මිතුරනි, මේ ලියන්නේ කිසිදු වෛරයකින් නොවේ. කෝපයකින් හෝ පිළිකුලකින් ද නොවේ. එහෙත් ලෝකයේ දියුණු යයි සම්මත රටවල පුරවැසිභාවය පතා ගොස් නිවාඩුවකට සැනටෝරියමකට එන්නාක් මෙන් විවේකය සහ විනෝදය පතා එන්නට රටක් ඇවැසිය යන අදහසින් අපට ද උපදෙස් දෙමින් රාජපක්ෂවරුන්ගෙන් ස්වර්ගයක් ලබන්නට ඡුන්ද කැම්පේන් කළ නුඹලාට මේ ටික නොලියා සිටින්නට නොදී හෘද සාක්ෂිය වද දෙන හෙයිනි.
මිතුරනි නුඹලා බෝහෝ දෙනෙක් සිටින්නේ ලොව දියුණු යයි සම්මත රටවල ය. කිසිවෙක් හෝ කෙතරම් සංවර්ධිතයයි කීව ද, ධනයෙන් ඉහලයයි යයි කීවද නිකමට හෝ චීනයේ වාසයට කල්පනා කරන්නේ නැත. එසේම ඇමරිකාව කැනඩාව එක්සත් රාජධනිය ආදී දියුණු රටවල සිටිනා කිසිවකු අධ්‍යාපනය ලබන්නට චීනයට දරුවන් යවන්නේ ද නැත.
නුඹලා සිටින්නේ ජාතිවාදය, ආගමික අන්තවාදය ආදී අගතීන් නීතියෙන් තහනම් කරන ලද රටවල ය. එසේම තමන්ගේ ජාතිය හමේ පැහැය ආදී කිසිවකින් තමන්ට වෙනස් සැලකිලි නොලැබෙන බවත් පොහොසත්කම හේතුවෙන් තමන් කොන් නොවෙන බවත් රැුකියාවේ උස් පහත් බවක් නොමැති බවත් නුඹලා අපට ඔජ වඩමින් පවසති. ජාතිවාදය වැනි අගතීන් මතුවුවද නීතිය වහා බල පවත්වන බව කියති.
එහෙත් නුඹලා ලංකාවෙහි සිංහල බෞද්ධ රාජ්‍යය වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටිති. මුසල්මානුවා, දමිලයා දෙවන පෙල පුරවැසියෙකු කරන්නට තර්ක ගොඩ නගති. ගෝඨා රාජ්‍යය තැනීමට නුඹලාට බොහෝ සේ ඉවහල් වූ කරුණක් වූවේද ඒ අවශ්‍යතාවයි. අනෙක් අතින් බහුතර මතයට ඉඩ දෙන, ප්රජාතන්ත්රවාදය ඇතැයි නුඹලාම පවසන රටවල සිටිනා නුඹලා කිසිදු හිරිකිතයතින් තොරව විනයක් ඇවැසි යයි කියමින් හමුදා පාලනයක් වෙනුවෙන් සහය පල කළෝය. කොටුවකින් තලන නායකයකු ඇවැසි යයි මුරගෑවෝය.
ඉදින් දැන් නුඹලා පැතූ ස්වර්ග රාජ්‍යය නුඹලාට ලැබී ඇතිදැයි නුඹලාම කල්පනා කර බැලිය යුතුය. අපි නම් අමු නරකාදියක පැහෙමින් සිටින්නෙමු. වැඩ කිරීමට ඇති කාලය ගෙවෙනුයේ පෝලිම් වලටය. තාක්ෂණ දිළිඳුකම, විදුලිය බිඳ වැටීම් දරාගත නොහැකි ජීවන වියදම, උද්ධමනය, අපරාධ අතින් අපි ඉස්මුරුත්තාවට එන තරමට සංවර්ධිතය. මේ ලියන මොහොතේත් බාල වයස්කාර දැරියක ගේ මරණය අප සසල කර තිබේ.
නුඹලාගේ දරුවන්ට මෙන් නොව අපේ දරුවන්ට අධ්‍යාපනය නිකිණි මෙන්ය. උන්ට විදෙස්ගත අධ්‍යාපනය ලැබීමට ඇති ඉඩද ඇත්තේ ඇහිරෙමිනි. ඩොලර් සීයක් පිටරටට යවා ගන්නට අවරස නැති රටක උන්ට විදෙස් විභාගයකට පෙනී සිටින්නට ද අවකාශයක් නැත. විදෙස් පාඨමාලාවන්ට උන් යවනා අයදුම් පත් පිළිකෙවු කෙරෙනුයේ තොපේ රටෙන් එන උන්ට වියදම් කරන්නට හැකියාවක් නැත යන තර්කයෙනි.
නුඹලා මහ ඉහලින් වර්ණනා කළ නීතියේ ආධිපත්‍යය මෙහි මරුය. එක රටක් එක නීතියක් යයි කියමින් මොර දුන් කහ කුරුල්ලා ආ ගිය අතක් නැත. නීතිය බලය ඉදිරියේ නැවෙන ආකාරය මේ දිනවල මොහොතින් මොහොත පෙනෙයි. චූදිතයා ඇමතියෙක් නම් ඔහුට වෙසෙස් සැලකිලිය. සාමාන්‍ය පුරවැසියෙක් නම් ඔහු කූඩුවේය. මේ නුඹලා ගේ මහරු අපේක්ෂාවේ ¥තයා අපට ඉතිරි කළ දේවල්ය.
වියලි දණ්ඩක් බිම ඇන්නද මුල් අදිනවා යයි කී රටක සාගතය දොරකඩටම ඇවිත් තිබේ. අපි දැන් හිඟා කන මට්ටමේ පසුවෙමු. නුඹලාගේ මහා වීරයා රටේ ඊනියා වියතුන්ගේද සහය ලැබ දියත් කල කාබනික විප්ලවය අපේ බඩට කෙලවීමෙන් ජය කනුව දැක ඇතුවා පමණක් නොව වීරයාද දැන් තමන්ට වැරදුන බව කියන තැනින් හමාරව තිබේ. වැරදීම මිනිස් ගතියකි. එහෙත් දේව ගතියෙන් සමාව දීමට අපට සිදුව ඇත්තේ කුසගින්නේ මිරිකෙන අපේ දරුවන්ගේ දුක බලමින් මිනීවලක සැතපෙමිනි.
බෙහෙත් නොමැතිකමින් මියෙන්නට නියමිත මිනිසුන්ගේ අපේක්ෂා භංගවූ දෙනෙත් දැකීම ඉසිලිය නොහැකි වේදනාවකි. රැුකියා අහිමිවීමෙන් හිඟමනට වැටෙන්නට නියමිත් මිනිසුන් ගේ දසුන හද පාරවයි. පාසල් සරසවිවල තත්වය ගැන කියන්නට වචන නැත. පොදු ප්‍රවාහනය ඛේදවාචකයකි. පතුල පහත් බස් රථවලින් කොලඹ සරසන්නට සිහිනයක් අපට දුන් නුඹලාගේ විරුවා අපට ඇට මිදුළු හිරිවට්ටන බස් ගාස්තුවක් ඉතිරි කර තිබේ. ඉන්ධන මිල ඇසූ සැණින් කලන්තය දමයි.
ලියනවා නම් මාගලක් තරමට ලියන්නට දේවල් තිබේ. අවම තරමින් නුඹලාට හෘද සාක්ෂියක් ඇත්නම් මේවා දෙස විවෘතව බැලිය යුතුය. නුඹලා විරුවාට බලය ලබා දෙන්නට තර්ක නිමවා ඔය රටවල නොසිට මෙහි ආවා නම් අඩුම තරමින් විරුවා හට මාර්ගෝපදේශ සපයන්නටවත් තිබිණි. එහෙත් නුඹලා විරුවාට ස්වර්ග රාජ්‍යය තැනීමේ කොන්ත්‍රාත්තුව පවරා ඔහේ බලා සිටියා මිස වෙන කළ දෙයක් නැත. මෙහි සිටිනා වියත්තු අපට නුඹලාගේ ආශීර්වාදයෙන් නරකාදිය නිමවා දුන්නෝය.
නුඹලා දියුණු යයි සම්මත රටවල වාසය කළද ඒ රටවල අත්දැකීම්වලින් උගත්තේ අහවල් දෙයක්දැයි අපට සිතා ගන්නට බැරිය. අවම තරමින් ලෝකය විවෘතව දුටුවේ නම් නුඹලා හට කවමදාවත් මෙවන් අත්තනෝමතික පාලනයක් කල්තියා නොදකින්නට හේතුවක් නැත. එහෙත් නුඹලා විදෙස් පුරවැසියන් ලෙස තම සිහින වෙනුවෙන් අපේ ජීවිත කාබාසීනියා කරන්නට දායකත්වය සැපයූවෝය.
හෙට දවසේ අපේ දරුවන්ගේ අනාගතය විනාශවී උන් පාරට බසින විට වැඩිහිටියන් ලෙස අපට ඉතිරිව ඇත්තේ උන්ගේ ලයට එල්ල වෙන යකඩ බටයෙන් උන් රැුක ගැනීමට අපේ ළය ඉදිරියට පෑමටය. තමන්ගේ විනාශවූ අනාගතය ඉල්ලා උන් වීදි වලය. දිනපතාම රැුකියා අහිමි වන තරුණ පිරිස් අතර කෝපය ඉහල යයි. උන් හැම කෙනකුම උත්සාහ කළේ පිං රැුකියා නොව තම මහන්සියෙන් යමක් උපයා ගන්නටය. එහෙත් අහිමි කර ඇත්තේ උන්ට හිමි ඒ ඉඩය.
පසුගිය දිනෙක ආහාර අහේනිය පිලිබඳ කතාව හමුවේ විදෙස්ගත අපේ මිතුරකුගේ මහරු උපදේශයක් මුහුණු පොතේ දුටිමි. ඔහු කියා තිබුණේ චූන් පාන් වෑන් එකට පාන්දර දුවන්නේ නැතුව ගෙදර අයට කොළ කැඳ ටිකක් හදන්නට ගෙදර පතිනිය සිතට ගත යුතු බවකි. අප නොදැන සිටි මහරු උපදේශයට පිං. එහෙත් කිව යුත්තක් තිබේ. නුඹලාගේ විරුවාගේ විචක්ෂණ පිළිිවෙතට පින් සිදුවන්නට හෙට දවසේ කැඳකට දමන්නට අපට හාල් මිටක් නැතිවෙන තරමට වැඬේ දරුණුය. කොල ටික මිරිකා ඉස්ම ටික නුඹලාගේ රටවලට එවන්නට තිබුණා නම් එහේ දී හාල් මිටක් දමා කැඳ හදා ගන්නට තිබිණි.
මිතුරනි නුඹලාගේ බුද්ධි මහිමයෙන් අපට බොහෝ දේ ලබා දී තිබේ. දැන් අපි වේදනාව හොඳින් හඳුනමු. හෙටක් යයි දවසක් නැති බවත් දනිමු. අවම තරමින් නරකාදියේ පැහෙනා අපට අවමන් නොකරල්ලා. නුඹලාගේ ඊනියා උපදෙස් වලින් අපට විහිලූ නොකරල්ලා.
නුඹලා විවේක ගන්නට මෙහි එන දවස් වලට ඇපල් ගෙඩියක්, චීස් බටර් චොකලට් ටිකක් අතමිට මොලවාගෙන විත් ඒ දෙස දෑස් දල්වා බලා සිටිනා දරුවන් පිරිසකට එය මහත් පින් සිතින් පරිත්‍යාග කර අනන්ත සතුටක් ලබන්නට හැකි රටක් නුඹලාගේ විරුවා අපට හිමි කර තිබේ.
නුඹලා මෙහි එන විට අපට වැලලෙන්නට ඇති මිනී පෙට්ටියේ මිලද දරාගත නොහැකි තරමකට ගොස් තිබෙනු ඇත. එහෙයින් දැන් නුඹලාට කළ හැකි මහඟු පිනක් තිබේ. ඒ අපේ අවසන් කටයුතු කිරීම පිණිස අරමුදලක් ගොඩ නැගීමය. එසේ කිරීමෙන් නුඹලාට විරුවෙකු තැනීමේ පිනෙහි ආනිශංස තවත් වර්ධනය කරගත හැකිය. ඒ සඳහා පින්දීමට මෙහි උන්නාන්සේලාද හිඟ නැත.
නුඹලා මෙන් දියුණු නැති මෝඩ රැුලක් නුඹලා ඉන්නා රටවල සිට මෙහි ඇති අත්තනෝමතික පලානයට එරෙහිව හඩනගනයුරු අපි දකිමු. අපට මේ මොහොතේ ඒ මෝඩ රැුලේ හඬ ශක්තියකි. අපට යම් හෝ අපේක්ෂාවක් ඉතිරිව ඇත්තේ මෙරට මෙන්ම විදෙස්හිද එවන් මෝඩයන්ගේ සංඛ්‍යාව වර්ධනය වන තරමට පමණි.
ඉදින් මිතුරනි. නුඹලාට සුබ අනාගතයක්. අපට නම් අප්පොච්චි මෙන්ම බාප්පොච්චිද මහ කෙලියෙන්ම කෙලවා හමාරය. නුඹලාවත් සතුටින් සිටිල්ලා. නුඹලා මෙහි එන දවසට දෙවන ලෝක යුද්ධයේ නාසි කඳවුරු වල සිටි කෘශ මිනිසුන් වන් ජනතාවක් මෙහි සිටියද ඉන් විමතියට පත් නොවල්ලා.
අබ සුනාගතයක්.
චූලානන්ද සමරනායක
(ප්‍රවීන සාහිත්‍යධරයෙකු හා සමාජ ක්‍රියාකාරිකයෙකු වන සමරනායක මහතාගේ ෆේස් බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදී.)