ඉමෙල්ඩා – මතක, ආවේග සහ උත්ප‍්‍රාසයේ සුසංයෝගය

කලා

මහාචාර්ය ආරි ආරියරත්න

ඉමෙල්ඩා යනු සූරස ප‍්‍රකාශනයක් ලෙස ගිය වසරේ දී (2021) එළි දැක්වුණු සිංහල නවකතාවකි. එහි කතුවරයා සෝමසිරි මුණසිංහය. එය ඔහුගේ ආරම්භක සිංහල නවකතාවය.

උත්ප‍්‍රාසාමත්මක ආඛ්‍යානය හෙවත් කමීමුලෙ හි දිව රඳවා ගත් කථනය

ඉමෙල්ඩා නවකතාව සුඛාත්මක මෙන් ම දුක්ඛාත්මක ස්මරණයන් සහ ආවේගයන් ගේ සුසංයෝගය කි. නවකතාවේ දැක්වෙන ප‍්‍රධාන චරිත සියල්ලම (සුගත්, කාමන්, ඉමෙල්ඩා, සහ ජෙරමි) විවිධ සහ සංකීර්ණ වූ වාර්ගික, භාෂාමය, සාමයික, දේශපාලනික, ආර්ථික, සහ සංස්කෘතික මූලයන්ගෙන් පැවැතෙන්නෝ වෙති. මෙම චරිත හැසිරෙන භෞමික පසුතලය ද ශ‍්‍රී ලංකාව, එක්සත් අරාබි එමිරේට්ස්, පිලිපීනය, සහ කැනඩාව වැනි රටවල් ගණනාවකට අයත් වන සුවිශාල වූ එකකි.
මෙම වෘත්තාන්තය නවකතාකරු පවසන්නේ ඉසියුම් ලෙස කම්මුලෙහි දිව (tongue-in-cheek) රඳවා ගනිමින්ය. නවකතාව ආරම්භ වන පළමු වැකියෙන්ම මෙම කරුණ තහවුරු වෙයි. ලෝකයේ භෞමික, දේශපාලනික, ආර්ථික, සහ සංස්කෘතික විවිධත්වය මෙන්ම එම විවිධත්වය තුළින් මතු වන ඒකීයත්වය ගැන කියැවෙන භූගෝල විද්‍යාව උගන්වන මුදලිහාමි සර්ට වැදගත් වන්නේ කථානායක සුගත්ගේ නම, ඔහුට අනුව, කරාව සහ ගොවිගම කුලවල කෑලි පැටලූණු නමක් වීමය! ඔහු ඔරිනෝකෝ ගඟ පිහිටා ඇත්තේ කොහිදැයි පන්තියේ සිසුන්ගෙන් අසන්නේ ඉංගිරිසි උගන්වන ඇල්ලෙපොල මිස් ගේ ඔසරියට හිර වී ඇති නිතඹ දෙස බලමින්ය!
“වාසගම බොහෝ දිග වැඩි” කථානායක සුගත් ගේ නම ද උත්ප‍්‍රාසාත්මකය. පාලි භාෂාවෙන් ”සුගතෝ” යන්න ”සුබ” සහ ”භාග්‍යවන්ත” වැනි අරුත් ගෙන දෙයි. සැබැවින්ම, එය බුදුන්වහන්සේ උදෙසා යෙදෙන ගුණ නාමයකි. සුගත්ට නම් එම නම ලැබෙන්නේ වෙනත් හේතුවක් නිසාය. එනම් තම පියා කරුණාසේන ජයලත් ගේ ගොළු හදවත නවකතාවේ ප‍්‍රධාන චරිතයට පණ පොවමින් තම මව ගේ ආදරයම පතමින් සිටි නිසා ය. මව ගේ හදවත ප්‍රේමයෙන් මුසපත් කරන්නට එය සමත් වූ බැවින් අමාවක දවසක රැය අඳුරට මුවා වෙමින් ඇය පියා සමග ගමෙන් පැන ගිය නිසා ය. මේ ආදර කතාව සමරන්නටය සුගත්ගේ පියා ඔවුන්ගේ දෙවැනි පිරිමි දරුවාට සුගත් යන නම දෙන්නේ. පිිලීපීනයේ ජාතික භාෂාව වන ෆිලිපීනෝ (Filipino) භාෂාව ට පදනමී වූ
ඔස්ට්‍රොනීසියන් භාෂාව ටෙගාලොග් (Tega-log) බසින් නමී සුගත් කියන්නේ තුවාලය ට බව ඉමෙල්ඩා සුගත් ට කීවාය! ඒ කෙසේ වෙතත්, සුගත්ගේ ජීවිත කථාව සුබදායක හෝ භාග්‍යවන්ත එකක් වූයේ නැත. ගොළු හදවත නවකතාවේ සුගත්ට මෙන් තේ වත්තෙන් එන මුදල් අපහසුවකින් තොරව වියදම් කරමින් නැති වුනු පේ‍්‍රමය ගැන තැවෙන්නට ඔහුට අවකාශයක් ලැබුනේද නැත. ශ‍්‍රී ලංකාවේ ජාතිවාදී කෝලාහාල සමයේ දී තමා සම්බන්ධ නොවූ මිනීමැරුමකට සැකකරුවෙකු වූ බැවින් ඉන් ගැලවෙනු වස් එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයට පලා ගිය සුගත්ට ආපසු ශ‍්‍රී ලංකාවට එන්නට සිදුවන්නේ සිරකරුවෙකු ලෙසය!
කතා නායිකාව වන ඉමෙල්ඩා ගේ නමද උත්ප‍්‍රාසයක් ඡුනිත කරයි- ස්පාඤ්ඤ සහ ඉතාලියානු සමීභවය ක් සහිත ඇගේ නම අරුත් ගැන්වෙන්නේ රණශූරිය ලෙසය. එහෙත් ඉමෙල්ඩා ට ඇගේ දෙමවීපියන් එම නම දී ඇත්තේ මෑත ඉතිහාස යේ පිලිපීනය පාලනය කළ කූප‍්‍රකට පාලයෙකු වූ ෆඩිනන්ඩී මාර්කොස් ගේ කූප‍්‍රකට බිරිඳ වූ ඉමෙල්ඩා මාර්කොස් සිහි වන්නටය. අප කතා නායිකා ඉමෙල්ඩා මියයන්නේ ඇගේ සුව නොවූ තුවාලය වූ ශී‍්‍ර ලංකාවෙී සුගත් පිළිබඳ මතකය ද සමගය!
ශ‍්‍රී ලංකාවෙන් ගුවන් ගත වූ එමිරේට්ස් ගුවන් යානය ඩුබායි ගුවන් තොටුපළට ළඟා වූ අවස්ථාව නවකතාකරු විස්තර කරන්නේ මෙලෙසය.
”පොළවට අඩිය ගහන විට සර්වාංගය රත් වූයේ නිමල් ගේ බෙීකරියේ පාන් පෝරණය අසල සිට ගෙන සිටිනවාක් මෙනි. කෝලිත තෑගි දුන් රේබෑන් කළු කණ්ණාඩි කුට්ටම නොගෙනා එක ලොකු මෝඩකමක් යයි සිතුනේ ඉර අව්වේ ගිනියම් වෙන ටකරමක් ලෙසින් දිස්නෙ ගහන සිමෙන්ති පොළව දෙස බලන විට ය. අහස් යානාව පිරී තිබුනේ එක එක වයසේ ගැහැණු උදවිය ගෙනි. සමහර ස්තී‍්‍රන් කලකිරුණාක් මෙන් බලා ගත් අතේ බලා ගෙන සිටියේ හිස් බැල්මකින්ය. තැනින් තැන පැතිරුනේ සිද්ධාලේප හා පැඟිරි තෙල් සුවඳ ය.”
ශ‍්‍රී ලංකාව වැනි රටවල ගැහැණු තම ආදරණීය දරුවන්, සැමියන්, සහ සොයුරු සොයුරියන්ගෙන් තාවකාලිකව සමුගෙන බොහෝ විට මැද පෙරදිගට එන්නේ ගෘහ සේවිකාවන් ලෙස කඹුරා දිළිඳු බවෙන් මිදීමට කිසියම් පිළිසරණක් පතා ගෙනය. තමා හැර දමා ආ ලෝකයේ සුන්දර සහ අසුන්දර මතක මෙන්ම නව ලෝකයේ අවිනිශ්චිත විභවයන් නිසැකවම ඔවුන්ගේ සිත දවනු විය හැකිය. සදය සිනාවකින් යුතුව වුවද නවකතාකරුවා මේ බව හෙළි කරන්නේ කර්කශ කාන්තාර දේශගුණයේ සහ දිළිඳු ජීවන මතකයන් ගේ සමීප පිහිටීම හෙවත් සන්නිධිය (juxtaposition) දැක්වීම තුළිනි.
ගෘහය සහ ගෘහණිය
ගෘහණිය යන වචනය ගැහැණිය පිළිබඳ සම්ප‍්‍රදායික චින්තනය හෙළිදරව් කරන්නක් බව පිළිගත හැක්කේ එම වදන ගෘහය සමග අත්‍යන්තයෙන්ම බැඳී ඇති බැවිනි. ගෘහය කළමනා කරන්නිය ගෘහණිය වන බව සැබෑවක් විය හැකි නමුත් ගෘහයෙන් පිටත කටයුතු වල ට ගැහැණිය ආධුනික බව ද එයින් හැඟවෙන්නේය යන නූතන ස්තී‍්‍රවාදී විවේචනය මට වටහා ගත හැකි ය. ගෘහපති යන පුරුෂවාදී වචනය ඉහත කී විවේචනය තව දුරටත් තහවුරු කරයි. ගැහැණිය මේ සම්ප‍්‍රදායික අවකාශය ලෙස පුරුෂ මූලික වාදීන් අවිවාදිත ව පිළිගන්නා ගෘහය සහ මුළුතැන් ගෙයින්මය මෙම නවකතාකරු ගැහැණිය පිළිබඳ විවරණය අරඹන්නේ. එහෙත් ඒ පුරුෂවාදී ආරම්මණයන් ඉස්මතු කිරීම උදෙසා නොවේ. ඊට ඉඳුරා පටහැනි වූ ගැහැණිය සතු මේ ශූරත්වය සහ සුන්දරත්වය හෙළිදරව් කිරීම සඳහා ය.
තම පියා එළවළු වෙළඳාමෙන් අසාර්ථක වෙද්දී පවුලේ වගකීම උරහිසට ගත් තම මවගේ සාර්ථකත්වය සුගත් දකින්නේ මෙසේ ය:
”එළවළු ගන්නට එන අයගෙන් අම්මා පළමුවෙන්ම අසන්නේ ගම්පහ වෙද මහතා මෙන් ඔවුනට ඇති අසනීප තත්ත්වයන් ය. දියවැඩියාකාරයන්ට යහමින් අනුභව කරන්නැයි කියා අලෙවි කළේ කරවිල සහ උණු කර ගෙන පානය කරන්නට කිව්වේ නීරමුල්ලිය කොළ සහ කොතලහිඹුටු පතුරු ය. මුත‍්‍රා අඩස්සියට දුන්නේ පතෝලය. ගර්භනී මව්වරුන්ට වැඩි වැඩියෙන් කිරි එරෙන්න කෑමට නියම කළේ කූරතම්පලාය.”
එසේම, ඉමෙල්ඩා කෙරෙහි කෙමෙන් බැඳෙන සුගත්ගේ සිත හෙළිදරව් කරන්නේ සූප ශාස්ත‍්‍ර විෂයෙහි ඈ දක්වන නිපුණතාව විචිත‍්‍රවත් ලෙස විස්තර කිරීම තුළින් ය. මෙය නවකතාකරු සිය විශිෂ්ටත්වය දක්වන අවස්ථාවක් ලෙස මම දකිමි. මට මතක ඇති පරිදි, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මළගිය ඇත්තෝ’ නවකතාවේ දෙවෙන්දොරාගේ සිතෙහි නොරිකෝ ගැන ඇති වන පෙම් හැඟුම් දක්වා ඇත්තේ ද මෙබඳු එළැඹුකිනි. ඉංගිරිසි ලේඛිකා ජොඈන් හැරිස් (Joanne Harris) ගේ නවකතාව ඇසුරින් 2000 වසරේ දී බිහි වූ චොකොලට් (Chocolat) සිනමා පටයේ වයාන් (ජුලියටී බිනෝක් ගේ රංගනය) පිළිබඳව රූව් (ජොනී ඩෙප් ගේ රංගනය) ගේ සිතෙහි ජනිත වන පේ‍්‍රමය දක්වා ඇත්තේ ද වයාන් තනන චොක්ලට්වල ප‍්‍රණීත බව විඳින්නන්ගේ් ප‍්‍රතිචාර තුළින් මෙන්ම ඈ ඒවා මටසිලූටු ලෙස සකසන සහ පිරිනමන අයුරු දැක්වීමෙනි.

මූල රූපික අරමුණු සහ අව්‍යාඡ මිනිස් සබඳතා

සුගත් ස්ත‍්‍රීන් වෙත තමා තුළ කෙමෙන් මෝදු වන රාගාරම්මණයන් හඳුනා ගන්නේ පාසැලේ සිංහල සාහිත්‍යය ගුරුවරයා ”අල්ලට කෝදුවෙන් ගසමින්” ඉගැන් වූ සිංහල කවීන්ගේ ශෘංගාරාත්මක කාව්‍ය සංකල්පනාවලින් නොවේ. තේ වත්තේ දී තමා සිප ගන්නට සුගත්ට ඉඩ දුන් ඉන්ද‍්‍රානි ගෙනි. (ඈ ඊට ඉඩ දුන්නේ සුගත්, ඈට හැඟුණු පරිදි, ඒ දිනවල ජනප‍්‍රිය ව තිබූ චිත‍්‍ර කතාවක පෙම්වතාගේ රූපයට සමාන වූ නිසා බව ඈ පැවසුවාය!). ඉන් අනතුරුව, උතුරේ යුද්ධයේදී මිය ගිය සිය සොහොයුරාගේ වැන්දඹු බිරිඳ කාමන්ගේ රූ සපුව දැකීමෙනි. ඉනික්බිතිව, ඩුබායි හි දී බීමතින් රෝස පැහැගැන්වුණු මුව මඬලින් යුතු ඉමෙල්ඩා කෙළිදෙලෙන් නිවස පුරා දිව යන අයුරේ සුන්දරත්වය දැකීමෙනි. වෙනත් ලෙසකින් පවසන්නේ නම්, සුගත් ස්ති‍්‍රය පිළිබඳ තම හැඟීම් වටහා ගන්නේ, ෆොයිඩියානු මනෝවිද්‍යාත්මක සංකල්ප සිහි ගන්වන නාරි දේහය ගවේෂණය කිරීමට සහ විඳීමට තමා තුළ ඇති වන කැමැත්ත තුළිනි.
එහෙත් ඔහු හුදෙක් දර්ශාස්වාදය () ට යොමු වූ තැනැත්තෙකු හෝ රමණය උදෙසාම ස්ති‍්‍ර ඇසුර සොයන්නෙකුම හෝ නොවන බව ද පැහැදිලි ය. නිදසුනක් ලෙස, සුගත් ඩුබායි හි ශ‍්‍රී ලාංකික සිත්තරාගේ චිත‍්‍රාගාරයේ දී ඉතියෝපියානු නිරූපිකාව රෙහෙනා ගේ නිරුවතේ සුන්දරත්වය අගය කළ මුත් එසේ කළේ දර්ශාස්වාදී ලෙස හෝ රමණය පෙරදැරි කොට ගෙන හෝ නොවේ. මෙහි දී නවකතාකරු ගේ අරමුණ කාමුකත්වය (sensuality) උත්කර්ෂය ට නැංවීම නොවේ. අව්‍යාජ මිනිස් සබඳතා මතු විය හැක්කේ ජාතිය, භාෂාව, ආගම, දේශය, ඥාතිත්වය, සහ කුලය වැනි ද්විතියික බැඳීම්වලින් නිදහස් වූ මූල රූපික (archetypal) පමණක් බවය ඔහු අවධාරණය කරන්නේ. සුගත් ආදරය හඳුනා ගන්නේ කාමන් සහ ඉමෙල්ඩා ගේ කායික ඇසුර තුළින් වන්නේ එබැවිනි. එහිදී කාමන් බර්ගර් කාන්තාවක් වීම සහ තම මිය ගිය සොයුරාගේ වැන්දඹු බිරිඳ වීම මෙන්ම පිලිපීන ජාතික ඉමෙල්ඩා දරු දෙදෙනෙකු ගේ මවක් වීම සහ ඩුබායි හි දී ජෙරමිගේ බිරිඳ වීම සුගත් ට වැදගත් වන්නේ නැත.
ඉංගිරිසි රෝගියා හි කැ තරින් සහ ඉමෙල්ඩා හි ඉමෙල්ඩා

සුගත් හා බැඳෙන පේ‍්‍රමයෙන් ඉමෙල්ඩා මුසපත් වන අයුරු මෙන්ම ඇය මරණය අබියසදීත් ඔහුට පෙම් කළ අයුරු මයිකල් ඔන්ඩාට්ජි (Michael Ondaatje) ගේ ද ඉංග්ලිශ් පේෂන්්ටී (The English Patient) නවකතාවේ කැතරින් ක්ලිෆ්ටන් (Katherine Clifton) ගේ චරිතය ගොඩ නැගී ඇති අයුරු සිහි ගන්වයි. ”ඔබ වැඩියෙන්ම සතුටු වුනේ කොයි වෙලාවේ ද” (When you were most happy?) සහ ”ඔබ අඩුවෙන්ම සතුටු වුනේ කොයි වෙලාවේ ද” (When were you least happy?) යන ප‍්‍රශ්න දෙකටම කැතරින් දෙන්නේ එකම පිළිතුරකි. එනම් ”මේ මොහොතේ” (now) යන්න ය. ඇගේ පිළිතුර නිරාවරණය කරන්නේ ඇය මුහුණ දුන් උභතෝකෝටිකයේ ස්වභාවය යි. මේ ප‍්‍රශ්න ඇගෙන් ඇසූ ලස්ලෝ අල්මැසි (Laszlo Almasy) කැතරින්ගේ ආදරවන්තයා ය. එහෙත් ඈ ජෙෆ්රි ක්ලිෆ්ටන් (Geoffrey Clifton) ගේ නිත්‍යානුකූල බිරිඳ ය. කැතරින්ට සිය පෙම්වතා සමග එක්වීම යනු සැබැවින්ම වෙන්වීම පෙරදැරි කර ගත් අත්දැකීමකි.
ඉමෙල්ඩා සහ සුගත් අතර පේ‍්‍රමයද තරමක් දුරට හෝ එබඳු බැඳීමකි. පිලිපීනයේ දී නොපිළිගැනුන ද, ඉමෙල්ඩා ඩුබායි හි දී ජෙරමිගේ බිරිඳ ය. එමෙන්ම, ඉමෙල්ඩා පිලිපීනයේ ජීවත් වන දරුවන් දෙදෙනෙකු ගේ මවකි. එහෙත් ඇය සුගත් සමග පෙමින් බැඳෙන්නී ය. ඔහු සමග කැනඩාවට සංක‍්‍රමණය වී යුග දිවි ගෙවන්නට සිහින මවන්නී ය. මෙම නවකතා දෙකෙහිම පේ‍්‍රමවන්තිය ඛේදජනක ලෙස මිය යන අතර පෙම්වතා ශාරීරික චිත්ත පීඩා විඳිමින් තව දුරටත් ජීවත් වෙයි.
මා ඉහතදී ද සඳහන් කළ පරිදි ඉමෙල්ඩා නවකතාව පාඨකයා වෙත මුදා හරින සුඛදායී මෙන්ම දුක්ඛදායී ස්මරණ සහ ආවේග සමුදාය අතිශයින් ප‍්‍රබලය. එහෙත් සෝමසිරි මුණසිංහ නවකතාකරුවෙකු ලෙස සිය අනන්‍යතාවය තහවුරු කරන්නේ එමගින් නොවන බව ය මගේ අදහස. ඊට අමතරව තමා උත්ප‍්‍රාසාත්මක කථනයෙ හි ද ශූරයෙකු බව විදහා දැක්වීමෙන්ය ඔහු මෙම නවකතාවේ ප‍්‍රබල ලෙස සිය සළකුණ පිහිටුවන්නේ. මෙම හැකියාව නවකතාකරුවෙකු ලෙස ඔහු තව බොහෝ දුරකට රැුගෙන යනු ඇතැයි යන්න මගේ විශ්වාසයයි. ඉමෙල්ඩා නිසැක ලෙසින්ම පාඨක අවධානය යොමු විය යුතු නවකතාවක් බව මා පවසන්නේ එනිසා ය.

ලියුමිකරු ගැන
ඇමරිකා එක්සත් ජනපදයේ ඉලිනොයිස් විශ්වවිද්‍යාලයෙන් මානව විද්‍යාව පිළිබඳව ලබාගත් ආචාර්ය උපාධියක් හිමි ආරි ආරියරත්න කොලෙජ් ඔෆ් ඩුමේජ් සහ හාට්ලන්්ඞ් කොමියුනිටි කොලෙජ්හි කීර්තිමත් මහාචාර්යවරයෙකු (Distinguished Professor) වෙයි. ඔහු සංස්කෘතික මානව විද්‍යාවේ කේන්ද්‍රීය සංකල්ප (Key concepts of Cultural Anthropology) නමින් ඉංගිරිසි බසින් පළ කරන ලද පෙළ පොතෙහි කතුවරයා ය. මෙම ඊමේලයෙන් ඔහු සම්බන්ධ කරගත හැකි ය: Ari.Ariyaratne@heatland.edu or ariyarat@cod.edu

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *