවුරු නුවර කියලා. ‘කඳවුරු නුවර රාජ්‍යප්‍රාප්ත කලිකාල සාහිත්‍ය සර්වඥ ශ්‍රී පණ්ඩිත පරාක්‍රමබාහු මහ රජ්ජුරුවන් වහන්සේ …’ ආදි උධෘතවලින් ඒ කාරණාව පැහැදිලි කරගන්න පුළුවන්. මේ කාරණාවත් එක්ක කාටහරි පුළුවන් කඳවුරු පුර මූලික කරගත්ත පාලක පැලැන්තියෙ වංශය කඳවුරු කුලය කියලා අදහසක් මතු කරන්න. නමුත් ඒ අදහසේ පොඩි ගැටලුවක් තියෙනවා. මොකද කඳවුරු කුලය ගැන පොළොන්නරු කාලයෙත් සඳහන් වෙන නිසා. ඒත් එක්ක පේනවා මේ කුලය ලංකා ඉතිහාසයේ ටිකක් ඈතට යන එකක් කියන එක. ‍පොළොන්නරු කාලෙ ජීවත් වුණු ආයස්මන්ත සෙනෙවියා කඳවුරු කුලයෙ ඉපදුණු කෙනෙක්. ‘ඛන්ධාවරන්වයෙ ජාතො ආයස්මන්ත චමුපති’ ඒ විදියට මහාවංසය කියනවා. ඔහුට තව විශේෂණයකුත් එකතු කරලා තියෙනවා. ඒ ‘සබ්බ ලංකා රජ්ජානුසාසකො’ කියලා. ‘සියලු ලංකා‍ රාජ්‍යයේ අනුසාසනා කරන්නා වූ’ කියන අර්ථයෙන්. සමහර විට පොළොන්නරු කාලෙදිත් සඳහන් වෙලා තියෙන කඳවුරු කුලයේ ම දිගුවක් වෙන්න පුළුවන් ද‍ඹදෙණිය, කෝට්ටේ කාලය වෙද්දිත් පැවැතුනේ. රජරට රාජධානි බිඳ වැටෙද්දි ඒ ඒ වංශවලට අයත් ප්‍රභූන් දඹදෙණිය ආශ්‍රිත ප්‍රදේශවලට සංක්‍රමණය වුණා කියලා හිතන්න බැරි කමකුත් නෑ. රාමචන්ද්‍ර ගේ වෘත්තරත්නාකරපඤ්චිකාව කියන විදියට රාහුල හාමුදුරුවො මෞර්ය වංශයට අයිති කෙනෙක්. සමහර විට මෞර්ය වංශයට අයිති අතුරු කුලයක් විදියට කඳවුරු කුලය පැවැතුණා වෙන්න පුළුවන්. කොහොම නමුත් රාහුල හාමුදුරුවො තමන් ගෙ කුලය කඳවුරු කුලය කියලා කියන නිසා ඒ කාරණාව මුල් කරගෙන අවධානය යොමු කරන එක යහපත් බව යි මගෙ විශ්වාසය.
මේ කාරණාවත් එක්ක ම බැ‍ඳෙන තව විස්තරයක් තියෙනවා. පරෙවි අස්නෙ අවසානයට කියනවා රාහුල හාමුදුරුවො වයස අවුරුදු පහළවේ දී කඳ කුමාරයා ගේ වරය ලබා ගත්තා කියලා. ‘කඳ කුමරිඳුන් වර ලද පසළොස් වයස’ කියන ‍කවි පාදය ඒ කාරණාව සනාථ කරනවා. කඳ කුමාරයා ගෙන් වරය ලබාගන්න කාරණාව ගැනත් අපේ මූලාශ්‍රයවල තොරතුරු සඳහන් වෙලා තියෙනවා. මා දන්නා ආකාරයට මේ සම්බන්ධයෙන් තියෙන පැරැණි ම සඳහන මානවම්ම නමැති ක්ෂත්‍රීයයකු සමඟ සම්බන්ධ යි. ඒකත් අපූරු කතාවක් (කතාව දිග යි. කෙටියෙන් සටහන් කරන්නම්).
රාජ්‍යත්වයට උරුමකම් කියපු ‘මාන’ කියන නමින් හැඳින්වුණු ක්ෂත්‍රීයය කුමාරවරු දෙන්නෙක් ජීවත් වුණා. මේ කුමාරවරු දෙන්න ගෙන් වැඩිමල් කුමාරයාට අවශ්‍ය වුණා ස්කන්ධවරප්‍රසාදය ‍හෙවත් කඳ කුමරු ගෙන් වරයක් ලබා ගන්න. ඔහු කඳ කුමාරයා ගෙන්නගන්න යාගයක් කරන්න පටන් ගත්තා. නමුත් මේ යාගයේ දී සිදු වුණු සිද්ධියක් නිසා වැඩිමල් මාන කුමාරයා ගෙ ඇසක් අන්ධ වුණා. මේ කාරණාව නිසා තමන්ට උරුම වුණු රජකම අත් හරින්න කල්පනා කරපු මාන කුමාරයා අභයගිරියට ගිහිං පැවිදි වුණා. බාල සහෝදරයාට රජකම හිමි වුණා. තමන් ගෙ වැඩිමල් සහෝදරයා වෙනුවෙන් පිරිවෙනක් ඉදි කරවන්න බාල සහෝදරයා කටයුතු කළා. ඒ පිරිවෙන තම යි ‘උත්තරොළ්හ පිරිවෙන’ කියන නමින් හැඳින්වෙන්නෙ. පස්සෙ කාලෙදි උත්තරමූලය කියන මූලායතනය දක්වා වර්ධනය වෙන්නෙ මේ උත්තරොළ්හ පිරිවෙන. සමහර විචාරකයො කියන විදියට රාහුල හාමුදුරුවොත් අයිති වෙන්නෙ උත්තරමූලායතනයට. රාහුල හාමුදුරුවෝ ම තමන් ව හඳුන්වා දෙනවා උතුරුමුළ මහ තෙරිඳු ගෙ මුණුබුරෙක් කියලා. කඳ කුමරු ගෙ වරය ලත් වංශය (ස්කන්දවරවංශ) අර්ථයෙන් කඳවුරු කුලය ගැන අවධානය යොමු කරන්නත් ඇතමුන් කටයුතු කරපු බව පේනවා. නමුත් ඒක කොයි තරම් සාධාරණ ද කියන එක වෙන ම කල්පනා කරලා බලන්න ඕනෙ කාරණාවක්. මොකද ආයස්මන්ත සෙනෙවියා ගෙ විස්තරයත් මෙතැන දි අමතක කරන්න හොඳ නැති නිසා.
ගුත්තිල කාව්‍යය ලියපු වෑත්තෑවෙ හාමුදුරුවො ඉපදුණු ගමටත් දඹදෙණියෙ ඉඳන් විශාල දුරක් නැහැ. රාහුල හාමුදුරුවන් ගෙ මව්පියන් ගැන තියෙන සමහර ලේඛකයො කරන සඳහන්වලිනුත් උන් වහන්සේ දඹදෙණියට තියෙන සම්බන්ධය ගැන යම් තරමකට ‍‍තොරතුරු මතු වෙනවා. මම දන්න තරමින් බොහෝ පැරැණි ලේඛනවල රාහුල හාමුදුරුවන් ගෙ මව්පියන් ගැන සඳහන් වෙන්නෙ නෑ. නමුත් පසු කාලීන ලේඛ‍කයො වික්‍රමබාහු කුමාරයාත්, සීලවතී කුමරියත් රාහුල හිමියන් ගෙ ගිහි කාලයෙ මව සහ පියා වශයෙන් සඳහන් කරනවා. දඹදෙණියෙ රජ කරපු පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමා විසින් පුත්‍රස්ථානයේ තබාගෙන ඇති දැඩි කළ සහ එතුමා ‍ගේ බෑණා කෙනෙක් වුණු වීරබාහු කුමාරයා, වික්‍රමබාහු කුමාර‍යා ගේ ජන්ම කර්තෘ විදියට සමහර ‍ලේඛකයො හඳුනගන්නවා. වික්‍රමබාහු කුමාරයා දෙමටානේ ජීවත් වෙමින්, ප්‍රදේශයේ අය බදු එකතු කරමින් පාලනය කළ බව යි ඔවුන් සඳහන් කරන්නෙ. මේ වික්‍රමබාහු කුමාරයා ගැනත් විවිධ තොරතුරු තියෙනවා. සමහරු කියනවා ඔහු අලකේශ්වර සමග කළ යුද්ධයක දි මිය ගියා කියලා. සමහරු කියනවා ඔහු පැවිදි වුණා කියලා. සමහර ලේඛකයො කියනවා වික්‍රමබාහු කුමාරයා අසනීපයක් නිසා මිය ගියා කියලා. වික්‍රමබාහු කුමාරයා ගැන තියෙන්නෙත් අවුල් ජාලයක්. හරි කාරණාව පැහැදිලි කරගන්න තරමක අධ්‍යයනයක් කරන්න වෙනවා. වික්‍රමබාහු කුමාරයාට කලින් ඔහු ගෙ බිරිඳ වුණු (රාහුල හිමියන් ගෙ ගිහි කාලයෙ මව) සීලවතී කුමරිය මිය ගියා කියලා සමහරු කියද්දි, තව කෙනෙක් කියනවා වික්‍රමබාහු කුමාරයා මිය ගියාට පස්‍සෙ සීලවතී කුමරියත්, ජයබාහු (රාහුල හාමුදුරුවන් ගෙ ගිහි නම) කුමාරයාත් මාලිගාවට රැගෙන යන්න හය වැනි පරාක්‍රමබාහු රජතුමා කටයුතු කළා කියලා. මේලියස් සිල්වා ‍මේ විදියෙ සඳහනක් කරනවා.
“දෙමටාන කුමරුගේ ජන්ම පීතෲවූ වික්‍රමබාහු කුමාරයා අලකේශ්වර යුද්ධයේදී පරාක්‍රමබාහු රජුගේ පක්ෂයගෙන සටන් කොට මිය ගියේය. එහෙයින් රජතුමා ස්වකීය ඥාති සහෝදරයාගේ රූසිරින්හෙබි වැන්දඹු දේවියත් බිළිඳු පුත් කුමරාත් රජමැදුරට ගෙන්වා ගත්තේය. රජහු ‍ය‍ථොක්ත උභයකුල පරිශුද්ධ ශීලවතී නමින් දන්නා වැන්දඹු කුමරිය බිසෝතනතුරෙහි ද ළදරු කුමරු පුත්‍රස්ථානයෙහි ද තබා ගත්තේ ය යනු පැරණි ලිපියක දක්නා ලැබේ.”
ගම්මැද්දේගොඩ පුඤ්ඤසාර හාමුදුරුවො හිතන විදියට පැරකුම්බා රජතුමා ගෙ අග මෙහෙසිය වුණු කීරවැලි කුමරිය ගෙ දෙටු සහෝදරිය යි රාහුල හාමුදුරුවන් ගෙ ගිහි කාලයෙ මව.
දැනට ප්‍රකට ව තියෙන ප්‍රවාද අනුව කල්පනා කළා ම දෙමටාන ගමේ ඉපදුණු ජයබාහු කුමාරයා වසර කීපයකින් පරාක්‍රමබාහු රජතුමා ගෙ පුත්‍රස්ථානයේ ඇති දැඩි වෙනවා. රජතුමාට හිටියෙ දුවලා දෙන්නෙක්. රජතුමා ඒ නිසා රජකමට සූදානම් කිරීමේ අරමුණින් දෝ පිරිමි කුමාරවරු තුන් දෙනෙක් ඇති දැඩි කළා. එයින් පළමු වෙනියා ජයබාහු කුමාරයා. ඔහු පැවිදිවෙලා රාහුල කියන නමින් ප්‍රසිද්ධ වුණා. අනි‍ත් දෙන්නා තම යි සපුමල් කුමාරයා සහ අම්බුළුගල කුමාරයා කියන්නෙ.
රාහුල හාමුදුරුවො ලංකාවෙ දකුණු ප්‍රදේශයට පිටත් වුණේ මොන කාලයේ ද? මොන හේතු නිසා ද කියන කාරණාව ගැන වැඩි දුරටත් අධ්‍යයනය කළ යුතු යි. නමුත් උන් වහන්සේ දකුණු ප්‍රදේශයේ ඉඳුරු ගිරි ලෙනට පිටත් වෙන්න හේතු වුණු කාරණාව ගැන නම් යම් අදහසක් ගන්න පුළුවන් තොරතුරු තියෙනවා. උන් වහන්සේට අවශ්‍ය වුණේ කොහොමහරි රජතුමා ගෙ දුවලා දෙන්නා ගෙන් කෙනෙක්ට උපදින පිරිමි දරුවෙක් ව රජ කරවන්න. හය වැනි පරාක්‍රමබාහු රජතුමා මිය යන කාලය වෙද්දි එතුමා ගෙ දියණියක් වුණු උලකුඩය දේවිය පිරිමි දරුවෙක්ට උපත දීලා තිබුණෙ. ඔහු ගෙ නම වුණෙත් ජයබාහු. රජතුමා මිය ගියා ම උලකුඩය දේවිය ගෙ පුත්‍රයා වුණු ජයබාහු කුමාරයා ව රජ කරවනවා. නමුත් සපුමල් කුමාරයා මේ සිදුවීම ඉවසුවෙ නෑ. ඔහු සේනාවක් අරගෙන ඇවිත් ජයබාහු කුමාරයා ව මරලා හය වැනි බුවනෙකබාහු නමින් රජ වෙනවා. මේ සිදුවීම රාහුල හාමුදුරුවො ඒ තරම් ඉවසපු බවක් පේන්න නැහැ. හය වැනි බුවනෙකබාහු ගේ රාජ්‍යත්වයෙන් මුල් කාලයේ දී ම ඇති වුණු කැරැල්ලට රාහුල හාමුදුරුවන් ගෙත් සම්බන්ධයක් ඇති කියලා සමහර විචාරකයො අනුමාන කරනවා. බුවනෙකබාහු රජතුමා මේ කැරැල්ල මැඩපවත්වනවා. කැරලි නායකයො අත් අඩංගුවට ගත්තත් පස්සෙ සමාව දෙනවා. ‍බොහෝ විට ‍මේ කාලයෙ රාහුල හාමුදුරුවො අප්‍රකට ව ජීවත් වෙන්න කල්පනා කරන්න ඇති. උන් වහන්සේ සම්බන්ධයෙන් තියෙන මේ ජන කවියත් බුවනෙකබාහු සම්බන්ධ සිදුවීම ගැන ඉඟියක් මතු කරන බව පේනවා. බුවනෙකබාහු ගෙ බලය තුන් පාරක් ම පසුබෑමකට ලක් වුණු බව කවියෙ සඳහන්.
නිරිඳු බුවනෙක බා
බලය තෙවිටක් පසු බා
මර යුදයට නො බා
මම ය පැරකුම් රජු ගෙ ගජ බා
(ශකිල රාජකරුණා මුහුණු පොත් පිටුවෙන්)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.