‘පාර්ලිමේන්තුවේ අගමැතිතුමාගේ කාර්යාලයේදී අශෝක ප්‍රියන්ත රාජ්‍ය ඇමැතිතුමා නැත්නම් රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරයා මට පහර දෙනවා. ඒකට අගමැතිතුමාගේ කාර්යාලයේ නිලධාරීන්, අශෝක ප්‍රියන්ත රාජ්‍ය ඇමැතිවරයා, ජගත් ප්‍රියංකර මන්ත්‍රීතුමා සාක්ෂියි. මට කිව්වා ඔබ ආණ්ඩුවට විරුද්ධව කතා කරලා කොහොමද අපේ අගමැතිතුමා හමුවෙන්න එන්නේ, මේ අපේ අගමැතිතුමා කියලා. මම කිව්වා මේ රටේ අගමැතිනේ කියලා. එතකොට ඔහු ‘මොකක්ද තමුසේ කියන්නේ‘ කියලා මගේ ඉස්සරහට ගහන්න ආවා. අපිටත් ගහගන්න පුළුවන්. ඒත් විනයක් තිබෙනවා. මට කිව්වා ‘ලිෆ්ට් එක ගාවට පුළුවන් නම් තමුසේ එනවා‘ කියලා. අශෝක ප්‍රියන්ත රාජ්‍ය ඇමැතිතුමා මොහු ඉවත්කළේ නැත්තං ඒ අවස්ථාවේ ඔහු මට ගහනවා. ඒ පහර දීමට හේතුව මම දෙමළ මන්ත්‍රීවරයෙක් වීම. මොකද ඔහු පැහැදිලිව කිව්වා ‘තමුසේ කොහොමද අපේ අගමැතිතුමා හම්බවෙන්න එන්නේ‘ කියලා. මේකද සංහිඳියාව ගැන රටට දෙන පණිවුඩය. මම මේ පාර්ලිමේන්තුවෙන් එළියට යනවිට මට සීරීමක් හරි වුණොත් රෝහිත අබේගුණවර්ධන තමයි වගකියන්න ඕනෑ. මේ පැමිණිල්ල පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවට ගේන්න කියලා මම ඉල්ලා සිටිනවා‘ දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානික්‍යන් රාසමානික්‍යම් පසුගිය මාර්තු 7දා නියෝජ්‍ය කතානායකවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය.
මෙම පහරදීම පිළිබඳ සිදුවීම පාර්ලිමේන්තුව තුළ සිදුවන්නේ මාර්තු 06 වෙනිදාය. රාසමානික්‍යම් මන්ත්‍රීවරයා මේ පිළිබඳව පාර්ලිමේන්තුවට පැමිණිලි කරන්නේ මාර්තු 7 වෙනිදාය. එම දිනයේදීම පාර්ලිමේන්තුව නිවේදනය කරන්නේ පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප් කමිටුවේ) නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන වැඩි ඡන්දයෙන් තේරි පත්වී ඇති බවය.
කෝප් කමිටුව
නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය වෙනුවෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සභාපති ධුරය සඳහා රෝහිත අබේගුණවර්ධන සහ ගාමිණී වලේබොඩ යන මන්ත්‍රීවරුන් දෙදෙනාගේ නම් යෝජනාවී තිබී ඇත. මෙහිදී රෝහිත අබේගුණවර්ධනගේ නම මහින්දානන්ද අලුත්ගමගේ විසින්ද ගාමිණි වලේබොඩගේ නම හේෂා විතානගේ විසින් ද යෝජනා කර ඇත. එම යෝජනාවන් ස්ථිර කර ඇත්තේ පිළිවෙලින් පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා විසින් ය.
මෙම පත්වීම සිදුවන අවස්ථාවේ එම කමිටුව නියෝජනය කරමින් අදාළ ස්ථානයේ සිට ඇත්තේ ජානක වක්කුඹුර, ලොහාන් රත්වත්තේ, ඉන්දික අනුරුද්ධ හේරත්, අනුර දිසානායක, රවුෆ් හකීම්, ඩිලාන් පෙරේරා, මහින්දානන්ද අලුත්ගමගේ, ඉරාන් වික්‍රමරත්න, නලින් බණ්ඩාර ජයමහ, හේෂා විතානගේ, සංජීව එදිරිමාන්න, ජගත් කුමාර සුමිත්‍රාආරච්චි, මේජර් සුදර්ශන දෙනිපිටිය, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, එම්. රාමේෂ්වරන්, ගාමිණී වලේබොඩ, රාජිකා වික්‍රමසිංහ, මධුර විතානගේ, මහාචාර්ය රංජිත් බණ්ඩාර, මහාචාර්ය චරිත හේරත් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ය.
මෙසේ පත්වූ කෝප් සභාපතිවරයාට විරුද්ධව සමාජයෙන් දැඩි විරෝධයක් එල්ලවන්නට වූ අතර එම විරෝධයේ ප්‍රතිඵලයක් ලෙස එම කමිටුව නියෝජනය සඳහා කතානායකවරයා විසින් පත්කළ මන්ත්‍රීවරුන් කමිටුවෙන් ඉල්ලා අස්වෙන්නට පටන්ගත්තේ ය. මෙම ලිපිය ලියන මාර්තු 20 දා රාත්‍රිය වනවිට කමිටු සාමාජිකයන් 09 දෙනෙක් සිය සමාජිකත්වයෙන් ඉල්ලා අස්වන්නට කටයුතු කර ඇති බවට වාර්තා වෙයි. ඒ අනුව කෝප් කමිටුව විශාල අවුලකට ගොස් ඇත.
මෙසේ, අවසානයේ කෝප් කමිටුව තනි රත්තං වූවේ ඇයි? එයට හේතුව ‘රත්තරං‘ නම් සුරතල් නාමයෙන් හඳුන්වන (ඔහුම කියන ආකාරයට) කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අයථා උපයාගැනීම් පිළිබඳව කුප්‍රකට චෝදනා ලද පුද්ගලයෙකු වීමය. ‘නයා ගහපු රෝහිත’ ලෙස මේ කියන මන්ත්‍රීවරයා ප්‍රකට වුණේ අයථා උපයාගැනීම් ගැන ප්‍රශ්න කරන්නට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට එන්නට යැයි කියූ විට, තමන්ට නයෙක් දෂ්ට කළ බව කියමින් එම අවස්ථාවට සහභාගී නොවී මඟහැරීමට මෙම පුද්ගලයා කටයුතු කළ නිසා ය.
පාපැදියෙන් ආ රෝහිත
හිටපු අමාත්‍යවරයෙකු වන එදිරිවීර ප්‍රේමරත්නගේ දියණියක වන අචිනි එදිරිවීර 2016 මැයි 24 දින කලම්බෝ ටෙලිග්‍රාප් වෙබ් අඩවිය වෙත How Did My Father’s Driver” ‘Raththaran’ Stack Up Billions In 10 Years? යන සිරසින් යුතුව ලිපියක් ලියමින් ප්‍රශ්න කරන්නේ, පාපැදියෙන් තමන්ගේ පියා හමුවෙන්නට පැමිණි පුද්ගලයා අවුරුදු 10ක් වැනි කෙටි කාලයක් තුළ විශාල ධනයක් ගොඩගසා ගත්තේ කෙසේද කියා ය.
තම පියාගේ රියැදුරු ලෙස සේවය කරන්නට පැමිණි රෝහිත අබේගුණවර්ධන, පියාගේ හිත දිනාගනිමින් දේශපාලනයට පැමිණි ආකාරය මෙන්ම ඒ හරහා තම පියාගෙන් බේරුවල ආසනයේ සංවිධායක ධුරය ලබාගැනීම දක්වා කතාව, එහිදී ඇය සිහිකරන්නීය. ඇය එවක මෙම කතාව ලියන්නේ ඇයි? එයට ප්‍රධාන හේතුව පැවති යහපාලන කාලයේ රෝහිත අබේගුණවර්ධනට විරුද්ධව අයථා උපයාගැනීම් පිළිබඳව චෝදනා එල්ලවීමය. ඒ පිළිබඳව විමර්ශනයන් සිදුවීමය.
යහපාලනය පැමිණීමත් සමග රෝහිත අබේගුණවර්ධනගේ නීති විරෝධී උපයාගැනීම් පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව සිය විමර්ශනයන් ආරම්භ කළ අතර එම විමර්ශන පාදක කරගනිමින් අධි චෝදනා දෙකක් යටතේ කොළඹ මහාධිකරණයේ නඩු පවරන්නට එම කොමිසම කටයුතු කරනු ලැබීය.
ඒ අනුව 2016 ජනවාරි 27 වැනිදා කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක රෝහිත අබේගුණවර්ධනට විරුද්ධව සිතාසි නිකුත් කර ඇත. ඒ 2016 මැයි 04 දා මෙම නඩුවට අධිකරණයේ පෙනී සිටින්න යැයි දන්වමින් ය.
2004 මාර්තු මස 31 සහ 2006 මැයි මස 31 අතර කාලයේ දී තමන්ට ලැබෙන පෙන්විය හැකි ආදායමෙන් අත්පත්කරගත නොහැකි මුදල් ප්‍රමාණයක් අතපත් කරගැනීම සහ දේපළවල හිමිකාරිත්වය දැරීම ඇතුළු අධිචෝදනා දෙකක් යටතේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සිය පනතේ 23 අ(1) වගන්තිය භාවිත කරමින්, මෙම පුද්ගලයාට විරුද්ධව මෙසේ නඩු පවරන්නට කටයුතු කරන්නේ ඇයි?
චෝදනාවේ තරම
පයාගල පහළගොඩ ලිබර්ටි මාවතේ පදිංචි පහළගේ රෝහිත පියතිස්ස අබේගුණවර්ධන නොහොත් රෝහිත අබේගුණවර්ධන හිටපු අමාත්‍යවරයාට එරෙහිව අල්ලස් කොමිසමෙන් පැවරූ නඩුව විභාග වෙමින් යන අතරතුර එම කොමිසමම නඩුව ඉවත් කරගන්නට කටයුතු කළේය. එය සිදුවූවේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයට පත්වූ පසුව ය. ඔහුගේ අනුහසින් ය.
මෙසේ පසුව ආ දේශපාලන බලපෑම නිසා මෙම නඩුව ඉවත්කරගන්නට එම කොමිසම කටයුතු කළත් යහපාලන කාලයේ මෙම නඩුව ගොනුකරමින් අල්ලස් කොමිසම කීවේ මෙවැනි කතාවක් ය. එහි අඩංගු සාරාංශය ප්‍රශ්නය වන්නේ 2004-2006 අතර කාලයේ අවුරුදු දෙකක් ඇතුළත මෙම පුද්ගලයා රුපියල් ලක්ෂ 415ක මුදලක් සොයාගත්තේ කෙසේද? සහ ඊට අදාළ දේපළවල හිමිකාරිත්වය දරන්නේ කෙසේද? යන්නයි. ඔහුට එම මුදල් සහ දේපල ගොඩගසා ගත් ආකාරය පෙන්විය හැකිද? අධිකරණය ඉදිරියේ ප්‍රශ්න කිරීමට ලක්වූවේ එයයි.
රෝහිත අබේගුණවර්ධන ඉහත සඳහන් අවුරුදු දෙක ඇතුළත රත්මලාන සිරිමල් උයනෙන් රුපියල් ලක්ෂ 40කට නිවසක් මිලට ගැනීම, එම නිවසට අදාළ ඔප්පුව ලිවීම සඳහා රුපියල් එක්ලක්ෂ පනස් නවදාහක මුද්දර ගාස්තු වැය කිරීම, ණ්‍ය 2428 දරන ජීප් රථය තීරුබදු රහිතව ආනයනය කිරීමට රුපියල් තිස්පන්ලක්ෂ හැත්තෑ හතරදහස් නවසියයක මුදලක් වැය කිරීම, එම වාහනයේ ගාස්තු ලෙස ටොයොටා සමාගමට රුපියල් දෙලක්ෂ තිස්අටදහස් හත්සිය හතලිස් හතක මුදලක් ගෙවීම, තීරුබදු හා වෙනත් බදු වශයෙන් රේගුවට රුපියල් හතලිස් ලක්ෂ අටදහස් හතලිස් හයක මුදලක් වැය කිරීම, යන කරුණු ප්‍රශ්නකාරී බව සහ ඒ සඳහා මුදල් සොයාගත් ආකාරය පෙන්වීමට විත්තිකරු අසමත් බව අල්ලස් කොමිසම එවකදී අධිකරණය ඉදිරියේ මෙම නඩුව ගොනුකරමින් ප්‍රකාශ කර තිබුණි.
එම නඩුගොනුව තුළ තවදුරටත් සටහන් වන්නේ විත්තිකරු විසින් උපයාගත් මුදල් අතර ්‍යඡ 2801 හා ්‍යූ 9481 දරන බස් රථවලට අදාළ රක්ෂණ හා ආදායම් සහතික ලබා ගැනීම සඳහා රුපියල් එක්ලක්ෂ තුන්දාහක මුදලක් වැය කර ඇති බවය. මෙම බස් රථවලට කල් බදු වාරික ලෙස රුපියල් දොලොස් ලක්ෂ තිස්එක්දහස් අනූ තුනක් වැයකර ඇති බවය.
මීට අමතරව සුජීව බෝයගොඩ නැමති පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ 25ක මුදලක් ලබාදීම, දික්කසාදය වෙනුවෙන් මේනකා නිලන්ති ද සිල්වාට රුපියල් ලක්ෂ 10ක දික්කසාද දිමනාවක් ලබා දීම, බැංකු අයිරාවක් පියවීම සඳහා රුපියල් එක්ලක්ෂ දෙදාස් හත්සිය අනූහයක් වැය කිරීම, එම ණයට ගත් මුදලට අදාළව පොලිය හා වාරික මුදල් ලෙස රුපියල් එක්ලක්ෂ හැත්තෑතුන්දහස් අටසිය හැත්තෑ අටක් ගෙවීම වැනි තොරතුරු එම නඩුගොනුවේ අන්තර්ගත කරන්නට අල්ලස් කොමිසම එවකදී කටයුතු කළ බව අපට මතකය.
ස්ථීර තැන්පතු ලෙස හා වෙනත් තැන්පතු ලෙස නොයෙක් බැංකුවල රුපියල් එක්කෝටි විසිඑක්ලක්ෂ තිස්තුන්දහසකට අධික මුදලක් තැන්පත් කරන්නට විත්තිකරු සමත්ව ඇතැයි ප්‍රකාශ කරන අල්ලස් කොමිසම මුල්‍ය සමාගමක රුපියල් ලක්ෂ 45ක ස්ථිර තැන්පතු මුදලක් දැමීම, ණය මුදල් පියවීම සඳහා රුපියල් ලක්ෂ 05කට අධික මුදලක් වැය කිරීම, පිංවත්තේ නිවස අලුත්වැඩියාව සඳහා රුපියල් ලක්ෂ හයකට අධික මුදලක් වැය කිරීම, රත්මලාන සිරිමල් උයන නිවසට විදුලිය ගැනීම සඳහා රුපියල් ලක්ෂ දෙකහමාරකට ආසන්න මුදල් ප්‍රමාණයක් වැය කිරීම වැනි තොරතුරු විශාල ප්‍රමාණයක් අන්තර්ගත කරන්නට ද මෙහිදී අල්ලස් කොමිසම කටයුතු කරනු ලැබීය.
ඒ අනුව ශක්තිමත් පදනමක් මත නමුත් සෙමෙන් නඩුව විභාග වෙමින් තිබුණි. ඒ අතර කාලයේදී පැවති යහපාලන ආණ්ඩුව වෙනස් වී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්විය. එසේ ජනපති වූ පසුව ඔහුගේ ප්‍රථම රාජකාරිය වූවේ රාජපක්ෂවරුන්ට සහ එම පවුලට සමීප පුද්ගලයන්ට විරුද්ධව පැවති නඩු අවසන් කිරීම ය. ඒ අනුව 2021 මාර්තු 19 වෙනිදා කොළඹ මහාධිකරණයේ පැවති නඩු විභාගයේදී විත්තිකරුට එරෙහිව මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන නොයන බවට අල්ලස් කොමිසම කළ දැනුම් දීමක් පිළිගනිමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි විත්තිකරු සියලු චෝදනාවලින් නිදහස් කරන්නට කටයුතු කළේය. ඒ අනුව ජනතාව විසින් පලවාහැරි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පිංසිදුවන්නට එම නඩුවෙන් නිදහස් වන්නට රෝහිත අබේගුණවර්ධනහට රත්තරං අවස්ථාවක් උදාවිය.
මෙසේ අල්ලස් කොමිසම තම චෝදනාවන් රටේ ඉහළම පුද්ගලයාගේ බලපෑමට යටත්වී හකුලා ගන්නට කටයුතු කළත් ඔහු නිර්දෝෂී පුද්ගලයෙකු වන්නේ නැත. සාධාරණ නඩු විභාගයක් අවසානයේ අධිකරණය ලබාදෙන තීන්දුවක් සහ මෙම තීන්දුව අතරේ ආගාධ පරතරයක් ඇත.
දැන් ප්‍රශ්නය වන්නේ මෙවැනි පුද්ගලයෙකුට පාර්ලිමේන්තුවේ උසස්ම කමිටුවක සභාපතිත්වය පිරිනැමීමයි. රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා සේ කටයුතු කරන සමයක මෙවැනි දෙයක් සිදුවීම ලැජ්ජාවට කරුණක් ය. කෝප් කමිටුව යනු වංචාවන් දූෂණයන් සහ අක්‍රමිකතාවන් පිළිබඳව නිරන්තරව ප්‍රශ්න කරන ඒ පිළිබඳව කටයුතු කරන තැනක් ය. එවැනි තැනක ඉහළම තනතුරට මෙවැනි පුද්ගලයෙක් පත් කළ හැකිද? අපේ පාර්ලිමේන්තුව මොනවගේ තැනක් ද යන්නට මෙම පත් කිරීම හොඳම නිදර්ශනයක් ය.
කේ සංජීව
March 29, 2024
Anidda Newspaper