කතා කරන මහවැව

විශේෂාංග

සුමනා විජේරත්න මහත්මිය සමාජ පර්යේෂිකාවකි. බි‍්‍රටිෂ් කොළොම්බියා ප‍්‍රාන්තයේ සරේ නුවර වාසය කරන ඇය සැලසුම් උපදේශිකාවක් ලෙස සේවය කරයි. ලංකාවේ දී නගර සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂක වරියක ලෙස සේවය කර ඇත. මෙහි පහත පළවන්නේ ඇගේ නවතම කෘතීන් දෙකෙන් එකක් වන ‘කතා කරන මහවැව‘ කෘතිය පිළිබඳව ය. ඇයගේ මෑතක දී එළි දුටු අනෙක් කෘතිය ‘බුදුන් දුටු සමාජවාදයයි‘

මෙම පොත නොස්ටැල්ජියාවක් ද ?
මේ පොතේ නොස්ටැල්ජියාවක් නැහැ කියලා මම කියන්නේ නැහැ. හැබැයි මේ පොත නොස්ටැල්ජියාව අතරින් වෙනත් පණිවිඩයක් සන්නිවේදනය කරනවා. ඒ තමයි හැට ගණන්වලවල අග භාගයේදී සහ හැත්තෑව දශකය තුළ ගමේ ජීවිතය සහ එය විපරිණාමයට බඳුන් වුණු ආකාරය. පනස් ගණන්වල සිදුකරන ලද අධ්‍යය්‍යාපන ප‍්‍රතිසංස්කරණ හේතුවෙන් අමුතු ප‍්‍රබෝධයක් සිද්ධ වුණ කාල පරිච්ෙඡ්දයක් ලෙසට මේ කාලය හඳුන්වන්න පුළුවන්. ඒවගේම බේබි බූමර්ස්ලා ගේ තාරුණ්‍යයේ මල් පල ගැණුනු කාලසීමාවක් ලෙස ද මේ කාලය සලකන්න වෙනවා.
එහෙත් ඒ තත්ත්වය යටපත් කරගෙන, හරිත විප්ලවය ග‍්‍රාමීය ප‍්‍රදේශ සහ ගොවිතැන ආක‍්‍රමණය කරමින් මුලූ සමාජයම පුදුමාකාර විපර්යාසයකට බඳුන් කළා. එයට බලපාපු හේතු ගෝලීය අවකාශයක් හරහා දිවෙනවා. ඒකට ඉඟියක් දෙමින් තමයි මම මේ ‘නොස්ටැල්ජියාව‘ හෙවත් අතීතකාමය මතු කරන්නේ. දශක බාගයක් වගේ කාලයක් ඇතුළත සිද්ධ උණ සමස්ත සිද්ධි ගණනාවක් කතන්දර හැටියට ගොනු කිරීමක් තමයි මෙතන කරන්නේ. හැබැයි එයින් මේ නොස්ටැල්ජියාව පමණක් අභිනන්දනය කිරීම මේ පොතෙන් බලාපොරොත්තු වුණේ නැහැ.
ඔබ උත්සාහ කරන්නේ ඉපැරණි වාරිමාර්ග තාක්ෂණය ආලම්භනය කිරීමක් ද?
ඇත්තටම නැහැ කියන එක මට පැහැදිලිවම කියන්න පුළුවන්. ඒකට හේතුව වැවයි දාගැබයි ගමයි පන්සලයි කියන සංකල්පය අභිනන්දනය කිරීම මේ පොතේ සිදු කරන්නේ නැහැ. ඒ වෙනුවට මම කර ඇත්තේ එක්තරා කාල සීමාවක, එල්ලංගාව පද්ධතිය ක‍්‍රියාත්මක වුණ ගම්මානයක මහ පොළොවේ යථාර්ථය ගමේම සාමාජිකයෙකු ගේ දැක්මක් ලෙසින් ඉදිරිපත් කිරීමයි. මෙය පර්යේෂණ ග‍්‍රන්ථයක් නොවනවා වගේම ප‍්‍රබන්ධයක් ද නොවෙයි. ඒ දෙකම අතර දෝලනය වන සාහිත්‍යය කෘතියක්.
එහිදී මම ශ‍්‍රිලංකාවේ පැරණි වැව් අමුණු සහ ප‍්‍රධාන වාරිමාර්ග තාක්ෂණය පිළිබඳ තොරතුරු ටිකක් ඉදිරිපත් කරනවා. ඒ වගේම විශේෂයෙන් මල්වතු ඔය, සීගිරි මහවැව වැනි විශේෂ මාතෘකා යටතේ මෙතෙක් දැඩි අවධානයට ලක් නොවුණු පද්ධති ගැන තොරතුරුත් ඉදිරිපත් කරනවා.
ඒවගේම කුඩා වාරිමාර්ග පද්ධතිය සමග බැඳීගෙන ආව ගැමි පරිසරය තුළ ඇති පාරිසරික සංහිඳියාව සහ ගම්මුන් මුහුණ දුන් කටුක අත්දැකීම් යථාරූපීව ඉදිරිපත් කරනවා. ඒ තුළින් ඇත්තටම කත්දරයක් නිර්මාණය කළා මිස පැන්ටසි නිර්මාණයක් මෙයින් සිදුකර නැහැ. එසේ වුවද පාඨකයා රඳවා තබා ගැනීම සඳහා හෙළ වෙදකම සහ එදා පැවති ග‍්‍රාමීය සංහිඳියාව ගැන විස්තර කිරීමට රංබණ්ඩා මාමාට පොළඟා කාපු හැටි විස්තර කරා. ඩිංගිරි බණ්ඩා මාමා අඩිපාරේ ඩෝප් දාලා එන කතාව ඉදිරිපත් කළේ එදා ගම්මු අඩි පාරවල් පාවිච්චි කරපු හැටි කියන්න. ඒ වගේම ගමේ සිදුවුණ හැම විපර්යාසයක්ම කතන්දරයකට පටලවනවා. ‘අත්තම‘ කියන ශ‍්‍රමදාන ක‍්‍රමය කුලී ශ‍්‍රමයට හැරුණු හැටි කියන කතන්දරය තමයි ගමට පිටින් ආපු ‘කහවැව පාමුල නැන්දා‘ ගෙ කතාව. දේශීය බීජ දෙමුහුන් බීජවලට හැරුණු හැටි, ගොවිතැන නවීකරණය වුණු හැටි, කැකුළම ක‍්‍රමය අභාවයට ගිය හැටි සේරම විවිධ කතන්දර. ඒ සේරම යථාර්ථය මිස පැන්ටසි නොවේ. අනික අපේ ගමේ පංසලක් තිබුණෙ නෑ. දාගැබක් තිබුණේ නෑ. හැබැයි ගම්මු දහමට නැඹුරු වෙලා හිටපු කතන්දරය මම ඉදිරිපත් කරන්නේ ඒ අයගෙ ජිවිතය තුළින් මිස සංකේතවලින් නොවෙයි.
මේ පොතේ භාෂාව ටිකක් වෙනස්, ඒ ගැන මොනවද කියන්න තියෙන්නේ?
මේ පොත ලියලා තියෙන්නේ අනේක දුක් විඳින ගොවි ජනතාවට කරන පිදුමක් විදියට. ඒක නිසාම තමයි මම කතෘවරයා ගේ භාෂාව සහ ගමේ භාෂාව අතර අවම පරතරයක් නඩත්තු කරලා තියෙන්නේ. බොහෝ පොත්වල ලියන ආකාරයට දෙබස් සදහා ගමේ බස් වහරක්, කතුවරයා ගේ වර්ණනාව සඳහා ශාස්ත‍්‍රීය බස් වහරක් යොදාගෙන, කියවන්නා සහ ලියන්නා අතර දැවැන්ත පරතරයක් නඩත්තු කරනවා. මට ඕනෑ කලේ මේ පරතරය නැති කරලා මේක ලියන්නේ මේ අපේම ‘එකියක්‘ කියන අදහස පාඨකයාට දෙන්න. හැබැයි ඒවා අතර යම් යම් දාර්ශනික, ශාස්ත‍්‍රීය, තාක්ෂණික සහ පුරාවිද්‍යාත්මක කරුණු වැනි දේ ඉදිරිපත් කිරීම සඳහා තරමක් ශාස්ත‍්‍රීය භාෂාවද අතරින් පතර යොදා ගෙන තිබෙනවා.
මම විශ්වාස කළා ලියන දෙය කෙරේ බැඳීමක් ඇතිකර ගන්න පුළුවන් වෙන්නේ එහෙම කළාම කියන එක. ඒ සමීප බැඳීම ඇතිකරන්න මම ලොකු උත්සාහයක් ගත්තා මේ ආකාරයට භාෂාව හැසිරවීම තුළින්.
මේ පොත තුළින් ඔබ පාඨකයා රැුගෙන යන්නේ කොයිබටද?
මේක තමයි වැදගත්ම ප‍්‍රශ්නය මම ඉදිරිපත් කරන. මම මේ පොත පුදලා තියෙන්නේ ගොවියන් ට, ගොවියන් ගේ ¥ පුතුන්ට මිණිබිරියන් මුණුබුරාලට. එහිදී පොතේ අග භාගය වෙද්දී මහපොළොවේ සමෝධානය බිඳ වැටුණු ආකාරය තමයි වැදගත්ම කොටස. හැට ගණන්වල අග සහ හැත්තෑව දශකයේ හරිත විප්ලවය හරහා පොහොර, කෘෂිරසායන සහ ට‍්‍රැක්ටරය සමග ගොවිතැන උඩුයටිකුරු වීමෙන් තමයි මහ පොළොවේ සමෝධානය බිඳ වැටුණේ. සිංහල භාෂාව හැදෑරීම තුළින් ලැබුණ බුද්ධි ප‍්‍රබෝධය යට කර ගන්න පුළුවන් උණා මේ රසායනික කෘෂිකාර්මික ආක‍්‍රමණයට. ඒ මතට විවෘත ආර්ථිකය හඳුන්වාදීම තුළ මුලූ රටම පරිභෝජන වාදයට නතුකර ගන්න පුළුවන් වුණා. හැබැයි ඔය කියන විපර්යාසයන් සිදුවූ කාලයේ බීජ සුරක්ෂිත භාවය යම් තරමකට තිබුණා. ඒක නැත්තටම නැති වෙලා ගියෙ විවෘත ආර්ථිකයෙනුත් පසුවයි.
එතන ඉදලා මම විග‍්‍රහ කරනවා ආහාර දාමය බීපු වතුර ටික පවා වෙනස් උණ හැටි. යැපීම් මානසිකත්වය පැලපදියම් කරපු හැටි කොරෝනාව දක්වාම. අපට ප‍්‍රතිශක්තිකරණය දුන්න කෑම වට්ටෝරු සහ කොරෝනාව වැනි වසංගතවලට පවා මුහුණ දීමට ඇති හැකියාව තිබුණු දේශීය තාක්ෂණය සහ දැනුම් පද්ධතීන් බිඳ වැටුණු හැටි.
අන්තිමට මම පාඨකයා රැුගෙන යන්නේ, මේ මහවැව් එක්ක, තාත්තලා එක්ක කඩාඬු බඳිමින් අපි කාලාන්තරයක් තිස්සේ රැුකගෙන ආපු එල්ලංගාව කියන පද්ධතිය ගොඩනගපු මහපොළොවේ සමෝධානය සමඟ බැඳී පැවතුණ සරල දිවි පැවැත්ම පිළිබඳ සංකල්පය යලි භාවිතාවට ගැනීම ගැන යමක් සිතීමට. හැබැයි අතීතයට ආපසු යාමට නොවෙයි. මෙතන ඉඳන් අපිට මාවතක් ගොඩනගන්න නම් අපට අද වෙලා තියෙන දෙය අවබෝධ කර ගන්න අවශ්‍යයි. ඔතෙන්ට තමයි මම පාඨකයාව සම්බන්ධ කරන්නේ. කොහොම ද ඔතෙන්ට යන්නේ කියන එක සහ එතෙන්ට යන විදිහ තමයි මේ පොතේ මෙහෙවර. මේ පිළිබඳව ගම් මට්ටමෙන් කතිකාවතක් ගොඩ නැගීම තමයි මේ මුලූ පරිශ‍්‍රමයේම අරමුණ. ඒ සඳහා අවශ්‍යය කටයුතු මම සැලසුම් කරගෙන යනවා ලංකාවේ ගොවි සංවිධාන හා එකතුව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *