මහාචාර්ය ගනනාත් ඔබේසේකර සමග ආචාර්ය හැන් ටෙන් බ්රුම්මෙල්හියුස් කළ සාකච්ඡාවකි.
පරිවර්තනය : ආචාර්ය ඇලෙක්ස් පෙරේරා.
ගනනාත් ඔබේසේකර මහනුවර කඳු මුදුනක ජීවත් වෙයි. ඔහුගේ මෙම නිවහනේ සිට නැගෙනහිර කඳු පන්තිය තෙක් විහිදෙන සර්වදිසා දර්ශනයක් ඔහු සතු වෙයි. මෙම කඳු පන්තිය වූකලී ශ්‍රී ලංකාවේ ඉතිහාසයට හා කථාවලට අනුව වැද්දන් ජීවත් වූවා යැයි සැලකෙන ප්‍රදේශය යි. ඔහුගේ වත්මන් පර්යේෂණයේ යොමුව වී ඇත්තේ ද මෙම වැද්දන් ය.
ඔබේසේකරගේ පර්යේෂණ ව්‍යාපෘති වංශාවලිය 1911 වර්ෂයේ දී චාර්ල්ස් සහ බ්‍රෙන්ඩා සෙලිග්මාන් විසින් රචිත සම්භාව්‍ය කෘතියක් වන වැද්දෝ කෘතිය දක්වා ම දිවෙයි. පැරණි දඩයම් සමාජයක් ලෙස හැඳින්වීමට පිළිගත් මානව විද්‍යාත්මක පාරිභාෂිකය ලෙස වැද්දෝ යන්න මුලින් ම පිළිගැනීමට ලක් විය. එඞ්වඞ් ටයිලර් මානවවිද්‍යාව පිළිබඳ වූ තම කෘතියේ මෙම ජන කණ්ඩායම හැඳින්වූයේ ලැජ්ජාශීලි වනචාරීන් හෝ දඩයමින් ජීවත් වන ප්‍රාථමිකයින් ලෙසිනි.
මෙම අධ්‍යයන ක්ෂේත්‍රයෙහි ලා බ්‍රිතාන්‍යය පාර්ශ්වයෙන් ගත් කල ප්‍රථම ක්ෂේත්‍ර අධ්‍යයනය ලෙස සෙලිග්මාන්වරුන්ගේ උත්සාහය ගිණිය හැකිවෙයි. සී. ජී. සෙලිග්මාන් සහ ඩබ්ලිව්.එච්. ආර්. රිවර්ස් ප්‍රථම විධිමත් මානවවිද්‍යා පර්යේෂකයින් ලෙස සැලකිය හැකි අතර ඔවුන්ගේ මග පෙන්වීම අනුව ගමන් කළේ මානවවිද්‍යාඥයින් වන රැඞ්ක්ලිෆ් බ්‍රවුන් හා බ්‍රිතාන්‍ය සමාජ මානවවිද්‍යාවේ ආදි කර්තෘ ලෙස හැඳින්වෙන මැලිනොවුස්කි යන දෙදෙනා ය.
“සෙලිග්මාන්වරුන්ගේ අධ්‍යයනය තුළ මට ඇති ගැටලුව වන්නේ රටේ නැගෙනහිර දෙසට වන්නට ඇති තැනිතලා භූමිය හෙවත් බින්තැන්න නම් වූ කුඩා ප්‍රදේශයකට වැද්දන් සීමා කිරීම යි. අවාසනාවකට මෙම අධ්‍යයනය දහනව වන ශතවර්ෂයේ ප්‍රාථමිකයින් හා බැඳි පූර්වනියුක්තියක් ලෙස මුල් බැසගත් අතර සෙලිග්මාන්වරුන් තව දුරටත් පිරිසිදු වැද්දන් සෙවීමේ නිරත වුවත් ඇත්ත වශයෙන් ම එවන් කිසිවෙකු ඔවුන්ට හමුවූයේ නැත.
ඔවුන්ගේ කල්පිතයට සන්නිකර්ෂණීය ලෙස හෝ අවසාන වශයෙන් සොයා ගත හැකි වූයේ ආර්ථික හා සමාජයීය වශයෙන් සම්පූර්ණයෙන් ම වාගේ පිරිහුණු තත්වයක සිටි පවුල් හතරක් පමණි. මගේ නිවසේ සඳලුතලයේ සිට කඳු සිරස් දෙස බලන විට පෙනෙන සෙලිග්මාන්වරුන් විසින් පර්යේෂණ සිදු කළ ක්ෂේත්‍රයට උතුරින් වර්ග සැතපුම් දහස් ගණනක ප්‍රමාණයක් පුරා විහිදී ඇති භූමි ප්‍රදේශය වැදි රට හෝ මහා වැදි රට ලෙස වසර තුන්සීයකට වඩා පැරණි සිංහල ලේඛනවල සඳහන් වන බව මම දනිමි. එහෙත් මෙම ප්‍රදේශවල මා කළ සැරිසරීම්වල දීි දැකිය හැකි වූයේ එම ප්‍රදේශවල වැද්දන් ජීවත් නොවන බව යි. එම ප්‍රදේශවල ජීවත් වන ජනයා සිංහල බෞද්ධයින් බව කියති. මෙහිදී මට ඇති වූ ප්‍රශ්නය වූයේ මෙම ප්‍රදේශවල ජීවත් වූ වැදිජනයාට කුමක්වීද යන්නයි.
ඉන්පසුව මගේ ක්ෂේත්‍ර අධ්‍යයන මෙන් ම මගේ මෙනෙහිකිරීම් ද වැඩිදියුණු වන විට මම මා කල්පනා කළේ සෙලිග්මාන්වරුන් විසින් පර්යේෂණ සිදු කළ ක්ෂේත්‍රයට උතුරින් වූ මෙම විශාල ප්‍රදේශයේ වැද්දන් ජීවත් වූයේ නම් ඔවුන් රටේ වෙනත් ප්‍රදේශවල ජීවත් වෙනවා ද යන්න මවිසින් සොයාබැලිය යුතු බව යි. ඒ අනුව දහසය වන ශතවර්ෂයේ ජීවත් වූ බෞද්ධ භික්ෂූන්වහන්සේලා සහ වෙනත් වියත් ලේඛකයින් විසින් රචිත සම්භාව්‍ය ලේඛන හා කාව්‍ය ග්‍රන්ථ ද ගැඹුරින් විමසා බැලුවෙමි. ඉන් සමහර ලේඛනවල සඳහන් වූයේ වැද්දන් දළ වශයෙන් ගත් කල බුදුන්ගේ පා පහස ලද ශ්‍රීපාදස්ථානය අවට ජීවත් වූ බව යි. තවත් සමහර ලේඛනවල සඳහන් වන්නේ දැනට සම්පූර්ණයෙන් ම වාගේ සිංහල බෞද්ධ ප්‍රදේශ ලෙස ගැනෙන ප්‍රදේශවලට ද වැද්දන් සම්බන්ධ බව යි.
තවත් ලේඛනයක සඳහන් වන්නේ වැද්දන් ලංකාවේ ප්‍රධාන නගරය වන කොළඹට සැතපුම් විස්සකට පමණ දකුණින් ජීවත් වූ බව ය. මා සිතන ආකාරයට සංකේතාත්මක ලෙස කෙනෙකු ධනවාදය දඩයම් ක්‍රමයේ ස්වරූපයක් ලෙස නම් කරන්නේ නම් හැර මෙය වර්තමානයේ වැදි ජනාවාසයක් යැයි සිතාගැනීමට පවා අපහසු දෙයක් වෙයි.”
ඔබේසේකර, තමන් විසින් පූජාකර්ම හෝ වත් පිළිවෙත් පිළිබඳ වසර විස්සකට හෝ තිහකට පෙර පරිශීලනය කළ ලේඛන නැවත පරික්ෂාකර බැලී ය. මෙම ලේඛනවලත් වැද්දන් රටේ විවිධ පළාත්වල ජීවත් වූ බවට සාක්ෂි දැකිය හැකි විය. එයින් එක්තරා පසු අස්වනු චාරිත්‍රයක එක් පූජකවරයෙක් (භික්ෂූවක් නොවේ) වැද්දනගේ ගැයුම නම් වූ කෝල්මුර ගායනයක් කරයි. එහි මහනුවර ප්‍රදේශයේ උතුර, දකුණ මෙන් ම නුවර මධ්‍යයේ ද පැවති වැදිජන ගම්මාන අනූවක පමණ ලැයිස්තුවක් සඳහන් වෙයි. මේ පිළිබඳ වැඩිදුර විමසීම් කළ විට පහළොස්වන ශතවර්ෂයේ දී මහනුවර නගරය කටුපුල්ලේ නම් වූ වැදි ගම්මානය ලෙස මුලින් හඳුන්වා තිබූ බව ඔබේසේකරට දැන ගත හැකි වූ අතර එම ගම්මාන ප්‍රධානියා වූයේ කටුපුල්ලේ වැද්දා ය. ඉන් බොහෝ කලකට පසුව මහනුවර ලේඛනවල කටුපුල්ලේ නමින් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ගැන ද සඳහන් ව ඇත.
කඩයිම් පොත්
“මේ අවස්ථාව වන විට අප පැමිණ සිටින චමත්කාරජනක ප්‍රස්තුතය වන්නේ වැද්දන් මහනුවර හා ඒ අවට ප්‍රදේශවලට සීමා නොවූ අතර අඩුම වශයෙන් දැනට වසර තුන්සීයකට පමණ පෙරාතුව රටේ සෑම ප්‍රදේශයක ම ජීවත් වූ බවට පවතින මතය යි. ඔවුන්ගේ සංඛ්‍යාව නියත වශයෙන් පැහැදිලි නැති වුව ද ඔවුන්ගේ භෞතික රූපාකාරය අතිශයින් ම සුවිශේෂී වෙයි. ඒ අනුව මෙම ව්‍යාපෘතිය විමසීමේ දී එහි ඇති ඓතිහාසික මෙන් ම මානව වංශවිද්‍යාත්මක දෘෂ්ටිමය වූ ශක්‍යතාවන් පිළිබඳව ද මම විශේෂයෙන්ම උනන්දු වීමි. මේ සම්බන්ධ වැඩිදුර කරුණු සෙවීම සඳහා පර්යේෂණ සහායකයින් කිහිප දෙනෙකු ම යෙදවීමි. එසේ කරනු ලැබූයේ ශ්‍රී ලංකාවේ ඉතිහාසඥයින් සාමාන්‍යයෙන් අවධානය යොමු නොකරන බෞද්ධ හා ධර්ම ශාස්ත්‍රීය ග්‍රන්ථ විමසීම සඳහා ය. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කිසිවකු විසින් පරිශීලනය නොකළ පුස්කොළ පොත් රාශියක් සහිත අල්මාරියක් පවති. මෙම පිටපත් භික්ෂූන් විසින් ලියන ලද ඒවා නොවන අතර ඒවා බොහෝමයක් සාමාන්‍ය මිනිසුන් විසින් ද එසේම ප්‍රාදේශීය ප්‍රභූ පිරිස්, ලේකම්වරුන් සහ ගැමි නායකයින් විසින් ද ලියන ලද ඒවා ය.
මෙම ලේඛන වැදිජන ආස්ථානය ද ඇතුළත් ව එකල අද්‍යස්තන (සමකාලීන) මහනුවර සමාජ සංවිධානය පිළිබඳ තොරතුරු සපයන අපූර්ව මූලාශ්‍රයක් ලෙස සැලකිය හැකි ය. මෙම බහුවිධ ලේඛන අතර වූ එක් ලේඛන ප්‍රභේදයක් වන්නේ කඩයිම් පොත් නමින් හැඳින්වෙන ලේඛන විශේෂයකි. මෙහිදී ශ්‍රී ලංකාවේ සීමා මායිම් සඳහන් කිරිමේදී ප්‍රාන්ත, ගංගා මගින් ද ප්‍රසිද්ධ මග සලකුණු මගින් හා සමහර අවස්ථාවල දී ගල් කුළු හා ගස් යොදාගෙන ද වෙන් කිරීම සිදු කොට ඇති අතර නිතර ම වාගේ කැටයම් කළ ගල් කුට්ටි සහිත මායිම් සලකුණු ද යොදාගෙන ඇත. මෙවන් කඩයිම් පොතකට දිය හැකි කදිම උදාහරණයක් වන්නේ මාතලේ කඩයිම් පොත යි (මාතලේ යනු මහනුවරට උතුරින් පිහිටි දිස්ත්‍රික්කය යි). මෙම ලේඛනයේ ප්‍රාදේශීය රජ කෙනෙකු වන විජේපාල එක්තරා නායකයෙකු ගෙන්වා මෙසේ අසයි. මෙම මාතලේ නම් වූ විශාල ප්‍රදේශයේ වැදගත් පවුල් කවුරුන්ද? නායකයා විස්තර කරමින් පවසන්නේ අසවල් නම් දරන කුලීනයින් ජීවත් වන බවයි. එසේ ම අසවල් නම් දරන වැදි නායකයින් අසවල් නම් දරන ගම් ආරක්ෂා කරන බවත් ඊට මඳක් දුරකින් අසවල් නම් දරන වැදි නායකයා අසවල් නම් දරන ගම් ආරක්ෂා කරන බවත් ය.
ඉන් පසු ව රජු මෙසේ අසයි. එම භූමි ප්‍රදේශයට එපිටින් ජීවත් වන්නේ කවුද? එවිට අදාළ නායකයා විසින් ආන්තික ප්‍රදේශවල පෙරමුණු රක්ෂා කරනා වැදි නායකයින් පහළොස් දෙනෙකුගේ පමණ නාම ලේඛනයක් ඉදිරිපත් කරයි.මෙම නායකයින් සතුව විවිධාකාර නම් පැවතිණි. සමහර ඒවා සිංහල නම් ය. සමහර අය නිල නාම සහිත කුලීන නම් සහිත වූහ. ඒවායින් පෙන්නුම් කෙරුනේ එම වැදි නායකයින් මහනුවර රජුන්ගෙන් පදවි තානාන්තර ලබා තිබූ බව යි. මෙම විස්තරයේ අසිරිය නංවන කරුණක් වන්නේ මෙම වැදි ප්‍රධානීන් අතර පෙරමුණු රකිනා කාන්තා නායිකාවන් ගැන ද සඳහන් වීම යි.
සෙලිග්මාන්වරුන් හා අනෙකුත් යටත්විජිත යුගයේ ලේඛකයින් සඳහන් කරන වැදි කාන්තාවන් ලජ්ජාශීලී පිරිසකි. ඔවූහූ තම ප්‍රජාව දැකීමට එන අයට මුහුණ දීමට මෙන් ම විදේශිකයින්ට ද මුහුණ දීමට අකමැති අය වෙති. ඊට හාත්පසින් ම වෙනස් වැදි කාන්තා පිරිසක් අපගේ ලේඛනවලින් මතු වී ඇත.”
මෙම ඊනියා ප්‍රාථමික ජනතාවගේ ඓතිහාසික සංකීර්ණතාව තව දුරටත් තේරුම් ගැනීමට මෙම ලේඛන මගින් තහවුරු කෙරෙන කාරණා ඔබේසේකර පෙළඹවී ය. මෙහිදි පැහැදිලි වන කරුණ වන්නේ මෙම ජනතාව රට පුරා ම පැතිරී සිටියා පමණක් නොව විවිධ කණ්ඩායම්වලට අයත් වැද්දන් ද සිටි බව යි.
“මහනුවර කුලීනයින්ට දුන් නම්බුනාම ආකාරයෙන් නාමය මුලට බණ්ඩාර යන කොටස වැද්දන් සඳහා ද යොදා තිබිණි. කෙනෙකු හඳුන්වා තිබුනේ සටන්බිම කාර්යභාරයක තේරුම දෙන කඩුකාර යන නමිනි. තව අයෙකු රාජා (සුළු රජු) ලෙස නම් කෙරුණු අතර ඔවුන්ගෙන් පැවතෙන්නෝ බෞද්ධ රාජාවරුන් සමග අන්තර් වෛවාහික සබඳතාවලින් යුක්ත වූහ. ඒ අනුව මෙම පිරිස් මහනුවර රජු විසින් මහනුවර සිට මාතලේ දක්වා ද ඉන් ඔබ්බට බින්තැන්න (වර්තමාන මහියංගණය) දක්වා ද එපමණක් නොව මා අනුමාන කරන ආකාරයට ත්‍රීකුණාමලය සහ මඩකළපුව දක්වා වූ නැගෙනහිර වෙරළ වරායන් දක්වා ද වූ ආරක්ෂක පෙරමුණුවල කටයුතු සඳහා යොදවා තිබූ බව ද දැක්වීම විස්මයට කරුණක් නොවනු ඇත.
වැද්දන් ඔවුන්ගේ ලිහිල් හා ඉන්දියනු නොවන කුල ක්‍රමය නොමැති ව වුව ද සිංහලයින් මෙන් ම ඇතුළතින් විභේදනය වී සිටි බව අපි තේරුම් ගනිමු. එසේ ම වැද්දන් පිළිබඳ යටත්විජිත මතය අනුව නග්න ව හෝ කොළ හා කොළ අතු ආදිය ඇඳ සිටි වැද්දන්ට වඩා මොවුන්ගෙන් සමහර දෙනා හොඳින් ඇඳ පැලඳ සිටි රජුගේ ආරක්ෂකයෝ වූහ.”
බෞද්ධ ජනතාවක්?
වැද්දන් පිළිබඳ අපගේ මෙම තේරුම් ගැනීිම ස්වාධීන යුරෝපානු මූලාශ්‍ර මගින් ද සනාථ වෙයි. 1602 දී ජේා්රිස් වෑන් ස්පිල්බර්ගන් (Joris van Spilbergen) නම් ඕලන්ද ජාතිකයාගේ සහ තවත් අයගේ සටහන්වල එම ස්ථානය ම හෙවත් බින්තැන්න – අලුත්නුවර ගැන සඳහන් වෙයි. ඉන් කියැවෙන්නේ ප්‍රධාන නගරය නොහොත් පැරණි නගරය හෙවත් මහනුවර යුධ කාලවල තාවකාලික ව අතහැර දමූ අවස්ථාවල දී රජවරු තම පවුල්වල පිරිස් වැද්දන්ගේ ආරක්ෂාව යටතේ අලුත්නුවර ප්‍රදේශයේ රඳවා තිබූ බව යි. ලන්දේසි වාර්තා අනුව මෙම බින්තැන්න අලුත්නුවර ප්‍රදේශය රටේ ඉතා සරුසාර ප්‍රදේශයක් වූ අතර එය තරමක කලබලකාරී නාගරික පරිසරයක් ද විය. ඒ අනුව මෙම ප්‍රදේශය නටඹුන් වීමට හේතු වූ කරුණූ කාරණා තව දුරටත් විමසා බැලිය යුතු වෙයි. මෙම දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ පවතින පොදු ප්‍රාග්විනිශ්චය වන නිරන්තරයෙන් ම ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක් ව පැවති බවට කියැවෙන මතය ද ප්‍රතිශෝධනයකට ලක්විය යුතු වෙයි. ජනතාව පූර්වජන ඇදහිල්ලකට දායක වන ආකාරයට වැද්දෝ ද බෙහෙවින් ම අබෞද්ධ අකාරයෙන් කටයුතු කරති.
“මවිසින් දැනට කරගෙන යනු ලබන ක්ෂේත්‍ර අධ්‍යයන පෙර වැදිරට හා බැඳි විවිධ ප්‍රදේශවල පවතින සිද්ධස්ථාන ආශ්‍රිත ව සිදුවෙයි. එවායින් මා පෙන්වා දෙන්නේ නෑයකුන් පිළිබඳව වැදි සංකල්ප සාධනය මේ වන තෙක් කෙසේ හෝ නොනැසී පවතින ආකාරයත් ඒවාට බෞද්ධ අර්ථයක් හා සුවිශේෂතාවක් දී ඇති ආකාරයත් ය.
අප විසින් දැනට ක්ෂේත්‍ර අධ්‍යයන කරන ප්‍රදේශයේ බෞද්ධයින් අතර පවතින වර්තමාන විශ්වාස හා ඇදහිලි පරික්ෂාකර බලන අතර ම සෙලිග්මාන්වරුන් විසින් සපයා ඇති වැදි නෑයකුන් ඇදහීම් පිළිබඳ පවතින අපූර්ව තොරතුරු ද වැදි සංකල්ප සාධනය පාරගම්‍ය වූ විවිධ සිද්ධස්ථාන ආශ්‍රිත දත්ත ද භාවිත කරමින් කෙනෙකුට පූර්ව විශ්වාස හා ඇදහිලි පිළිබඳ ගැඹුරු සොයා බැලීිමක් කළ හැකි වෙයි.
1815 දී බ්‍රිතාන්‍යයන් විසින් මහනුවර රාජධානිය අත්පත් කර ගත් අතර මහනුවර නායකයෝ බ්‍රිතාන්‍යයයන් සමග (උඩරට ගිවිසුම ලෙස ප්‍රචලිත – පරි) ඊනියා මහනුවර ගිවිසුමට අත්සන් තැබූහ.
එසේ වුව ද 1818 දී බ්‍රිතාන්‍යයන්ට විරුද්ධ ප්‍රථම කැරැල්ල ඇරඹිණි. එම වර්ෂයේදී ම මහනුවර අවසාන රජුගේ නෑයෙකු සිහසුනට උරුමකරුවෙකු ලෙස ඉදිරිපත් වූ අතර ඔහු තම පිරිවර ද සමග දකුණු ශ්‍රී ලංකාවේ පිහිටි (හින්දූන්ගේ ද බෞද්ධයින්ගේ ද වැද්දන්ගේ ද දෙවියෙකු වන) කතරගම මුරුගන් දේවාලය වෙත ගියේ ය. එහි පූජකයා විසින් මෙම රාජ්‍ය උරුමක්කරුට කඩුවක් හා අනෙකුත් මෙවලම් ද ලබා දෙන ලදී. ඉන්පසුව මොහු කුලීන බණ්ඩාර වැද්දෙකු වූ ද මහනුවර රාජධානියේ වැදගත් නායකයෙකු වූ ද කිවුලේගෙදර මොහොට්ටාල මුණ ගැසී ඇත. ඔහු තවත් වැද්දන් දෙසීයක් සමග සය විරෝධයට නායකත්වය සැපයී ය. රාජ්‍ය උරුමක්කරු වැදිරටේ සඟවා තැබුණු අතර වැද්දන් විසින් ආරක්ෂා කරනු ලැබිණි.
මෙම රාජ්‍ය උරුමක්කරු විධිමත් ලෙස රාජ්‍යත්වයට පත්කරන අවස්ථාවේ දී අදාළ පූජාවිධිවලට ද බෞද්ධ මහනුවර නායකයින් සමග වැද්දන් ද සහභාගි වී ඇත. මෙම අවස්ථාව පෝල් ඊ. පීරිස් නම් ඉතිහාසඥයා විසින් උඩරට විරෝධය පිළිබඳව ද විස්තර කරමින් 1950 දී ලියන ලදි. සිංහලේ හා දේශප්‍රේමියෝ’ නම් කෘතියේ හැර අනෙක් සාමාන්‍ය ඉතිහාස ලේඛන විසින් අමතක කර දමා ඇති බව පෙනේ. ඇත්තවශයෙන් ම සිංහලයෝ සහ වැද්දෝ යන දෙගොල්ලෝ ම බ්‍රිතාන්‍යයන්ගේ සහාසික මර්දනයට අතිශයින් ම ගොදුරු වූහ. මා සිතන ආකාරයට මෙම යුගයේ දී ජනගහනය අපකිරණය වීමේ ප්‍රතිඵලය වූයේ වැදිරට විශාල භූමි ප්‍රමාණයක් තේ වගාව සඳහා පරිවර්තනය වීම යි. එම ප්‍රදේශවල ජීවත් වූ වැද්දන්ට කුමක් වීදැයි කාට අනුමාන කළ හැකිද?”
වනචාරී මිනිසා
ඔබේසේකරගේ හිතේ තියෙන ග්‍රන්ථයෙහි ප්‍රථම කොටස වැද්දන් පිලිබඳ යටත්විජිත නියෝජනය හා සම්බන්ධ වෙයි. මෙම තර්කය හවායි සම්බන්ධයෙන් යුරෝපා මිථ්‍යා නිර්මාණය පිළිබඳ ඔහු විසින් ලියන ලද කැප්ටන් කුක් ග්‍රන්ථයෙහි එන තර්කයට යම් සමානත්වයකින් යුතු වෙයි. .
“මේ ආකාරයට වැද්දන් පිලිබඳ යටත්විජිත නියෝජනය සම්බන්ධ ප්‍රථම පියවර ලබාගෙන ඇත්තේ 1681 දී එදා හෙළදිව (නමින් සිංහලයට පරිවර්තනය වී ඇති -පරි ) ග්‍රන්ථය ලියූ කලක් මහනුවර රාජධනියේ සිරගත කොට සිටි බි්‍රතාන්‍ය සිරකරුවෙකු වූ රොබට් නොක්ස්ගෙනි. නොක්ස් සහ ඔහු සමග ඔහුගේ නැවේ සිටි අන් අය ද අල්ලා තවත් යුරෝපීය සිරකරුවන් කිහිප දෙනෙකු ද සමග මහනුවරට ගෙන එන ලදී. නොක්ස් හැර අන් අය මෙහිදි විවාහ වීම, දරුවන් ලැබීම, වෙළඳාම් කිරීම ආදී සියලු දේ කළහ. ස්කොට් ජාතික කැල්වින්වාදියෙකු වූ නොක්ස් මේ කිසිවක් නොකළ අතර එම කටයුතු බොහෝමයකට තම විරෝධතාව ද දැක්වී ය.
වසර විස්සක පමණ කාලයක් ලංකාවේ ගත කළ නොක්ස් ආපසු සිය රටට ගොස් මෙම අපූරු පොත ලිවීය. මෙම ග්‍රන්ථය මුල්කාලීන මානවවංශ ලේඛන අතර දැකිය හැකි අපූර්ව කෘතියකි. අන් සියලු දේ මෙන් ම ඔහු ශ්‍රී ලංකාව ද තම කැල්වින්වාදී ව්‍යක්තියෙන් (CalvinistPersona) යුත් ප්‍රිස්මයේලා දකියි. වැද්දන් පිළිබඳව සඳහන් කරන ප්‍රථම යුරෝපානුවන් අතරින් කෙනෙකු වන නොක්ස් තම පොතෙහි වනචාරී මිනිසා නම් කොටසෙහි කරුණු දක්වන්නේ සොබාදහම හා සංස්කෘතිය අතර ගතානුගතික යුරෝපීය විලක්ෂණය අනුව යමිනි. එහි දී ඔහු පවසන්නේ කැළෑ සහ හීලෑ වශයෙන් සතුන් මෙන් ම කැළෑ සහ හීලෑ මිනිසුන් ද සිටින බව යි. හීලෑ වැද්දන් තරමක් සමාජශීලී අය වූ අතර ඔවූහූ ගොවිතැන් කළහ. නොක්ස්ට හුරු වූයේ එම වැද්දන් ය. ඔහු කැළෑ වැද්දන් දැක නොතිබූ බව පිළිගන්නා අතර ඔහු පවසන්නේ මෙම කැළෑ වැද්දන්, ඔහුට කඳුකරයේ සිට දැකියහැකි වූ එසේ ම මා ද මහනුවර මගේ නිවහනේ සිට දකින ඈත බින්තැන්න ප්‍රදේශයේ ජීවත් වන බව යි. එතෙකුදු වුවත් නොක්ස් මෙම කැළෑ වැද්දන් පිළිබඳ ව විස්තරාත්මක තොරතුරු සපයන්නේ තමන්ට අසන්නට ලැබුණු දේ ඇසුරිනි.”
නොක්ස් සහ ඔහු අනුව ගිය අය මෙම කැළෑ වැද්දන් මධ්‍යකාලීන යුරෝපීය රාමුව වන වනචාරී මිනිසා ගණයට ඇතුළත් කළහ. මෙම ප්‍රතිරූපය පසුව පෘතුගීසි හා ඕලන්ද සටහන් හා ලේඛනවලටද ඇතුළත් විය. වැදි සමාජයේ පැවති බහුවිධතාව හා සංකීර්ණතාව එකල යටත්විජිත ලේඛකයෝ සම්පූර්යෙන් ම නොසලකා හැරියහ. සෙලිග්මාන් පැමිණෙන විට වැද්දෝ බෙහෙවින් ම අන් ජනවර්ග හා මුසුවීමට මෙන් ම අපකිරණයට ද භාජනය වී සිටියහ. යුරෝපීයන්ට ප්‍රාථමික ජනයා කෙරෙහි දැඩි ආසක්තභාවයක් ඇති වී තිබිණි. මෙම සංකල්පනාවට කදිමට ගැළපෙන්නේ ඔස්ට්‍රේලියානු ඇබොරිජන්වරු ය. ඒ අනුව වැද්දන් ද සලකනු ලැබූයේ ද දකුණු ඉන්දියාවේ කඳුකර ගෝත්‍රිකයින් හා සබැඳි වරෙක ඔස්ට්‍රේලියානු ඇබොරිජන්වරුන්ටද සබඳකම් සහිතව විශාල වශයෙන් පැතිරී සිටින ප්‍රාථමික ජන විසිරණයේ කොටසක් ලෙස ය.
“ඒ අනුව සිදුවෙමින් පවතින්නේ ප්‍රාථමික ජනයා නැරඹීම සම්බන්ධ වූ යුරෝපිය ග්‍රස්තිය (obsession) අනුව යමින් ඔස්ට්‍රේලියාවේ කාන්තාර ජනාවාසවල ජීවත් වන ඇබොරිජන්වරුන් නැරඹීම අපහසු වුවත් ඔබට ඔවුන්ගේ ඥාති සොයුරු සොයුරියන් වන, වැද්දන් බින්තැන්න අලුත්නුවර රජයේ තානායමේ දී පහසුවෙන් දැක ගත හැකි වීම ය.”
ස්වයං ප්‍රාථමීකරණය
නැව් මගින් පැමිණි යටත් විජිත නිලධාරීන් හා අමුත්තන් යන දෙපිරිස ම වැද්දන් ප්‍රාථමික තත්වයෙන් දිවිගෙවනු දැකීමට පැමිණියහ. ප්‍රදේශයේ සිංහල ගම්ප්‍රධානීහූ මෙම වැද්දන්ට කොළ අතු අන්දවා කුතුහලයෙන් යුතු වූ යුරෝපීයන්ට ප්‍රදර්ශනය කළහ.
“සෙලිග්මාන්වරු මෙවන් ප්‍රදර්ශන වැද්දන් පිළිබඳ දර්ශනීය විස්තරයක් කරති. ක්‍රමයෙන් මෙම ප්‍රදර්ශන වැද්දෝ යුරෝපීයන් ඉදිරියේ මෙන් ම සිංහලයින් ඉදිරියේ ද සමස්ත වැද්දන් පිළිබඳ ප්‍රමුඛ ප්‍රතිරූපය බවට පත් වූහ. ඒ අනුව 1950 ගණන්වලදී මවිසින් ක්ෂේත්‍ර පර්යේෂණ සිදු කළ කාලයේ මහියංගණය බෞද්ධ විහාරය දෙසට ගමන් කරන විට දී වැද්දන් ප්‍රාථමිකයින් ලෙස සැරසී සමහරුන් කෙටේරිය ද උර දරා සිටිනු දිටිමි. සමහර මෙම වැද්දෝ කලකට පෙර ඔවුන් විසින් පතරෙම් තුවක්කුව වෙනුවෙන් අත් හැර දැමූ පෞරාණික දුනු හා ඊතල ද උර දරා සිටියහ.”
මෙහි දී ඔබේසේකර නිරීක්ෂණය කරන්නේ අපූර්ව සංසිද්ධියකි. එය ප්‍රදර්ශන වැද්දන් පිළිබඳ කාරණාවක් ම නොවේ. මෙහි සිදුවන්නේ ස්වයං ප්‍රාථමීකරණයකි. මෙම පිරිස විදේශිකයින්ගේ හා ධනවත් දේශීය සංචාරකයින්ගේ සතුට සඳහා ප්‍රදර්ශනය වීමේ මෙම ස්වයං ප්‍රාථමීකරණය අද දක්වා ම සිදුවෙයි.
නමුත් ස්වයං විරෝධී නරුමවාදයකින් යුතුව ද එසේ ම තමන් මෙම භූමියේ ඇබොරිජින්වරුන් සහ එනිසා ම මෙම භූමියේ මුල් පදිංචිකරුවන් යන යුරෝපීය අදහස පෙරදැරිව වුවද මෙම ස්වයං ප්‍රාථමීකරණය කිසිදු විරෝධයකින් තොර ව සිදුවන්නේ එමගින් ඔවුන්ට ස්වයං ගෞරවයක් හා මුදල් ආදායමක් ලැබෙන නිසා ය.
“වැද්දන්ගේ පැත්තෙන් ගත් කල ඔවුන් මෙසේ කීමට පුළුවන. අපි ආදිවාසීන් හෙවත් පුරාණ පදිංචිකරුවෝ වෙමු.’ එසේම මෙම ඓතිහාසික ප්‍රබන්ධය ඔවුන්ට යම් ගෞරවයක් සහ ස්වයං වටිනාකමක් ගෙන දෙන බව මම පිළිගනිමි. එසේ ම මෙම ආදිවාසී යන නවතම මතිය (notion) ආර්ය වනචාරින් සොයන හා වැද්දන්, (ඓතිහාසික ව කථාකරන එහෙත් කලාතුරකින් සිදුවන) සිංහල – බෞද්ධයන්ගේ ආධිපත්‍යයෙන් හිතුවක්කාර ලෙස මුදවාලීමට උත්සාහ දරන, එමෙන් ම ඔවුන්ගේ අද්‍යතන අවාසනාවන්ත තත්වය (කිසිවෙකු මෙය ප්‍රතික්ෂේප නොකරන්නේ රටේ සමස්ත ජනතාව භයානක අවාසනාවන්ත තත්වයකට මුහුණදී සිටින නිසා ය) මතුකොට දක්වන, යුරෝපීය නිදහස් හා විචිත්‍රාද්භූත (romantic) ප්‍රාථමිකවාදීන් විසින් දරනු ලබයි. නමුත් මෙයින් අදහස් කෙරෙන්නේ මේ අනුව වැද්දන් තර්ජිත ප්‍රජාවක් හා ආදිවාසී ජනතාවක් බවට පත් වී ඇති බව යි. එසේ ම මොවුන්ගේ මෙම අන්තරායකර තත්වය යටත්විජිත නිර්මාණයක් වුවත් ඔවුන් අද මා සිටින තත්වයට වඩා ආදිවාසී විය නොහැකි ය. වැදි නායකයින් ජිනීවාහී පැවති ආදිවාසී හා තර්ජිත ජනතාවගේ ලෝක සමුළුවට සහභාගි වීම අධිවේගී සංචාරකයෙකගේ අමන්දානන්දයට හේතු විය හැකි ය.
කැප්ටන් කුක් ගේ කෝණයෙන් ගත් කල මෙම සමස්ත චිත්‍රය සම්පූර්ණයෙන් ම වාගේ චමත්කාරජනක වෙයි. ඒ අනුව යටත්විජිතවාදී හා පශ්චාත් යටත්විජිතවාදී නිර්වචනයන් වන ‘ප්‍රාථමික’, ‘ඇබොරිජින’, ‘ස්වදේශිය’, ‘ආදිවාසී’ සහ වෙනත් එවැනි භාෂිතයන්, නව පෞරාණික පදිංචිකරුවන් විසින් කළ පැරණි අතීතයක නව සත්‍යයක් ලෙස පිරිපහදු බවට, පුනසූත්‍රකරණයට හා අන්තර්ක්ෂේපණයට (reified, reformulated, and introjected) පත් ව ඇතැයි ඔබ කියනු ඇත.”
Bibliography
– Knox, Robert, An Historical Relation of the Island of Ceylon, Glasgow: James MacLehose and Sons (1911) [1681].
– Pieris, Paul E., Sinhale and the Patriots, New Delhi: Nawrang (1995)[1950]
– Seligmann, C.G. and Brenda Z., The Veddas, Cambridge: University Press (1911).
– Tylor, E. B., Anthropology: An Introduction to the Study of Man and Civilization, London: Macmillan and Co. (1881).
==================================
මහාචාර්ය ගනනාත් ඔබේසේකර
මහාචාර්ය ගනනාත් ඔබේසේකර ප්‍රින්සින්ටන් විශ්වවිද්‍යලයේ මානවවිද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්යවරයෙකි. ඔහුගේ අනෙකුත් කෘතීන් අතර Medusa’s Hair: An Essay on Personal Symbols and Religious Experience (1984), The Cult of the Goddess Pattini (1984), and The Work of Culture: Symbolic Transformation in Psychoanalysis and Anthropology (1990)සුවිශේෂී වෙයි. මෙම කෘති තුන සුවිශේෂී වන්නේ මනෝවිද්‍යාත්මක මෙන් ම සංස්කෘතික යන ක්ෂේත්‍රවලට ඒවායේ අවධානය යෙදී තිබීම නිසා ය. ඹහුගේ The Apotheosis of Captain Cook: European Mythmaking in the Pacific (1992) කෘතිය Marshall Sahlins සමග ප්‍රාථමිකයින් හා සම්බන්ධ චින්තනය පිළිබඳ විවාදාත්මක මතවාදයකට යොමු කිරීමට සමත් විය. මේ සම්බන්ධයෙන් ඔහු මේ වන විට කවදාටත් වඩා සාධනයී තලයක සිටියි. මේ වන විට ඔහු ලියා ඇති Cannibal Talk: Dialogical Misunderstandings in the SouthSeas යන කෘතිය සම්බන්ධ තොරතුරු ඇම්ස්ටර්ඩෑම් හි පැවති සම්මන්ත්‍රණයක දී ඉදිරිපත් කළේ ය. ඔහුගේ සංසන්දනාත්මක අධ්‍යයනයක් වන Karma: Ethical Transformation in Amerindian, Buddhist,and Greek Rebirth කෘතිය මේ වන විට පාඨකයින් අතට පත් ව හමාර ය. මෙම කෘතියෙන් මොහු පෙන්වා දෙන්නේ ඉන්දියානු ආගම් සීමාවෙන් පිටත පුනරුත්පත්ති න්‍යායන් පුළුල් වශයෙන් අපකිරණය වන ආකාරය යි. මෙහිදී ඔහු තව දුරටත් දක්වන්නේ කුඩා පරිමාණ ජන සමාජවල හමුවනිපුනරුත්පත්ති කල්පිතය’ ඉන්දියාවේදී කර්මවාදය ද ඇසුරුකොට වඩා සංකීර්ණ ආකෘති දක්වා වර්ධනය වන ආකාරයත් කර්මවාදය ඇසුරු නොකොට පුරාණ ග්‍රීසියේ එය වර්ධනය වන ආකාරයත් ය. මෙම ලිපියේ දී ඔහුගෙන් විමසනු ලබන්නේ මානවවිද්‍යාවේ ආරම්භය හා බැඳි සිය විවරණයන් ද සහිත ඔහුගේ වර්තමාන ක්ෂේත්‍ර අධ්‍යයනත් ඓතිහාසික පර්යේෂණ හා වනචාරී මිනිසා පිළිබඳ වූ බටහිර මතවාදය හා සමකාලීන ගෝලීය ක්‍රියාවාදයත් යන ක්ෂේත්‍ර සම්බන්ධයෙනි.
ආචාර්ය හැන් ටෙන් බ්රුම්මෙල්හියුස් (Dr Han ten Brummelhuis)
ඇම්ස්ටඩෑම් විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා හා සංස්කෘතික මානවවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කරයි. ඔහුගේ පර්යේෂණ ක්ෂේත්‍රය වන්නේ අග්නිදිග ආසියානු ප්‍රධාන භූමිය: විශේෂයෙන් ම තායිලන්තය හා බුරුමය යි.
© 2020 www.kinihiraya.com