ගුවන් විදුලිය යළි හඩ්සන්ට

පුවත්

(ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයකු වන හඩ්සන් සමරසිංහ මහතා යළිත් එම තනතුරට පත්කරනු ලැබ ඇත.

සමරසිංහ මහතා අද (30) යළිත් එම ධූරයේ වැඩභාරගත්තේය.

ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ලෙස ඉකුත් මැයි මාසයේ දී පත්කෙරුණු ජයම්පති බණ්ඩාර හීන්කෙන්ද මහතා ජාතික රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්‍ෂ ධූරයකට පත්කරනු ලැබ ඇතැයි ද වාර්තා වේ.

හඩ්සන් සමරසිංහ මහතා 1969 දී ගුවන් විදුලි සංස්ථාවට එක්වූයේ ගුවන් විදුලි වැඩසටහන සම්පාදකයකු ලෙසිනි.

එහි සභාපති හා අධ්‍යක්‍ෂ ජනරාල් තනතුරට 1989 දී ඔහු පත්වූයේ රණසිංහ ප්‍රේමදාස මහතාගේ රජය යටතේය.

2003 වසරේ දී ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය යළිත් ඔහු ගුවන් විදුලි සංස්ථා සභාපතිවරයා ලෙස පත්කළ අතර මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ද 2007 වසරේ දී ඔහු එම තනතුරට පත් කරනු ලැබිණි. හඩ්සන් සමරසිංහ මහතා 2015 වසර දක්වා එම තනතුර හෙබවීය.

ඒ අනුව මෙවර ඔහු එම ධූරයේ රාජකාරී භාරගෙන ඇත්තේ සිවුවැනි වරටය.

ලාංකීය ගුවන් විදුලි වංශ කතාවේ පලමු එෆ්.එම් නාලිකාව වන සිටි එෆ්.එම් හි නිර්මාතෘවරයා වන්නේ ද හඩ්සන් සමරසිංහ මහතාය.

ඔහු 1991 දී එක්සත් ජාතික පක්ෂය නියෝජන කරමින් පාර්ලිමේන්තුවට ද පත්විය.

(Lankadeepa)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *