අරුන්දතී රෝයි පිරිමියෙකු ලෙස හඳුන්වාදීම නිසා ලංකාවේ එක්තරා දේශපාලඥයෙකු මේ දිනවල හාස්‍යයට ලක් වෙමින් ඇත. කෙසේ වුවුත් වරදවා වටහාගැනිම් හා හාස්‍යජනක සිදුවීම් අරුන්දතීට අලුත් අත්දැකීමක් නොවේ.
”මගේ පළවෙනි පොත පිට වුණාට පස්සෙ පිරිමි ලෝයර්ලා පස්දෙනෙක් මට විරුද්ධව නඩු දැම්මා. ඒ මම පොදු ජන සාරධර්ම විනාශ කරන බව කියමින්.”
එහෙත් ඇය ‘සුලු දෙය ඇසුරු කළ දෙවියා’ සඳහා බුකර් ත්‍යාගය දිනාගනිද්දී ඉන්දියාවට ඇයව බැහැර කළ නොහැකි විය. ඇගේ පොත පිළිනොගන්නා නමුත් බුකර් ත්‍යාගයේ කීර්තිය පිළිගන්නට බොහෝ දෙනෙකුට ඇවැසි විය.
” මාව උසාවියෙදි හැඳින්වුණේ ‘මේ ගෑනි’ කියල. මගේ පොත ඒ මේ අතට විසි කරන ගමන් සමහර විනිසුරුවරු කිව්වේ ”මෙයා සිහිමොලේ ඇති මනුස්සයෙක් නෙවෙයි කියල”. ඇය මෙවන් උසාවි හැසිරීම් පිළිබඳ මතකය අවදි කරන්නේ උපහාසයෙනි. “ඒගොල්ල හිතන් ඉන්නෙ ‘සිහිමොලේ ඇති’’ කියන්නෙ නීතියට අදාළ සංකල්පයක් කියල වෙන්න ඇති.”
ඇය මාවෝවාදී ගරිල්ලන්ට උදව් උපකාර කිරීම ඉන්දියානු ජාතිකවාදීන්ට මෙන්ම දේශපාලකයන්ටද හිසරදයක්ව ඇත. එහෙත් ඇයට එරෙහිව කිසිවක් කරන්නට නොහැකිව ඇත්තේ ඇය දැන් ලෝ ප්‍රකට දේශපාලන ක්‍රියාකාරිනියක නිසාය.
“සටන් කරන්නෙ නැතුව ඒ අය කොහොමද තමන්ගේ අයිතීන් දිනා ගන්නේ?” ඇය ප්‍රශ්න කරයි. “ගාන්ධි වගේ එයාල ආහාර වර්ජන උපවාස කළාට කවුරුත් ගණන් ගන්නෙ නෑ. අනික ඒගොල්ල කොහොමත් ඉන්නෙ බඩගින්නෙ තමා.’’
වරක් ඇය විදෙස් විශ්වවිද්‍යාලයක දේශනයක් පැවැත්වූ අවස්ථාවක නැගී සිටින ඉන්දියානු සම්භවයක් සහිත තරුණයෙකු කියා සිටියේ ඇය සහය දෙන ඊනියා දුප්පතුන්ගේ අරගල නිසා ඉන්දියාව දියුණුවට කරා යන ගමනට බාධාවක් වන බවය. එවිට ඇය “ ඊනියා දුප්පතුන්’’ යන්න උපහාසයෙන් යුතුව ප්‍රති උච්චාරණය කරයි. අනතුරුව උත්ප්‍රාසයෙන් සිනා සෙන ඇය කියන්නේ “එයාල බොරුවට මවා පානව දුප්පතුන් කියල. ඒ අතරේ මැක්ඩොනල්ඩ් එකෙන් තමා කන්නෙ”. ඇය පවසන්නේ සාහිත්‍ය තුළින් මෙන්ම කථනය තුළින්ද තමන්ට ප්‍රබලව අදහස් දැක්විය හැකි බව පෙන්වමිනි.
අරුන්දතී වරක් මාවෝවාදී ගරිල්ලන් හමුවට යන්නේ ඔවුන්ගෙන් ලැබෙන ආරාධනාවකට අනුවය. ඒ අනුව ඔවුන් හමුවෙන්නට පැමිණෙන විට හඳුනාගැනීමේ සංකේතයක් ලෙස පොල් ගෙඩියක් රැගෙන, මොට්ටුවක් තබාගෙන එන්නැයි අයට දන්වයි. එමෙන්ම හමුවන්නට පැමිණෙන්නා කෙසෙල් සහ හින්දි අවුට්ලුක් සඟරාවක් ගෙන එනු ඇති බව ඇයට දැනුම් දෙයි. එහෙත් ඇය හමුවන්නට පැමිණෙන ගරිල්ලා තරුණයා, අවුට්ලුක් සඟරාවක් සොයාගත නොහැකි වූ බවත්, බඩගිනි වූ බැවින් කෙසෙල් අනුභව කළ බවත් කියූ බව ඇය පවසන්නේ සිය ප්‍රේක්ෂකයන් සිනාවේ ගිල්වමිනි. මාවෝවාදීන්ගේ සටන් කඳවුරුවලට යන ඇය ඔවුන්ගේ අරගලයේ සහ ජීවිතවල තොරතුරු නොබියව සිය ලියවිලිවලට ඇතුළත් කරයි. ‘කොමරේඩ් සමග ඇවිද යාම’ ඈ එලෙස ලියූ දේශපාලනික කෘතියකි.
ඇය අරගල කරන්නේ, ඉන්දියාව තුළ දියත් වන ඇතැම් සංවර්ධන ව්‍යාපෘති තුළින් ග්‍රාමීය හා ආදිවාසී ජනතාවගේ අයිතීන් උල්ලංඝනය වන බවත් ඒවා බොහොමයක් බහුජාතික හා ධනවත් සමාගම්වල අවශ්‍යතා පදනම් කරගනිමින් සිදු වන බවත් පවසමිනි. ඇය සැමවිටම සිටගන්නේ දුප්පත් අවරවරප්‍රසාදිත අයගේ පැත්තේය.
කාශ්මීරයේ සිදුවන මිලිටරිකරණයන්ට විරුද්ධව ඇය ප්‍රබල හඬක් නගා ඇත.
වරක් සාමාන්‍ය ජනතාවගෙන් හමුදා වාහනවලට එල්ලවන ගල් ප්‍රහාරවලට විරෝධයක් ලෙස මානව පළිහක් වශයෙන් කාශ්මීර වැසියෙකු හමුදා ජිප් රථයක ඉදිරිපස බැඳගෙන යෑමේ සිදුවීමක් මාධ්‍ය ඔස්සේ වාර්තා විය. මේ සම්බන්ධව ඉන්දීය හමුදාව මානව හිමිකම් ක්‍රියාධරයන්ගේ දැඩි විවේචනයට ලක් විය. මේ සිදුවීමට අදාළව අදහස් දැක්වූ ඉන්දීය ලෝක් සභා මන්ත්‍රීවරයෙකු ප්‍රකාශ කළේ එලෙස හමුදා වාහනයක බැඳගෙන යාමට සුදුසු කෙනා අරුන්දතී රෝයි බවය. ඇය මෙවන් සිදුවීම් ගැන සිය දේශනවලදී සිහිපත් කරන්නේ උපහාසය කුළු ගන්වමිනි.
වරක් ඇය විසින් පැවැත්වූ විදෙස් දේශනයක් අවසානයේ ඇයට කොල කැබැල්ලක ලියූ පැනයක් ලැබෙයි. “ලේඛකයෙකු වෙන්න කැමති කෙනෙක්ට දෙන්න පුළුවන් උපදෙස මොකක්ද?” එහි ලියා තිබිණි. “කාගෙන්වත් උපදෙස් ගන්න යන්න එපා” ඇය දුන් පිළිතුර එපමණකි.
…
ජනප්‍රිය ගමගේ