කිං ට කොවිඩ් වැළඳේ

කලා

“මගේ කතා කිරීමේ පළමු කොන්දේසිය නම්, සවන්දීම” ලැරී කිං පැවසූ සුප්‍රකට කියමනක් අප අපේ මාධ්‍ය ජීවිතය පුරාම ගුරු කොට ගත්තක්. ඒ නිසාම විද්‍යුත් මාධ්‍ය වැඩසටහන් මෙහෙයවීමේ දී ඔහු අපගේ අදෘශ්‍යමාන ගුරුවරයෙක් වෙනවා.
අද උදෑසනම දුටු ප්‍රවෘත්තිය වුණේ ලැරී කිං නම් වූ සුප්‍රකට විද්‍යුත් මාධ්‍ය වැඩසටහන් මෙහෙයවන්නා කොවිඩ් 19 ආසාදනය වී ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර Cedars Sinai Medical Center රෝහලේ ප්‍රතිකාර ලබන බව. ( Buddhi Gunasekera පිටුව) එය කිසියම් ආකාරයක සසලවීමක් මා තුල ද ඇති කළා. CNN නාලිකාවේ ඔහු ඉදිරිපත් කළ Larry King Live වැඩසටහන 2010 ඔහු විශ්‍රාම යනවිට වසර 25ක් පුරා වැඩසටහන් 6000ක් නිෂ්පාදනය වී තිබෙනවා. එහි දී ජනාධිපති අපේක්ෂකයින්, ප්‍රභූවරුන්, ජනප්‍රිය තාරකාවන්, ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා සාමාන්‍ය පුද්ගලයින් ඔහුගේ සම්මුඛ සාකච්ඡාවට බඳුන් වුණා.
2010 විශ්‍රාම ගියත් ඔහුට වැඩිකලක් “ගුවන් තරංග” වලින් මිදී ඉන්නට බැරි වූ බවයි CNN ප්‍රවෘත්ති සේවය පවසන්නේ. 2012 දී ඔහු අලුත් වැඩසටහනක් ආරම්භ කරනවා Larry King Now නමින්. එය සතියට තෙවරක් Ora TV නාලිකාවේ ප්‍රචාරය වුණා.
ඔහු ගේ වැඩසටහන් මෙහෙයවීම් වල දක්නට ලැබුණ සුවිශේෂ කාරණය වන්නේ ඒවා සම්මුඛ සාකච්ඡා මෙහෙයවීමේ පිලිගත් මූලධර්මයන්ට එකඟව මෙහෙයවීමයි. තමන් අඩුවෙන් කතාකර ආරාධිතයාට වැඩි අවස්ථාවක් ලබා දීම, කෙටි ඍජු ප්‍රශ්න නැගීම, අඛණ්ඩ ඇස් සබඳතා පවත්වාගැනීම, හොඳ පෙර සූදානම, තමන් දන්නා බව නොපෙන්නීම වැනි මූලික කාරණා මත පිහිටා ඔහු කළ සම්මුඛ සාකච්ඡා අපට ඉගැනුම් උපකරණයක් වුණා. ඔහු කිසි දවසක ආරධිතයා පවසන දෙයට හැඟීම් ප්‍රකාශ නොකර සිටියා. හැඟීම්බර වුණේ නෑ. ඒ නිසාමයි ලොව පුරා ඔහුගේ වැඩසටහන් මෙතරම් ජනප්‍රිය වුණේ. යූ ටියුබයේ ඔහුගේ වැඩසටහන් මිලියන ගණනක් පුද්ගලයින් නරඹා තිබෙනවා.
සිය ජීවිතයේ 87 වන වියේ පසුවන මේ විද්‍යුත් මාධ්‍ය ප්‍රාමාණිකයා මීට පෙර අවස්ථා කිහිපයකදී බරපතල ලෙස අසනීප වුණා. ආකාර දෙකක දියවැඩියා රෝගයෙන් පෙළෙන ඔහු හෘද සැත්කම් දෙකකට භාජනය වුණා. ඒ 1987 දී සහ 2017 දී. පෙණහළු පිළිකාවකට ද භාජනය වූ ලැරී කිං සැත්කමකින් පසු එය ජයගත්තා. එසේම ඇන්ජයිනා රෝගයෙන්ද ඔහු පීඩා වින්ඳා. ඔහුගේ රෝගීතත්වය නිසා ඔහු විසින් හෘද රෝගීන්ට උපකාර කරන Larry King Cardiac Foundation නම් වූ ලාබ නොලබන සංවිධානය ආරම්භකළා.
පසුගිය වසරේ ලැරී කිං සිය ජීවිතයේ ඛේදවාචකය කිහිපයකට ද මුහුණ දුන්නා. ඒ ඔහුගේ වැඩිමහල් දරුවන් දෙදෙනෙකු සති කිහිපයක් තුල මියයෑම. ඔහුගේ පුතෙකු වූ ඇන්ඩි කිං හෘදයාබාධයකින් මිය ගිය අතර ඒ ආසන්නයේම ඔහුගේ දියණිය චායියා කිං පෙනහලු පිළිකාවකින් මිය ගියා.
කෙසේ වෙතත් ඔහු කොවිඩ් 19 රෝගය වැළඳී සතියක කාලයක් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවත් රෝහලේ නීති වලට අනුව ඔහුගේ දරුවන්ට පවා ඔහු බැලීමට නොහැකි බවත් CNN ප්‍රවෘත්ති සේවය පවසනවා.
ඔහු ලොව පුරා කෙතරම් ජනප්‍රිය චරිතයක් ද කියනවා නම් ඔහුගේ ට්විටර් ගිණුමේ පමණක් සිටින අනුව යන්නන් (Followers) ප්‍රමාණය මිලියන 2.4 ක් වෙනවා.
ඔහු පැවසූ දේ අතර මාධ්‍යකරුවන් ට වැදගත් වන අපූරු කියමනක් වන්නේ,
“මම යමක් ඉගෙනගැනීමට යන්නේ නම් එය කරන්නේ අසා සිටීමෙන්” යන්න.
Source : CNN
© කපිල එම්. ගමගේ

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *