ඒ අසූහතර හැවිරිදි තරුණිය ඇමතුවෙමි.

විශේෂාංග

අද උදෑසනම මා ඒ අසූහතර හැවිරිදි තරුණිය ඇමතුවෙමි. ඈ කටහඬෙන්ම මා හඳුනාගත්තීය.අද ඇගේ උපන් දිනයයි.

එකල ඈ ගුවනේ හඳනැන්දා වෙද්දී මා පොඩිත්තෙක්ය. ගුවනින් දැන සිටි මා ඈ දැක හඳුනා ගත්තේ මා ලියූ ගුවන් විදුලි නාට්‍ය පටි ගතකරන්නට කොළඹ ගුවන්විදුලියට ගිය කාලයේය. ඒ අසූ ගණන්වල මුලය.

1983 අප්‍රේල් 13 වෙනිදා ලංකාවේ තුන්වෙනි ප්‍රාදේශීය ගුවන් විදුලි සේවය ආරම්භ කරන උත්සවය නැරඹීමට මම මහනුවර බහිරව කන්දට ගියෙමි. මහනුවර සේවයේ ආරම්භක වැඩසටහන් සංවිධානය කිරීමට කොළඹින් එවා තිබුණේ ⁣සුමනා ජයතිලක සහ ප්‍රේමකීර්ති ද අල්විස් ය. සමාරම්භක උත්සවයෙන් පසු තේ පානය කරමින් සිටියදී මා දුටු සුමනක්කා මට භාරදූර කාර්යයක් පැවරුවාය.

“ආ මේ ඉන්නෙ චූලාභය…චූලාභය අපිට නාට්‍යයක් ලියලා දෙන්නකො.”

මම ඉල්ලීම භාර ගතිමි.අවුරුදු දවස් කීපය ගෙවී ගොස් ඊළග දිනයක මම “කඳුපාමුලක ජීවත් වූ මිනිසෙක්”නමින් නාට්‍යය පිටපතක් ලියා ඈ හමුවන්නට ගියෙමි. එය එදාම හවස පටිගත කරන්නට තීරණය විය.
එදා හවස ඒ දිනවල මහනුවර නගරයේ පෞද්ගලික ආයතනයක සේවය කළ මා කළ්‍යාණ මිත්‍ර කපිල. එමි. ගමගේ සමඟ මම පටිගත කිරීමට ගියෙමි. එස්. ලියනගේ, සුමනා ජයතිලක, නන්දසේන දන්තුරේ ජයසේකර සහ මා රඟපෑ ඒ නාට්‍යය මහනුවර සේවයෙන් ප්‍රචාරය වූ ප්‍රථම ගුවන් විදුලි නාට්‍යය විය.

ඉන් වසර තුන හතරකට පසුව සුමනා ජයතිලක මහත්මිය නැවත මහනුවර සේවයට එන්නේ එහි පාළිකාව ලෙසින්ය. එකල මම එහි නිවේදකයෙක් වීමි. අප එතුමිය සමඟ එක්ව බොහෝ අලුත් වැඩසටහන් සැලසුම් කළෙමු.අපි අපේ ශ්‍රවණ කලාපය තුළ බොහෝ තැන්වල ඇවිද වැඩසටහන් පටිගත කළෙමු.

ටික කලෙකින් ඇය නැවත කොළඹට ගියේ හඳමාමා වැඩසටහන අඛණ්ඩව ම පවත්වගෙන යාම සඳහාය.
සුමනා ජයතිලක මහත්මියගේ “හඳමාමා”
වැඩසටහන ලෝකයේ දීර්ඝතම කාලයක් ප්‍රචාරය වන ළමා වැඩසටහන මෙන්ම එකම පුද්ගලයෙකු ඉදිරිපත් කළ විද්‍යුත් මාධ්‍ය වැඩසටහන් වලින් දෙවැන්න ලෙස වාර්තා ගතව ඇත.

හඳමාමා මුල්ම වැඩසටහන ප්‍රචාරය වී තිබෙන්නේ 1963 දෙසැම්බර් 13 වෙනිදාය. එය තවමත් ප්‍රචාරය වේ. මේ එළඹෙන්නේ එහි හයවන දශකයටයි.
(මේ ගැන මා මිත්‍ර චන්දන තිලකරත්න “හඳ නැන්දා” නමින් ග්‍රන්ථයක් සම්පාදනය කර ඇත.)

සුමනක්කා දැන් මෙන්ම එකලද හැඩකාරියක් ය. සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාටකයේ අත්වැල් ගායිකාවක ලෙස වේදිකාවට පිවිසෙන ඇය රත්නාවලී, හස්තිකාන්ත මන්තරේ,පබාවතී,මඟුල් පරස්තාව,මැටි කරත්තය, මූදු පුත්තු වැනි නාට්‍ය ගණනාවකම චරිත නිරූපනය කර තිබේ.

සුමනා කුරේ නමින් උප්පැන්නයේ සඳහන් ඇගේ නම සුමනා ජයතිලක වන්නේ
ප්‍රවීණ ගත්කතුවර කේ. ජයතිලක මහතා සමඟ විවාපත්වීමෙන් පසුවය.
ජයතිලක මහතාගේ ලේඛනයට උදව් වෙමින් දියණියන් දෙදෙනෙකු සහ පුතණුවන් දෙදෙනෙකු හදාවඩා ගනිමින් ඔවුනට ඉහළම අධ්‍යාපනයක් ලබා දෙමින් ,ගුවන්විදුලි රාජකාරියද අකුරටම ඉටු කළ ඇය සැබැවින්ම අපේ කාලයේ දිරිය ගැහැනියකි.

සේවයෙන් විශ්‍රාම ලබා සිටියත් ඈ අදත් ගුවන් විදුලියේ හඳ නැන්දා චරිතයෙන් විශ්‍රාම ලබා නැත.ඈ තවමත් පොඩිත්තන් අමතයි.

නිතර සිනාවෙන් පිරුණු මුහුණින් යුතුව ගුවන් විදුලි කොරිඩෝවේදී ඈ දකිද්දී දැනෙන සෙනෙහස සහ ආදරය මව් සෙනෙහසට බොහෝ සෙයින් සමීප බවක් මට දැනේ.

මා කියවන්නට ප්‍රිය බව දන්නා ඈ එකල නුවර සේවය කරද්දී සති අන්තයේ ගෙදර ගොස් එනවිට මට පොත් කීපයක් ගෙනැවිත් දේ. ඉන් ප්‍රදීප ප්‍රකාශන මටමය. අනෙත් වා කියවා ආපසු දෙන්නටය. ඒ බොහොමයක් කේ. ජයතිලක මහතාට ගත් කතුවරුන්ගෙන් ලැබුණු තෑගිය.

මා ලියන්නට පටන් ගත් පසු ඈ මගේ හැම පොතක්ම ආසාවෙන් කියෙව්වාය. හමුවූ විට සහ දුරකථනයෙන් ගුණ දොස් කියන්නේ දරුවෙකුගේ දස්කමක් දැක සතුටුවෙන මවක් මෙන්ය.

ගුවන් විදුලියේදී හමුවන අයට ඈ මා හඳුන්වා දෙන්නේ
“මේ මගේ හඳමාමා පොඩිත්තෙක්..” කියාය.

හැට පිරුණු මා මෙන්ම ඔබද දශක හයකට ආසන්න කාලයක් තිස්සේ හඳමාමා සමඟ සිටි පොඩිත්තන් පරම්පරා තුන හතරට අයත් වෙන කෙනෙක් විය හැක.
ඒ පිරුණු හඬ සහ රුව තවමත් යෞවනයේය.
සුමනා ජයතිලක නම් වූ ඒ සොඳුරු මාතාවට
සුබ උපන් දිනයක් වේවා!!!!
නිරෝගී සම්පත ලැබේවා.
ආයුබෝවේවා !!
චූලාභය ශාන්ත කුමාර හේරත්ගේ මුහුණු පොත් පිටුවෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *