ගෝත්‍රය ඉසුරුබර කරන්නට නෑවිත් අවසන් ගමන් ගිය දෙයියා

විශේෂාංග

එක්සත් රාජධානියේ වෙරළ තීරයට සැතපුම් 9000කටත් වඩා එපිටින්, දකුණු පැසිෆික් සයුරේ, වනුවාටු (Vanuatu) නම් දූපත් සමූහයට අයත් ටනා (Tanna) නම් ඉතා කුඩා දූපතක් පිහිටා තිබේ.
මේ දූපතේ ඇති යඕනානන් (Yaohnanen) නම් කු‌ඩා ගමේ වැසියන්ගේ විශ්වාසය වන්නේ, දෙවැනි එළිසබත් රැජිණියගේ ස්වාමියා වූද, පසුගියදා සදහට දෑස පියාගත්තා වූද එඩිම්බර්ග් හි ආදිපාද තැන්පත් පිලිප් කුමාරයා තමන්ගේ ආත්මීය මුතුන්මිත්තන්ගෙන් පැවත එන දෙවිකෙනකු බව ය.
මේ ගම්වැසියන් පිලිප් කුමාරයාගේ රාමුකරන ලද ඡායාරූප තබාගෙන පසුගිය දශක ගණනාවක් මුළුල්ලේ ඒවාට වැඳ නමස්කාර කරමින් ද, යාඥා කරමින් ද සිට ඇත්තේ ‘ආපසු පැමිණ අපේ භූමිය සුවපත් කරන’ ලෙස ඉල්ලමිනි.

ඌරන් මස්කරන මුගුර සහිත පිලිප් සුදු දෙයියා අතට ගත් ගෝත්‍රික නායක ජැක් මාලියා
මේ ගැමියන් විසින් පිහිටුවාගෙන ඇති ‘පිලිප් කුමරු ව්‍යාපාරය’ (Prince Philip Movement) විශ්වාස කරන්නේ, පිලිප් යනු තමන්ගේ කඳුකර දෙවිකෙනෙකුගේ ‘සුදු සම සහිත පුත්‍රයා’ බව ය. මේ දේව පුත්‍රයා බ්‍රිතාන්‍යයට ගොස් ඇත්තේ බොහෝ බලගතු කාන්තාවක් කරකාර බැඳගැනීමට බවත්, ඔහු යම් දිනෙක සිය ගෝත්‍රය කරා ආපසු පැමිණෙනු ඇති බවත්, මේ ගැමියන්ගේ විශ්වාසය වී තිබිණි.
මේ සුදු දෙයියාට වැඳපුදන නිකාය පිහිටුවා ඇත්තේ 1950 හෝ 60 දශකයේ බවට සැකකැරෙන නමුත්, එය බලවත් වී ඇත්තේ පිලිප් – එලිසබත් රාජකීය යුවල 1974දී වනුවාටු කරා සිදුකළ රාජකාරි සංචාරයකින් පසුව බව කියැවේ.

1974 දී වනවාටුවට සැපත්වූ රාජකීය යුවල

කොරල් පරයක රෝල් වී සුදුවුණු දෙයියා
– – – – – – – – – – – –
ඔවුන්ගේ විශ්වාසයට අනුව පිලිප් යනු බ්‍රිතාන්‍යයෙක් නොව, ඔවුන්ගේ දූපතේ වැසියෙකි. තමන් සතු කළු හම වෙනුවට පිලිප් දෙයියාට සුදු හමක් ලැබී ඇත්තේ, ඔහු කොරල් පරයක් දිගේ රෝල්වී ගොස්, කළු හම ඉරී, සුදු හම මතුවීමෙනි.

1980 දී යඕනානන් ගමට සැපත් වූ චාල්ස් කුමාරයාට හරසර

2018 දී යඕනානන් ගමට සැපත් වූ චාල්ස් කුමාරයාට හරසර

මේ ගෝත්‍රය හා ‘පිලිප් කුමරු ව්‍යාපාරය’ ගැන හොඳින් දන්නා මානව විද්‍යාඥයෙක් වන කර්ක් හෆ්මන් (Kirk Huffman) පවසන්නේ, පිලිප්ගේ අභාවය සැලවූ සැනින් මේ ගෝත්‍රිකයන් සුවිශේෂ නැටුමක්, චාරිත්‍රානුකූල වැලපීමක් හා සාම්ප්‍රදායික බීමක් සමග ඒ වේදනාබර පුවත සමරනු ඇති බව ය.

පිරිමින් විසින් බොනු ඇති ‘කාවා’ නම් වන මේ පානය, මේ ගෝත්‍රිකයන් නරලෝකයේ සිට දිව්‍යලෝකය වෙතට සම්බන්ධ කරන සාම්ප්‍රදායික බීමක් බව හෆ්මන් කියා තිබේ.
‘අමුත්තන් ලබාදෙන මුදල් කිසිවිටෙකත් පිළිනොගන්නා ලෙසත්, බෙදාහදා ගැනීමට හැකි කෑම බීම පමණක් පිළිගන්නා ලෙසත්’ පිලිප් කුමාරයා තමන්ට අවවාද කර ඇති බව හෙළිකරන ටනා දූපතේ ඉමානෝරාන් (Imanourane) ගෝත්‍රයේ නායක ජැක් මාලියා තවදුරටත් පැහැදිළි කරන්නේ “පිලිප් කුමාරයා බ්‍රිතාන්‍යයේ දී මේ තරම් සැලකුම් සත්කාර ලබන්නේ අපේ චාරිත්‍ර වාරිත්‍රවලින් කොටසක් තවමත් එංගලන්තයේ පවතින නිසාවෙන් බව මට මගේ මුතුන් මිත්තන් කියා තිබෙනවා” කියා ය.
‘සුදු දෙයියා අපට සමෘද්ධිය අරන් එනවා’
– – – – – – – – – – – –
1974 සිදුවූ රාජකීය සංචාරයෙන් වසර 6කට පසු, එනම් 1980 දී මේ ඇදහිලිකරුවන් විසින් පිලිප් කුමාරයාට ‘නල්-නල්’ නමින් හැඳින්වෙන ඌරන් මරන මුගුරක් තෑගි භාණ්ඩයක් ලෙස ලන්ඩනයට යවා ඇති අතර, කුමාරයා එය අතැතිව ලබාගත් ඡායාරූපයක් මේ ගෝත්‍රික ඇදහිලිකරුවන් වෙත ආපසු තෑගිකර එවා තිබේ. මේ ඌරන් මරන මුගුර අතදෑරූ පිලිප්ගේ රාමුකර ලද ඡායාරූපය ද ගෝත්‍රිකයන්ගේ මහත් ගරුබුහුමනට පාත්‍ර වන අතර, එය ශුද්ධ වස්තුවක් ලෙස සැලකුම් ලබයි.
රාජකාරි කටයුතුවලින් විශ්‍රාම ගැනීමට 2017 දී පිලිප් විසින් ගන්නා ලද තීරණය ‘නිවර්තන සුළි කුණාටුවක් ඇතිකිරීමට’ හේතු වූ බවත්, ඒ තීරණයත් සමග තමන්ට යළිත් වතාවක් සුදු දෙයියා දැකබලාගන්නට ඇති අවස්ථාව අඩුවී යාම කාලගුණයේ සටහන් වූ බවත් මේ දූපත්වාසීහු විශ්වාස කළහ.

“පිලිප් කුමාරයා අපිව බලන්න ආපහු එනවා කියා පොරොන්දු වුණා.” ගෝත්‍රික නායක ජැක් මාලියා 2017 දී රොයිටර්ස් පුවත් සේවය හා කියා තිබිණි. “අපි තාමත් විශ්වාස කරනවා එයා ආපහු එයි කියලා. එහෙම නාවත් ඉතින්… අපි අතේ පින්තූරෙ තියෙනවානේ!”

“එයා කවද හරි ආවොත් අපේ මිනිස්සුන්ගෙ දුප්පත්කම මුළුමනින් නැතිවෙලා යනවා. තවදුරටත් ලෙඩ රෝග නෑ, ණය තුරුස් නෑ. අපේ කරල පැහිලා අටු කොටු පිරෙනවා.”
‘දෙයියාගේ’ පුතාටත් ‘දෙයියා’ තනතුර?
– – – – – – – – – – – –
බ්‍රිතාන්‍යයට පැමිණ බලගතු ස්ත්‍රී රත්නයක් කරකාර බැඳගත් නමුත්, ඔවුන්ට සමෘද්ධිය රැගෙන පිල්ප් කුමාරයා ආපසු වනුවාටුවට ගියේ නැත. ඒ වනෙුවට ඔහු දැන් අවසන් ගමන් ගොස් තිබේ.
සුදු දෙයියා සමෘද්ධිය රැගෙන නො ආ බැවින්, මේ පින්තූරවල ඉන්නා ගැහැනුන්ගේ, මිනිසුන්ගේ හා දරුවන්ගේ තත්ත්වය අදටත් මෙපරිදිම ය.
එහෙත් පිලිප් දෙයියා වෙනුවට 2018 දී පිලිප් – එලිසබෙත් යුවලගේ ජේෂ්ට පුත්‍රයා, ඔටුන්න හිමි චාල්ස් කුමාරයා එහි ගියේ ය. එහිදී ඔහුට ලැබී ඇත්තේ ඉතාම උණුසුම් පිළිගැනීමකි. ඔහුට ද ඔවුන්ගේ චාරිත්‍රානුකූල බීම වූ ‘කාවා’ පෙවූ බව කියැවේ. චාල්ස් ‘කාවා’ බිවූ පොල්කට්ට එක් ගැමියෙක් සුරැකිව තබාගෙන ඇති අතර, එය තැන්පත් කර තමන් දේවාලයක් සාදන බව ගැමියා කීවේය යි මානව විද්‍යාඥ හෆ්මන් පවසා තිබේ.
මේ ගෝත්‍රිකයන් පිලිප්ගේ මරනින් පසු හිස්වන සුදු දේව තනතුරට චාල්ස් පත්කරගැනීමට බොහෝදුරට ඉඩ ඇතැයි හෆ්මන් පවසයි.
ඒ අනුව ඔවුන්ට තවදුරටත් අඛණ්ඩව වන්දනාමාන කිරීමටත්, සමෘද්ධිය රැගෙන වඩින තුරු බලාසිටීමටත් ජීවමාන සුදු දෙවියෙක් ආයෙමත් ලැබෙන්නට හොඳටම ඉඩ තිබේ.
මා හිතමිත්‍ර සමන් අතාවුදහෙට්ටි Saman Athaudahetti සොයුරා ලංකාවේ පුරුෂ පක්ෂය වෙනුවෙන් පසුගිය දා පිලිප් කුමාරයාට ගුඩ්බායි කිව්වේ ය.
ඉදින් මම, වනවටුවේ ගෝත්‍රිකයන් වෙනුවෙන් පිලිප් කුමාර-දෙයියාට ගුඩ්බායි ද, චාල්ස් කුමාර-වෙන්ඩ දෙයියාට වෙල්කම් ද කියමි…!
– The Mirror, The Independent ඇසුරිනි.
සනත් බාලසූරියගේ මුහුණු පොත් සටහනින් ගත් උපුටනයකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *