ණයත් – පඩිත් ගෙව්වාම තවත් ණයවෙන රටක්

දේශපාලන

ප්‍රජාතන්ත්‍රවාදය පොදු ජනතාව සමග එළැඹෙන ගිවිසුමකි. හොඳම ප්‍රතිලාභ ජනී ජනයාට ලැබෙන ක්‍රමයක් සකස් කළ යුතුය. මහජනතාව පත්කරන පාර්ලිමේන්තු නියෝජිතයන්ට පැවරෙන කාර්යයකි. ආණ්ඩුව සතු වගකීම පුළුල්ය. විපක්ෂ දේශපාලනඥයන්ට ද කාර්යභාරයක් තිබේ. පටු විවේචනය වෙනුවට විවිධ පැති අධ්‍යයනය කර ක්‍රමවේදය නිවැරදි කිරීම සඳහා පෙළැඹවීමක් අවශ්‍යය.
පාර්ලිමේන්තුවේ දී කරන සංවාදයකින්, ආර්ථික හා සමාජ පැවැත්මේ දී මෙතෙක් අනුගමනය කර ඇති ක්‍රමය තුළ ඇති වැරදි හදා ගත යුතුය. විශාල ප්‍රපාතයකට ගමන් කරන විට දෙපැත්තට වී එකිනෙකාට චෝදනා කරගැනීමෙන් ලැබෙන වාසියක් නැත. නිදහසට පසු ගෙවී ගිය දශක හතකට වැඩි කාලය තුළ වගකීම ඉටුකොට ඇති බවක් නොපෙනේ.
ආර්ථිකය මුහුණ පා ඇති අභාග්‍ය සම්පන්න ඉරණම එයට සාක්ෂියකි. එක කොටසක ගේ හෝ එක පුද්ගලයකු ගේ වරදක් නොවේ. අප සියලු දෙනාම පවතින ඉරණමෙහි කොටස්කරුවෝ වෙති. ප්‍රතිපත්ති අනුගමනය නොකරන්නටත්, පටු වාසි තකා නිසි පිළිවෙළට ඉඩ නොදෙන්නටත් යුහුසුළු වූ අපට ආර්ථික මූලධර්ම මගින් අමතක නොවන පාඩමක් උගන්වා තිබේ.

අලුත් වාර්තා පෙන්වන පරිදි, ජාතික ආදායම ණය පොලිය හා රජයේ වැටුප් වියදමට ප්‍රමාණවත් නැත. ණය පොලිය සඳහා ආදායමෙන් සියයට හැත්තෑවක් වියදම් කරන්නට සිදුවී ඇත. රජයේ සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් වෙනුවෙන් වෙන් කරන්නට සිදුවී ඇති කොටස සියයට අනූවකි. මෙම කොටස් දෙක පමණක් ජාතික ආදායමෙන් සියයට එකසිය හැටක් වන බරපතළ ප්‍රතිශතයක් බව පෙනේ. රුපියල් සියයක් උපයන පුද්ගලයකු කලින් ගත් ණය හා වැටුප් වියදම් වශයෙන් රුපියල් එකසිය හැටක් ගෙවන්නේ කෙසේද?

මැලේසියාව දියුණු කළ මහතීර් මොහමඩ් මහතා සමකාලීන දේශපාලනඥයන්ට වටිනා උපදෙස් දී තිබේ. රටක් පාලනය කරන්නට බලය ඉල්ලන අය අඩුම තරමින් සුළු ව්‍යාපාරයක හෝ අත්දැකීමක් තිබිය යුතු බව ඔහු කියා සිටියේය. ඉතිහාසයේ සිට අපට වෘත්තීය දේශපාලනඥයෝ සිටියහ. මහතීර් කියන සුදුසුකම තිබුණේ නැත. බලය අල්ලා ගන්නට අතිසමර්ථය. විපක්ෂය ද ආණ්ඩු අපහසුවට පත් කරන්නට දක්ෂ කණ්ඩායමකි.

ආණ්ඩුවත් විපක්ෂයක් එකතු වී දැවැන්ත ආගාධයක් අභිමුවට රට කැඳවා ඇත. දේශපාලන අනුග්‍රහය ඇති මිථ්‍යා මතවලින් හිස් පුරවා ගත් වෘත්තීය සමිති ද මෙම විනාශයෙහි එක පාර්ශවයකි. නිසි අවස්ථාවේ දී රටට අවශ්‍ය මගපෙන්වීම මගහැර සිටි ප්‍රායෝගික අදහස් තිබිය යුතු බුද්ධිමත් කොටස් ද අද පවතින කනගාටුදායක තැන දක්වා ගමන් කරන්නට අත්වැල අල්ලා ඇත.

මෙම අවස්ථාවේ දී තීරණ දෙකක් ගත හැකිය. ආදායම වැඩි කරගැනීම සඳහා අලුත් වටයකින් බදු නංවන්නට සිදුවේ. එය දුගී දුප්පත් ජනතාව තවත් දුෂ්කර තැනකට පත් කිරීමකි. අනෙක රජයට බදු ආදායම උපයා ගත හැකි වන පරිදි ආර්ථිකය පුළුල් කිරීමය. අලුත් කර්මාන්ත හා ව්‍යාපාර ඇති කරන පසුබිමක් ගොඩනැගීමය. ව්‍යවසායකත්වය සඳහා රට තුළ ඇති අපහසුතාව රජයේ නිලධාරීන් සහ දේශපාලනඥයෝ නොදනිති. යමක් අලුතින් කරන්නට වෑයම් දරන පිරිස් අධෛර්ය කරන වටපිටාවක් රට තුළ තිබේ.

තීරණ ගැනීමේ අලසභාවය හා යල්පැන ගිය නීති ව්‍යවසායකත්වයට කිසිම ආකාරයකින් සහායක් දෙන්නේ නැත. අතිශය පීඩාවක සිටින තරුණ පිරිස ක්‍රමවේදය ගැන කලකිරීමට පත්ව සිටිති. දක්ෂ පිරිස කෙසේ හෝ වෙනත් රටකට පැනගොස් ජීවත්වීමේ අධිෂ්ඨානයකය. ඉගෙනගත් තරුණ තරුණියන් අනාගතය උදෙසා නගන හඬ ඉදිරියේ මෙරට දේශපාලනඥයන්ට ඇති උත්තරය කුමක්ද? ඝෝෂාවෙන් හා විරෝධතාවලින් රටට සිදුවී ඇති යහපතක් නැත.
කොවිඩ් වසංගත තත්ත්වයෙන් පසු නැවතත් නැගී සිටිය යුතුය. විශාල ප්‍රතිසංස්කරණ කරන්නට සිදුවේ. ආර්ථික හා සමාජ වෙනස්කම් කළ යුතුය. ආකල්ප වෙනස් කිරීමට පියවර ගත යුතුව තිබේ. අධ්‍යාපන ක්‍රමය, සෞඛ්‍ය, ප්‍රවාහනය, මූල්‍ය පද්ධතිය ඇතුළු අංශවල පවතින ක්‍රම සමාජ ප්‍රගතිය ඇති කරන්නේ නැත.

අවශ්‍ය වෙනස්කම් සඳහා ආයෝජනයට ධනය නැති ආණ්ඩු හුදෙක් එදිනෙදා පැවැත්ම ගැන පමණක් අවධානය යොමු කරන තැනට පත්ව සිටී. ව්‍යුහය වෙනස් නොකළහොත් අනාගතයේ බලයට පත්වන ආණ්ඩුවකට පවා අලුත් යමක් කරන්නට නොහැක. ආණ්ඩුව පමණක් නොව විපක්ෂය ද එකතු වී ආර්ථිකය තුළ ඇති අර්බුදය නිරාකරණය කරන පරිවර්තනය කරන අලුත් සැලැස්මක් සඳහා වහාම පියවරගත යුතුව තිබේ.

මිලින්ද මොරගොඩ

ලංකාදීප

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.