ඒ මහා අහිමිවීම

කතුවැකිය කලා විශේෂාංග සියලුම ලිපි

ගැටුම් සහිත යුදබිමක උවදුරු වලින් බේරි බේරී තම දරුවා සුරක්ෂිතව ක්ෂේම භූමියකට ගෙන යන්නට වෙර දරන සිරියානු මවක් මම රූපවාහිනි දර්ශනයක දුටිමි. මනෝගේ රෝගී බව ගැන කනස්සලු වෙමින් සිටි මට ඒ මව මනෝරත්නයන් යැයි ද ඒ දරුවා සිංහල වේදිකාව ලෙස උපකල්පනය කළ හැකි යයි ද සිතමි. අන් සියලුම ප්‍රවීනයන් වේදිකාවේ උන්නතිය පිළිබඳ ව උකටලීව සිටින දීර්ඝ නොනගතයක මනෝ පමණක් එය සජීවී මාධ්‍යක් ලෙස රැක ගැනීමට වෙර දැරීය. පෙරළා ඒ වෙර වීරිය හඳුනාගත් රසික පර්ශදයන් අවම වශයෙන් මනෝගේ නාට්‍ය ටිකවත් රැක ගැනීමට යත්න දැරීම අපි පසුගිය කාලයේ දුටිමු.

‘යුග පුරුෂ’ යන්න විවාදයට තුඩුදෙන යෙදුමකි. එය ඊළඟ පරම්පරාව විසින් කලින් පරම්පරාවට දිය යුතු ගෞරවයකැයි ඇතැමුන් පවසති. ශ්‍රී ලාංකික රංගන ක්ෂේත්‍රයේ මනෝ තරම් බලපෑම් සහගත ලෙස මිනිස් ආත්මයට බලපෑම් කළ කවර හෝ පුද්ගලයකු මෑත කාලයේ සිටියේ නැතැයි මම යෝජනා කරමි. ඒ අනුව මටනම් මනෝ යුග පුරුෂයෙකි. මනෝ අයත්වන්නේ කලාවට ඉහළින් ප්‍රාදුර්භූතව විස්කම් පෑ මිනිස් ගණයකට නොවේ. ලොරි රියදුරෙකුට හා ගෙවිලියකට දාව උපන් ඔහු ග්‍රාමීය දරිද්‍රතාවයේ නියත ගොදුරක්ව හැදී වැඩුන නමුත්, එකී නිජ පරිසරයේ සංවේදනා සියල්ල තම කලා වපසරිය බවට පත්කර ගැනීමටත් එමගින් සිය කලා ආර සම්පාදනය කර ගැනීමටත් සමත් වූ මහා පුරුෂයෙකි. දශක ගණනාවක් මනෝ සමීපව ඇසුරු කළ අපට වැටහෙන්නේ හැදෑරීම යනු ඔහුගේ ජීවිත පරමාර්ථයම වූ බවයි. මනෝට පේරාදෙණි විශ්වවිද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධියක් ලැබී නොබෝ කලකින් තමාගේ වෙහෙස මහන්සියෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද ලබාගත්තේ ය. ඒ ඔහුගේ 68 වන වියේ දී ය. ඒ සඳහා දැරූ වෙහෙස මහන්සියට නිසි ප්‍රතිලාභ ලැබීමට කලක් නොමැති බව දැන දැනත් ඔහු හැදෑරීම සිය ජීවිතයේ කොටසක් කර ගත්තේ එලෙසය.

මනෝ තරම් ලැදිව සවන්දෙන හා දේවල් උවමනාවෙන් දකින්නට උත්සාහ කරන ජ්‍යෙෂ්ඨයෙකු මා තවත් දැක නැති තරම්ය. ඒ ඔහුගේ මනා හැදෑරීම්වලට අමතරවය. සරච්චන්ද්‍රයන්ගේ සිට එකිනෙකට වෙනස් රංග රීතීන් අනුගමනය කළ සියලුම ප්‍රවීණයන්ගේ නාට්‍යවල රංගනයන්ට දායක වූ මනෝ නූතන ම නාට්‍ය නිෂ්පාදකයන්ගේ නිර්මාණවලට සිය සවිබල තිබෙන තුරුම සම්බන්ධ විය. මේ විශිෂ්ඨ හැකියාව ඔහුට ලැබුණේ ඔහු සියල්ල මනාව අගයමින් සියල්ල සිය ආත්ම විශ්ලේෂණයට හසු කළ බැවිනි.

ක්ෂණික වටහා ගැනීම හා ක්ෂණිකව ප්‍රතික්‍රියා දැක්වීම (ස්ථානෝචිත ප්‍රඥාව?) මනෝ තුළ පැවැති විශිෂ්ටතම හැකියාවකි. ඒ හැකියාව ඔහු තරමට අන් කිසිවෙකුටත් නොවූ බවයි මගේ වැටහීම. ඔහුගේ රංග පර්යාය තුළට ඒ ක්ෂණික ගුණය සපයා තිබූ අගය සුළුපටු නොවේ. එමගින් රංගයකදී අනෙක් සහයකයා ගලවා ගැනීමට පමණක් නොව සමස්ත නාට්‍යයම ගලවා ගැනීමටත් ඔහු සමත් විය. ඒ ක්ෂණික වටහා ගැනීම හා ප්‍රතික්‍රියාව හරහා ප්‍රේක්ෂකයා තුළ නව ප්‍රබෝධයක් ජනිත කිරීමට ඔහු සමත් විය. ‘මනෝ ලකුණ’ නිර්මාණයට ඒ විශිෂ්ඨ හැකියාව ද හේතු විය.

මිනිස් වග වෙත කරන ආදරය, මිනිස් වටිනාකම් රැකගැනීම හා යහපත් වෙනසකට දායක වීම මනෝගේ කලාවේ අරමුණ විය. වෙළෙඳ දැන්වීම් අරබයා කිසිදු විටක දායක නොවීම හා දේශපාලන බලපුළුවන්කාරකමේ අතකොළුවක් නොවීම යන දෙකරුණ ම පමණක් මේ වටිනාකම් පිරිහුණු පාරිභෝගික සමාජයේ ඔහු රැක ගත් පුළුල් හෘද සාක්ෂිය පිළිබඳ දෑවැන්ත සටහනකි. ඒ දෙඅංගය බැහැර නො කළා නම් මනෝ සිය ජීවිතයේ අවසන් සමයේ ගෙවූ ශෝකී ජීවන වටපිටාව ඔහුට හිමි නොවන්නට ඉඩ තිබුණි. ඔහුගේ අවසන් කටයුතු වෙනුවෙන් කොළඹ නිදහස් චතුරස්‍රය වෙනුවට බොරලැස්ගමුව පොදු සුසානය හිමි වන්නේ සැබැවින්ම ඔහුගේ අදීන පෞරුෂයට උපහාරයක් ලෙසින් යැයි හඟිමි.

ජීවිතය යනු ජීවිත නිමේෂයන් ගේ එකතුවකි. අපේ පමණක් නොව සමස්ත සිංහල රසික ප්‍රජාවගේම ජීවිත නිමේෂයන් ප්‍රමෝදයෙන් තැබීමටත් ජීවිතය පිළිබඳ ගැඹුර වටහා දීමටත් මනෝ ප්‍රමුඛව රංගධරයකු ලෙසත්, ලේඛකයකු, නාට්‍ය නිෂ්පාදකයකු, ගුරුවරයකු හා මිතුරෙකු ලෙසත් සිය සමස්ත ජීවිතයම කැප කළේය.

පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ ශිෂ්‍යයෙකුව සිටිය දී පළමු වරට මනෝ රඟපෑ සුනිල් ශ්‍රියානන්දගේ ‘අස්ප ගුඩුං’ නාට්‍යයේ සිට අවසන් කරන්නට නොහැකි වුණු තමාගේම ස්වීය නිෂ්පාදනයක් වූ ‘වන වදුල’ නාට්‍යය තෙක් වන රංගන ක්‍රියාවලියත්, නාට්‍ය නිෂ්පාදකයකු ලෙස මනෝ තැබූ නාට්‍යමය මුද්‍රාවත් කවුරුත් දන්නේය. එමෙන්ම 1980 මහගිරි දඹෙන් ආරම්භකොට වන වදුලෙන් අවසන්වූ සිය ස්වීය නිෂ්පාදන සමූහය මනෝගේ අභිලාෂයන් හා දෘෂ්ටිවාදය හඳුනාගත හැකි කදිම නිර්මාණ මෙවලම් විය. උඩරට කඳුකර ගම්මානයක අනන්‍යතා ලක්ෂණ ගණනාවක් සහිතව හා සිය පරිසරයේ අනන්‍යතා ලක්ෂණ මැනවින් අවශෝෂණය කර ගනිමින් හැදී වැඩුණු මනෝ සිය උසස් අධ්‍යාපනය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට යොමු වන්නේ වෙනත් පරිසරයකට නොව එතෙක් තමන් සතු වූ ධාරිතාව පුළුල් කර ගත හැකි පරිසරයකටමය. එනම් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ වනස්පති සෙවණට ය. මනෝම පවසන අයුරින් ගතහොත් ‘අපිට පේරාදෙණියට එන්න ඕනෑ වුනේ වෙන මොකටවත් නොවෙයි සරච්චන්ද්‍ර මහත්තයා දැකගන්න.’ ඔහු පවසන්නේ සරච්චන්ද්‍රයන් ඇසුරේ කලාව කිරීම ඉටුකරගත හැකි සිහිනයකැයි එකල ඔහු නොසිතූ බව ය. එහෙත් සරච්චන්ද්‍ර භාවිතාව තුළ ලිබරල්වාදී අර්ධයක්ද තිබූ හෙයින් ඒ අර්ධය මනෝ, නිශ්ශංක දිද්දෙනිය වැනි නිර්ප්‍රභූ පන්තියකින් පැමිණි දක්ෂයින්ට ප්‍රයෝජනවත් විය.

මනෝ ‘පේමතෝ ජායතී සෝකෝ’ නාට්‍යයේ උද්දාල බමුණාගේ භූමිකාව පුහුණු වන විට එහි ඇති ප්‍රේමාලිංගන ඇතුලත් රංගයන්ට සරච්චන්ද්‍රයන් බලාපොරොත්තු වූ මට්ටම සැපිරීමට මුල් අවිධියේ මනෝට නොහැකි විය. එනිසා සරච්චන්ද්‍රයන්ගෙන් ඔහු ඇසූ ඇනුම්පදත් අවසානයේ කොළඹින් ගෙන්වාගත් මිරැන්ඩා හේමලතා විසින් කියා දුන් ප්‍රේම අභිනයන් නිසා චරිතයට නිසි ලෙස ප්‍රවිෂ්ට වීමට හැකි වූවා පමණක් නොව ස්වර්ණතිලකාව ගෙදර ගෙනයාමට පවා පුළුවන් වූ බවත් කියන්නේ සිනාසෙමිනි. ඒ සිනහවට යටින් ඇති අරුත නම් බැරිකම වුවමනාවෙන් පුළුවන්කමක් බවට පත්කර ගැනීමට හැකිය යන මහා පුරුෂයකු රසික සමාජයට දෙන ආදර්ශයයි.
මනෝගේ නිජ පරිසරයත් සරච්චන්ද්‍රයන් ඇසුරේ ගෙවා දැමුණු අධ්‍යාපනික පරිසරයත්, ඔහුගේ නාට්‍යවේදයේ මාවත සකස් කළේය. ආදරය මිනිස් වටිනාකම් රැකගැනීම හා වෙනසකට දායකවීම යන අරමුණින් යුතු වූ තමන්ගේම වූ දේශපාලන දෘෂ්ටියත් ඔහුගේ නාට්‍යවල ආර සකස් කර දුන්නේය. සරච්චන්ද්‍රයන්ගේ සම්භාව්‍ය නාට්‍ය රීතිය මැනවින් ප්‍රායෝගිකව හඳුනා ගැනීමට සමත් වූ මනෝ දයානන්ද ගුණවර්ධනයන්ගේ නාට්‍ය භාවිතාව ලැදිව හදාරමින් තමන්ට හිමි ගමන් මාර්ගය සොයා ගත්තේය. ඒ සියල්ලේ සම්මිශ්‍රණයෙන් තමන්ගේම අනන්‍යතාවයක් සහිතව දයානන්ද ගුණවර්ධනයන්ගේ සාර්ථක අනුප්‍රාප්තිකයා වන්නට මනෝරත්නයන්ට හැකියාව ලැබුණි. ඔහුගේ තල මල පිපිලා, ගුරු තරුව, අන්දරේලා වැනි නාට්‍ය ඒ සඳහා උදාහරණ ලෙස ගත හැකිය.

තල මල පිපිලා, පුත්‍ර සමාගම (නාට්‍ය පරිවර්තනය -ප්‍රසන්න විතානගේ) ගුරු තරුව ඔහුගේ විශිෂ්ටතම නාට්‍ය ත්‍රිත්වය හා ඔහු සතු සමාජ දෘෂ්ටිය පෙන්නුම් කරන නාට්‍යයන් ලෙස සැලකිය හැකිය.

නිත්තවෙල ගුණයා නැමැති අසහාය ප්‍රවීන හා පාරම්පරික රංගවේදය අනුදත් රංගධරයා දිළිඳුකමින් පීඩිත ව කුප්පි ලාම්පුවක් පෙරළී මියයන්නට සැලැස්වෙන, පාරම්පරික කලාවේ හා කලාකරුවාගේ ඉරණම දුක්ඛදායී කරන කුජිත ධනේශ්වර සමාජය කරා කැඳවාගෙන යන අයුරු මනෝරත්න තලමල පිපිලා නාට්‍යයේ සමස්තය විසිනුත් ඔහුගේම සුවිශේෂී රංගය විසිනුත් විදා හැරුණු බව ආචාර්ය ධර්මසේන පතිරාජයන් ලියා තැබීය.

සාහිත්‍යය නැමැති විෂය අහෝසි වීමත්, පරමාදර්ශී ගුරුවරයාගේ භූමිකාව වියැකී යාමත්, පිළිබඳව වන හැඟීම හා ඒ දෙකෙන්ම ජීවිතය සකස් කරගත් මනෝගේ හෘදසාක්ෂිය ගුරු තරුව නාට්‍යයෙන් නිරූපිතය.

ඇලෙක්සැන්ඩර් වැම්පිලොව් (1937 – 1972) නැමැති සෝවියට් නාට්‍ය රචකයාගේ Elder son නැමති නාට්‍යයේ පරිවර්තනයක් වන පුත්‍ර සමාගම දිවංගත පියසීලී විජේගුණසිංහයන් අගය කරන්නේ මෙසේය. ‘මිනිසුන්ට ඊනියා රුධිර බැම්මෙන් පරිබාහිරව පිය-පුතු සහෝදර යනාදී මානුෂ සම්බන්ධතා වර්ධනය කිරීමට තිබෙන ශක්‍යතාව පමණක් නොව මානුෂ සම්බන්ධතා ඊනියා රුධිර බැම්ම තුල සිරගත කිරීම නිසා මනුෂ්‍ය ජීවිතවල ජනනය වන භාවමය දරිද්‍රතාව ද ‘පුත්‍ර සමාගමෙන්’ සාර්ථකව ධ්වනිත වෙයි.’

ජයලත් මනෝරත්න නැමති අසහාය රංගවේිදියා, මගේ නිර්වචනය අනුව ලංකාව මෑත කාලයේ බිහිකළ විශිෂ්ට රංගධරයා නික්ම ගොසිනි. මුහුනු පොතේ රසිකයකු විසින් තැබුණු සටහනකට අනුව ‘ලංකාවේ අවසාන කලාකාරයා ද අහිමි වූ බව හැඟේ’ යනුවෙන්ද, තවත් සටහනකට අනුව ‘මනෝත් ගිය පසු අපි මොක්කුද’ කියා සටහන් තැබුණි. ගෙවී යන්නේ දේශපාලකයන් විසින් විනාශ කරන්නට තැත් කරන රටක, රටකට ඇවැසි අනර්ඝ අංගෝපාංග රැකදුන් මහා කලාකරුවන් අහිමි වූ දශකයයි. එහි නවතම අහිමිවීම ජයලත් මනෝරත්නයන් ය. ඒ අහිමිවීම සමගින් ඔහුගේ රංගනය පමණක් නොව අපේ පෞද්ගලික ජීවිතයට කඩාවැදී පෑ සොඳුරු පෙළහර ද අවසන් වන්නේ ය. ඒ හිස්තැන අනේ කවදා පියවේවිද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *