කොරෝනා වයිරස් මිථ්‍යාව හා ඇත්ත

විශේෂාංග
Picture: Sitthixay Ditthavong -THE CANBERRA TIMES, ACM

මහාචාර්ය සංජය සේනානායක

(ඕස්ටේ්‍රලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ආසාදන රෝග විශේෂඥ, සහකාර මහාචාර්ය සංජය සේනානායක සමග කැන්බරා රූපවාහිනියක් විසින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවක සංක්ෂිප්ත පරිවර්තනය)

කොරෝනා වයිරසය කියන්නෙ මොකක් ද?
කොරෝනා වයිරස් කියන්නෙ සාමාන්‍යයෙන් සතුන් තුළ හමු වන වයිරසයක්. එය මානවයන් වෙත පැනලා තියෙනවා. මේ අලුත් කොරෝනා වයිරසය සමග මිනිසුන්ට බලපාන වයිරස් හතක් තිබෙනවා. ඒවායින් හතරක් ප්‍රධානයි.

මේක ආවෙ කොහෙන් ද?
එහි ජාන සංයුතිය අනුව පෙනෙන්නේ එය වවුලන්ගෙන් ඇරඹුණු බවයි. අතරමැදි සතෙකු හරහා මිනිසා වෙත එන්නට ඇති.

රෝග ලක්ෂණ මොනවා ද?
මෙය වැළඳෙන 80%කට තිබෙන්නේ මෘදු ආසාදනයක්. සුලබ රෝග ලක්ෂණ වන්නේ, උණ, කැස්ස, හතිය, මාංශ පේශි වේදනාව සහ උගුරේ වේදනාව. ඇතැමෙකුට පාචනයත් ඇති වෙනවා. සාමාන්‍ය ඉන්ෆ්ලුවන්සාවලින් වෙන් කර හඳුනාගැනීම තරමක් අමාරුයි.

එය පැතිරෙන්නෙ කොහොම ද?
හරියටම දන්නේ නැහැ. වෙනත් කොරෝනා වයිරස් වගේ ම මිනිසුන් කිවිසීමෙන් පිටවන බිංදු පොඩිතිවලින් සහ වයිරසය සහිත අත් ඇල්ලීම වැනි දෙයින්.

එය මතුපිටක කොයි තරම් වේලාවක් තිබෙන්නට පුළුවන් ද?
අපි මේ කොරෝනා වයිරසය ගැන හරි පිළිතුරු දන්නේ නැහැ. ඒත්, සාර්ස් වැනි අනෙකුත් කොරෝනා වයිරස්වල ලක්ෂණ අනුව, අඩු උෂ්ණත්වයන් තුළ, තද මතුපිටවල ඇතැම් විට දින කීපයක් එයට පවතින්නට පුළුවන්.

ප්‍රතිකාර මොනවා ද?
අනුමත කළ කිසිවක් නැහැ. ඒත්, එච්අයිවී, මැලේරියා වැනි වෙනත් ආසාදනවලට භාවිතා වන ඖෂධ චීනයේ එහෙම සාර්ථක ලෙස භාවිතා කර තිබෙනවා. පරීක්ෂණ මට්ටමේ සාර්ථකත්වයක් පෙන්වන ඖෂධ තිබෙනවා.

වැඩිපුර ම අවදානමට ලක්වන්නේ කවුරු ද?
වැඩිපුර ම වයස අවුරුදු 60ට වැඩි අය, ශ්වසන ආබාධ, දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි සෞඛ්‍ය ගැටලු ඇති අය. ගැහැණුන්ට වඩා පිරිමින් ආසාදනයට ගොදුරු වෙනවා. පිරිමින් අතර බෝ නොවන රෝග ව්‍යාප්තිය වැඩි වීම හා ගැහැණුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වඩා ශක්තිමත් වීම එයට හේතු විය හැකියි.

ආසාදනයට ගොදුරු වීම වළක්වා ගත හැක්කේ කෙසේ ද?
විශාල රැස්වීම් මගහරින්න . නිතර අත් සෝදන්න.

අප අතට අත දීම සිපගැනීම එහෙම නැවැත්විය යුතු ද?
එහෙම වෙන්නට පුළුවන්. ඒ පිළිබඳ මා තවම හරියට දන්නෙ නැහැ.

මුහුණු ආවරණවලින් කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වෙන්නට පුළුවන් ද?
රෝහල්වල සහ නිවෙස්වල රෝගීන් බලාගන්නා විට එය ඇත්ත. මිනිසුන් අතරට යන විට එසේ පුළුවන් යයි සිතීම බොරුවක්.

ප්‍රතිජීවකවලින් මෙයට ප්‍රතිකාර කරන්නට පුළුවන් ද?
බැහැ. ඒවා තිබෙන්නේ බැක්ටීරියාවලට මිස වයිරසවලට නෙමෙයි.

ලියුම්, පාර්සල් ආදියෙන් ආසාදනය ව්‍යාප්ත වෙන්නට පුළුවන් ද?
නැහැ.

සුරතල් සතුන්ගෙන් මෙය ආසාදනය වන්නට පුළුවන් ද?
නැහැ. ඒත්, මෙයත් කිව යුතුයි. හොංකොංහි කොරෝනා වයිරස් ආසාදිත පුද්ගලයකුගේ නිවසේ බල්ලාටත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හෙළි වුණා. එය කෙසේ සිදු වුණා ද යන්න තවම දන්නේ නැහැ.

උණුසුම නිසා කොරෝනා වයිරසය විනාශ වෙනවා ද?
ඇත්ත. වෙනත් කොරෝනා වයිරස වගේ ම තමයි. සෙල්සියස් අංශක 70ක ඉවුම් උෂ්ණත්වයේදී එය විනාශ වෙනවා.

( මෙම සම්මුඛ සාකච්ඡාව පවත්වා ඇත්තේ 2020 මාර්තු මාසයේ පමණය. එහෙත් කොව්ඞ් 19 මැඩලීම පිළිබඳ ක්‍රියාවලිය නොනවත්වා ලෝක පරිමාණව ඉදිරියට යමින් පවතී. එමෙන්ම ඒ සඳහා සොයා ලන්නා ලද එන්නත් අත්හදා බලන මට්ටමක පවතී. මෙම සම්මුඛ සාකච්ඡාව සැලකිය යුත්තේ මේ කරුනු සියල්ල සිහියේ තබා ගනිමිනි.)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.