ගිලාබසින මහනුවර අසිරිය

විශේෂාංග

කන්ද උඩරට අවසන් රාජධානියේ ප්‍රෞඪත්වයට එහා ගිය විශිෂ්ට තාක්ෂණික ඉතිහාසය අද මහනුවර නගර මධ්‍යයේ වැළලී තිබේ. සෙංකඩගලපුරට ඇද හැළුණු වැසි ජලයත් බෝගම්බර වැවෙහි සහ කිරිමුහුදෙහි අතිරික්ත ජලයත් කාට හෝ අවහිරයක් නොවී රහසේ ගලා බසින්නට අවැසි පරිදි නගර මධ්‍යයේ කිලෝ මීටරයක් සහ මීටර් හාරසිය දහනවයක් දිගින් යුතු උමං මගක් තනා ඇත්තේ කවුරුන්ද යන වග අදටත් රහසකි. අනුරාධපුරය” පොළොන්නරුව” සීගිරිය ඇසුරෙහි දක්නා ලැබුණු උමං මාර්ගයන්ට සමාන තාක්ෂණික ක්‍රමවේදයන්ගෙන් සුසැදි” සෙංකඩගලපුර පොළොවේ අභ්‍යන්තරයේ ඇති මේ උමං මාර්ග අදටත් ආරක්ෂිතව ඇති බව මේ වන විට හෙළි වී තිබේ.
මහනුවර නගරයේ යටිනුවර වීථිය වරක් දෙවරක් නොව කිහිප විටක් ම ගිලා බැස මාර්ග අවහිරතා සිදුවූ බව අපට මතකය. දහතුන් වතාවක්ම මෙම උමං මාර්ගය තැනින් තැන කඩා වැටී තැන දෙදහස් දහහතර සහ දෙදහස් පහලොව වසරවලදී මෙයට හේතු කවරක්දැයි සොයා බැලූවෝ මහනුවර මහනගර සභාවය. ඒ වසර දෙදහස් පහළොවේ තරම් වූ මෑත අතීතයේදීය.
ඔවුහු ගිලා බැසි තැන් ආශ්‍රිත කරන ලද පරීක්ෂණ ඇසුරින් සකසන ලද වාර්තා මහනුවර නගර සංවර්ධන ව්‍යාපෘති වෙත භාරදී තිබිණි. ඒ අනුව මෙම කටයුත්තට මුල පිරුවෝ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය ය. ලෝක බැංකු ආධාර සමග මහනුවර නගර මධ්‍යයේ උමං මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය ලෙස ප්‍රථමයෙන් මෙම කටයුත්තට අත තැබූ ඔවුහු මෙම ව්‍යාපෘතිය ”Rehabilitation of underground storm water drainage network in kandy” ලෙස නම් කොට තිබිණි. දෙදහස් පහළොවත් දෙදහස් දහඅටත් යන කාලය අතර තුර මහනුවර උමං මාර්ග සම්බන්ධයෙන් ප්‍රබල විශ්ලේෂණයක සහ අධීක්ෂණයක නියැලෙමින් මෙම ව්‍යාපෘතියේ ප්‍රතිසංස්කරණ කටයුතු සියල්ල TTI (ටී ටී අයි) නමින් හඳුන්වන ඔස්ට්‍රෙලියානු කොන්ත්‍රාත් සමාගම වෙත භාර දෙන ලදී. එම ආයතනයේ අධ්‍යක්ෂ කේ. බාලසුබ්රමනියම් මහතා ශ්‍රී ලාංකිකයෙක් වුවද ඔස්ට්‍රේලියාවේ පදිංචිකරුවෙකි. ටීටීඅයි හි නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ ධුරය හොබවන්නේ ඒ. ජී. එස්. ඒ. නානායක්කාර මහතාය. හෙතෙම වික්ටෝරියා”රන්දෙණිගල” රන්ටැඹේ” කොත්මලේ” ඉහළ කොත්මලේ මොරගහකන්ද ඇතුළු ව්‍යාපෘති රැසක් භාරව කටයුතු කළ පරිණත පුද්ගලයෙකි. ටීටීඅයි ව්‍යාපෘතියේ කටයුතු භාර ඉංජිනේරුවන් අටදෙනකු ද තවත් සේවයකින් දෙදෙනකුද ඇතුළුව කණ්ඩායම දොළොස් දෙනෙකුගෙන් සමන්විතය. ඔවුහු සමග උමං මාර්ගය ප්‍රතිසංස්කරණය සඳහා කැපවූ කම්කරුවන් කණ්ඩායම විස්සකින් යුක්තය.
uman2 – මෙම ව්‍යාපෘතිය දෙදහස් දහඅටෙහි සිට Ludwing Pfeiffer – gypsum structural india pvt ltd නම් වූ ජර්මනියත් ඉන්දියාවත් එකතුව ක්‍රියාත්මක වන ආයතනය සමග ඉදිරියට යන්නේය. දෙදහස් විස්සේ මැයි මස වන විට වැඩ නිමවිය යුතු මෙම ව්‍යාපෘතිය සදහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් මිලියන එක්දහස් දහසයකි. එම මුදල ලෝක බැංකු ණය ආධාර යටතේ මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයේ උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය ඔස්සේ අධීක්ෂණය වන්නේය.
ඒ යටතේ උමං මාර්ග හතරක් සංවර්ධනය කෙරේ. මහනුවර යටිනුවර වීථියේ සිට මධ්‍යම වෙළෙඳ සල දක්වා වන මීටර් අටසිය විස්සකින් යුතු උමං මග එහි පළමු උමං මාර්ගයය. දෙවැන්න කිරිමුහුද හෙවත් මහනුවර වැව පිටවානේ සිට මහනුවර පොලිසිය අසල මල්ලිකා ස්ටුඩියෝ දක්වා වූ මීටර තුන්සියයකින් යුතු උමං මගය. තෙවැන්න මධ්‍යම වෙළෙඳ පොළ සිට මහනුවර පොලිසිය අසල මල්ලිකා ස්ටුඩියෝ දක්වා වූ මීටර හැත්තෑ අටක උමං මගය. සිවුවැන්න දෙයියන්නේවෙල ක්‍රීඩා පිටිය අසල සිට මැද ඇළ දක්වා වූ මීටර එකසිය විසිඑකක් දිග උමං මගය.
මෙම උමං මගෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සුළුපටු කොට තැකිය හැකි නොවේ. අතීත නටබුන් ලෙස පොළොව පතුලේ සැඟව තිබුණ ද මේ මහනුවර වැසියෝ මේ උමං මග අදටත් වනසමින් සිටින බැවිනි. ඓතිහාසික වටිනාකමකින් සහ රහසිගත සැලසුම් සහිත ඉංජිනේරු තාක්ෂණික දැනුමකින් සුපෝෂිතව ගුප්තාර්ථයකින් තනවා ඇති මෙම උමං මාර්ගය අවභාවිත කිරීම අරඹා ඇත්තේ එක්දහස් අටසිය අසූ පහ අනූපහ කාල වකවානුවලදී බ්‍රිතාන්‍ය ජාතිකයන් විසිනි. ඊට අදාළ සාක්ෂි ඇති පදමට ඇති වග කියන්නේ ටීටීඅයි ව්‍යාපෘති භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ.ජී.එස්.ඒ. නානායක්කාර මහතා ය. මේ ඔහු පවසන දෑය.
”මෙම ව්‍යාපෘතිය පිළිබඳව නගර සභාව අධීක්ෂණය කර තිබුණේ ගිලා බැසීමට හේතු කවරක්ද යන වග පමණයි. අපි මෙම ව්‍යාපෘතිය භාර ගැනීමෙන් අනතුරුව මේ පිළිබඳව පුළුල් ලෙස විමර්ෂණයක් සිදු කළා. මෙම උමං මාර්ගයේ නොලියවුණු ඵෙතිහාසික වටිනාකමක් ඇති වග තේරුම් ගියේ එවිටයි. යටිනුවර වීථියේ ගිලා බැසි කොටස් සමග අපි මෙම උමගේ ඉදිකිරීම් පිළිබඳව සියුම් පර්යේෂණ සිදු කළා. එහිදී සනාථ කර ගත හැකි වූ එක් කාරණයක් තමයි” මෙම උමග යටිනුවර වීථියේ සිට අලිමුඩුක්කුව කියන පැත්තට යන්න යන්න ප්‍රමාණයෙන් විශාල කරමින් මීටර් එකහමාර සිට දෙකහමාර දක්වා සකසා තිබෙන අන්දම. ඉලිප්සාකාර ස්වරූපයක් පැහැදිලිව දක්නා ලැබෙන අතර ආරුක්කු හැඩයේදි තනි ගඩොල් තට්ටුවකින් බදාම කිසිවක් පාවිච්චි නොකර තනා තිබෙන බව ද දක්නට ලැබෙනවා. මෙය කුමන කාලවකවානුවක ඉදිකළේ ද යන්න සඳහනක් කොතැනකවත් නැහැ. ලෝකේ වෙන කිසිදු උමං පද්ධතියක මෙවැන්නක් දක්නා නොලැබෙන බැවිනුත් අනුරාධපුර පොළොන්නරුව සහ සීගිරිය වැනි තැන්හි ඇති උමං මාර්ග මෙපරිද්දෙන් තනි ගඩොලින් තනවා ඇති බැවිනුත් මෙය ඉතිහාසයේ ශ්‍රි ලංකාවට ම පමණක් ආවේණික වූවක් බව අපි තහවුරු කළා. කිරිමුහුද හෙවත් මහනුවර වැව ආශ්‍රිතව ඇති උමං මාර්ගය බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් කොටසක් තනා ඇති බවට ද අපි අනුමාන කළා. මොකද එතැන ආරුක්කු හැඩය සහිතව තනා ඇති තැන්වල ගඩොල් පේළි තුනකින් නිමවා තිබෙනවා.
uman3 – යටිනුවර වීථිය සහ ඒ ආශ්‍රිතවත් අපගේ ව්‍යාපෘතියට අයත් උමං මාර්ග පද්ධති හතර අධීක්ෂණයේදී අප තහවුරු කර ගත් තවත් ප්‍රධාන කාරණයක් තමයි මෙම උමං මග තනවා ඇත්තේ කාලයෙන් කාලයට ගඩොල් තවදුරටත් එකිනෙක යා වෙමින් ශක්තිය වැඩිවන අන්දමට වන තාක්ෂණික උපක්‍රම සහිත බව. මෙම තාක්ෂණය බිඳිය හැකි අවස්ථා නැහැ. නමුත් කනගාටුවට කාරණය අපේ ජනතාව මෙම උමං මග පළුදු කරමින් වැසිකිළි නළ ඒ තුළට හරවා තිබීම.
මේ අකටයුත්ත ආරම්භ කරලා තිබෙන්නේ පෙර කී පරිදි බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින්. එය අපේ ශ්‍රි ලාංකික මහනුවර පදිංචිකරුවන් වෙළෙඳ ව්‍යාපාරිකයන් ඇතුළු පිරිස බොහොම අගේට පවත්වා ගෙන ගිහින් තිබෙනවා. කියන්න කනගාටුයි… කිසිදා නොබිඳෙන පරිදි තනා ඇති මෙම ඓතිහාසික උමං මාර්ගය පළුදු කොට ඇති සෑම තැනකින්ම ඇතුළට කඩාගෙන ගොස් තිබෙනවා. යටිනුවර වීථිය විශේෂයි. එපමණක්ද” වැසි ජලය සහ අතිරික්ත ජලය පමණක් ගලා ගෙන යෑම පිණිස තනවා ඇති මෙම උමං මාර්ගයේ වැසිකිළි අපජලය ගලා යෑමට සැලැස්වීම සාපරාධී අපරාධයක්. වැසිකිළි නළවලින් ආ අපද්‍රව්‍ය උමං මාර්ග ඔස්සේ ගලා ගොස් දෙයියන්නේවලින් මැද ඇළට එකතු වී තිබෙනවා. නුවර වැසියන් පමණක් නෙවෙයි වැසිවලදි නුවර ට පැමිණි සෑම සියලූ පුද්ගලයකුම මැද ඇළේ ජලය දැක ඇත්නම් සිහිවනු ඇති එම ජලය ගලා ගියේ කළු පැහැයෙන්. ජලය කෙලෙසද කළු පැහැයෙන් ගලන්නේ. දෑසින් දුටු සාක්ෂි අනුවම තීරණය කර ගන්න ඒ තමයි වැසිකිළි අපද්‍රව්‍යය.
මෙවන් ඓතිහාසික උමං පද්ධතියක් මහනුවර නගරයේ භූගතව තිබූ බවට නටබුන් ලෙස” සපථ කිරීමේ අරමුණින් අපේ ව්‍යාපෘතිය යටතේ ඉන් කොටසක් ගලවා නගර සභා පරිශ්‍රයේ හෝ පුරාවස්තු සංරක්ෂණ මධ්‍යස්ථානයක තබා තියන්නත් අපි අදහස් කළා. දැන් අප සිදු කරන්නේ මෙම උමං මාර්ගයේ තැනින් තැන කඩා වැටී ඇති කොටස් ප්‍රතිසංස්කරණය කරමින් නැවත හාරා නළ දැමිය නොහැකි පරිදි සැකසීමයි. ඒ අතර මෙම උමං මාර්ග හතර ඔස්සේ වැසි ජලය සහ භූගත ජලය පමණක් ගලා යන පරිදි සැකසීමට අවශ්‍ය සියලූ ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
අප මෙම ව්‍යාපෘතියේ වැඩ කටයුතු සිදුකරන්නේ” පී.ජී.එස්. තාක්ෂණය යටතේය මෙම කටයුතු සියල්ල සිදුකරන්නේ. බාධක රැසක් මැද. මොකද මේ මහනුවර නගරය දිවා කාලයේ හරිම ජනාකීර්ණයි. මාර්ගවල වාහන ඇති තරම් එහාමෙහා යනවා. කාර්යයබහුල නගරයක සංවර්ධන කටයුතු සිදු කෙරෙන්නේ රාත්‍රී නවයේ සිට අලූයම පහ දක්වා කාලයේදී. මෙය අවදානම් සහිත බරපතළ කටයුත්තක්.
ඒ වගේම තවත් අපහසුතාවයක් තමයි… මහනුවර මධ්‍යම වෙළෙඳසල නැතිනම් මාර්කට් එකේ මාළු කඩවල සහ මස්කඩවල අපද්‍රව්‍ය සියල්ල මේ උමං මාර්ගයට දැමීම. අපද්‍රව්‍ය උමං මාර්ගයට දැමිමෙන් ඒවා නරක්වීම සමග එන අපුල පමණක් නොව දුර්ගන්ධය බිම තැන තැන රැඳෙමින් තවදුරටත් නරක් වීම අපේ සංවර්ධන කටයුතු සඳහා යෙදි සිටින සියලූ උදවියට බාධාවක්. නරක් වූ මෙම අපද්‍රව්‍ය විවිධ විෂ වායු සකසනවා. එය ජීවිත හානියකට පවා තුඩු දෙන කරුණක්. මේ නිසා අපිට ඊට අදාළ විසඳුම් ද ගැනීමට සිදුව තිබෙනවා..
උමං මාර්ග සංවර්ධන කටයුතුවල නියුතුව සිටින සෑම සේවකයකුටම බූට් සහිත ආරක්ෂිත ඇඳුම් කට්ටලයක් ලබා දී තිබෙනවා. ඇතැම් සේවකයෝ මේ ගැන වැඩි තැකීමක් නොකරන නිසා” ඇඳුම් කට්ටලය නිසි පරිදි අඳිනවා ද යන්න සොයා බැලීම සඳහා අධික්ෂණයට වෙනම නිලධාරින් පත්කර සිටිනවා. උමං මාර්ගය තුළ වාතය මිනිස් ආශ්වාස ප්‍රාශ්වාසයට සුදුසුද නැද්ද වරින් වර වෙනස් වන්නේද යන්න යාවත්කාලීන තොරතුරු ලබා ගැනීම් සිදුකෙරෙනවා. පිරිසිදු වාතය පවත්වා ගෙන යෑම සඳහා හුලං පොම්ප මගින් නිතර නිතර වාතය හුවමාරු ඒකක සවිකොට තිබෙනවා. උමං මාර්ග තුළ ඉතා හොඳ ආලෝකයක් පවත්වා ගෙන යෑමට විදුලි ආලෝකය ලබා දී තිබෙනවා.
බහිරවකන්ද දෙසට හෝ නගර සහා හන්දිය දෙසට හෝ උඩවත්ත කැලය දෙසට හෝ දුනුමඩලාව අම්පිටිය දෙසට හෝ ලැබෙන වර්ෂාපතනය නිරන්තරයෙන් මැනුම් ක්‍රම මගින් මනිනු ලබනවා පමණක් නොව” ඒ ඒ ප්‍රදේශ වෙත වැස්ස මිලි මීටර දහය ඉක්මවන විට” පෙන්නුම් කරන සහ වහා දැනුම් දෙන උපකරණ උමං මාර්ග තුළ සහ කාර්යාලය තුළ ස්ථාන ගත කර තිබෙනවා. එම උපකරණ ක්‍රියාත්මක වීම ව්‍යාපෘතියේ සියලූම නිලධාරින්ගේ ජංගම දුරකතන වෙත දැනුම් දෙන සංඥා ක්‍රමවේදයක්ද ක්‍රියාත්මක කෙරෙනවා.
මේ හරහා උමං මාර්ගයේ ගලා යන ජල මට්ටම වැඩි වීම තීරණය කරනු ලබනවා. නගරය අවට කොතැනක හෝ මිලිමීටර් දහය ඉක්මවන වැසි ඇදහැළුනහොත් පැය භාගයකට පෙර උමග තුළ සේවයේ යෙදී සිටින සියලූම පුද්ගලයින් ඉන් ඉවත් කර ගත යුතුයි. මොකද අපි ජීවිත අවදානම සමග කරන කටයුත්තක් මේක.
මෑත භාගයේ අපි සීසීටීවී කැමරා පද්ධතියක් සවිකොට ඒ ඔස්සේ ක්ෂණිකව තොරතුරු දැනගත හැකි ක්‍රම භාවිත කරනවා. නමුත් මෙම යන්ත්‍ර්‍ර සූත්‍ර උපකරණ කියන්නේ සැනින් කිසියම් දෝෂයකට ලක්විය හැකි දේවල් නිසා අපි නිරන්තරයෙන්ම හොඳ හෝදිසියෙන් සිටිය යුතු වෙනවා.
uman4 – නගර සභාව” මහනුවර රෝහල” මහාමාර්ග” ජල සම්පාදන හා ජලාපවාහන” පොලිසිය” දිසාපතිතුමා ඇතුළු ඇතැම් ආයතන” අපගේ ව්‍යාපෘතිය සමග අනුබද්ධව කටයුතු කරනවා. මේ අය සමග අපි නිරන්තර සම්බන්ධතාවයන් තබා ගන්නවා පමණක් නොව සුදුසු සහ අවශ්‍ය සෑම විටකම රැස්වීම් පවත්වා තොරතුරු හුවමාරු කරගන්නවා. එපමණක් නෙවෙයි…. අපගේ ව්‍යාපෘතිය සුළුපටු එකක් නොවන බැවින් මහනුවර නගරයේ සහ ඒ අවට සිදුකෙරෙන සෑම ව්‍යාපෘතියක් සමගම අපි ඒකාබද්ධ වී සිටිනවා. අපගේ ව්‍යාපෘතියේ දල සැලැස්මක් අපි ඒ ඒ ව්‍යාපෘති සඳහා භාර දී තිබෙනවා. මොකද කිසියම් හේතුවකින් කැණීමක් හෝ මාර්ගයේ හෑරීමක් හෝ වෙනත් මොනයම්ම කටයුත්තකදී වුවත් අපේ කටයුතු පිළිබඳව කාට වුවත් හොඳ අවබෝධයක් තිබිය යුතුයි.
නව සැලසුම් සහ නව ව්‍යාපෘති යටතේ වැසිකිළි නළ ඒකාබද්ධව ප්‍රධාන නළ මගින් ගැටඹේ නව අපජල ව්‍යාපෘතිය වෙත ගෙන යන ක්‍රමවේදයක් වෙනත් ව්‍යාපෘතියක් මගින් දැන් සිදු කෙරෙනවා. මෙම ඉතා කාලෝචිත ක්‍රියාමාර්ගයක්. මෙම කටයුතුවලින් පරිබාහිරව කවුරුන්හෝ වැසිකිළි නළ වෙනත් ක්‍රමයකින් උමං මාර්ගයට හෝ වෙනත් ක්‍රමයකට සම්බන්ධ කරන්නේ නම් ඊට එරෙහිව කටයුතු කිරීම නගර සභාවේ වගකීමක්. දැන් මේ මහනුවර ව්‍යාපෘති සියල්ල ජාලයක් සේ ඒකාබද්ධ වී කටයුතු කළ යුතුයි. එකක් හෝ බිඳුණු විට දම්වැලෙහි පුරුක් ගැලවී යන්නා සේ ශක්තිය අවම වන්නා සේම ව්‍යාපෘති අඩපණ වෙනවා .මහනුවර දියුණු කිරීමට නම් මේ සියල්ලෝම එකාවන්ව එක්සිත්ව කටයුතු කළ යුතුයි. සෑම කටයුත්තක්ම සාර්ථක වන්නේත් මහනුවර ආරක්ෂා කරගත හැකි වන්නේත් එවිටයි…”
එය සැබෑවකි. මහනුවර සංවර්ධනය උදෙසා කවුරු කුමන නමකින් හැඩයකින් ඉදිරිපත් වුවද” මේතාක් සිදුව ඇත්තේ තව තවත් නුවර ප්‍රශ්න ඔඩු දිවීම පමණකි. දැන් ඒ සියලූ අවැඩයන්ට තිත තබා නුවර රැකගැනුමට කාලය පැමිණ ඇත. එසේ නොවුණහොත් මහනුවර හෙවත් සෙංකඩගලපුරය සේදී මැද ඇළෙහිම ගසා ගෙන යනු ඇත…
උපුටා ගැනීම – යුක්තියට හඩක් Australia…

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *