ඇන්. ඇම්. ගේ 117 වන උපන් දිනය: විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම කවදාටත් වඩා කාලීනයි

දේශපාලන

ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න
ලංකා සමසමාජ පක්ෂයේ නායක, විශිෂ්ට පාර්ලිමේන්තු මන්ත‍්‍රී, විපක්ෂ නායක සහ මුදල් ඇමති ආචාර්ය ඇන්. ඇම්. පෙරේරාගේ 117 වන ජන්ම දිනය ජූනි 06 වන දින සැමරේ. ඇන්. ඇම්. සහ ඔහුගේ දේශපාලන ගමන් සහකරු ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා ගේ විශේෂණ සහ අනාවැකි ගැන සඳහන් නොවන සතියක් නැති තරම්ය. ඇන්. ඇම්. ට බි‍්‍රතාන්‍යයේ කීර්තිමත් මුදල් ඇමතිවරයෙකු වීමට සුදුසුකම් ඇතැයි ලන්ඩන් ආර්ථික විද්‍යාලයේ ඔහුගේ ගුරුවර මහාචාර්ය හැරල්ඞ් ලැස්ති කී අතර ශ‍්‍රීමත් අයිවෝ ජෙනින්ස් කීවේ ඔහු එරට හොඳ කම්කරු පක්ෂ අගමැතීන්‍ඍත්‍්‍යඛු වනු ඇති බවය. අජිත් සමරනායක කීවේ ඇන්. ඇම්. ”ශ‍්‍රී ලංකාවට නොලැබුණු හොඳම අගමැතිවරයා” බවය. තුන් කෝරලේ ජනතාවට ඔහු සිය සමසමාජ සගයින් සමග එක්වී මැලේරිියා වසංගත කාලයේ ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර බෙදාදී සිය ගණන් ජීවිත බේරා දුන් ”පරිප්පු මහත්තයා”ය. දැරණියගල වත්මන් පනාකුර ග‍්‍රාම නිලධාරී වසම තුල පිහිටි මැලේරියාවට ගොදුරුවූ දුරස්ථ ගම්මානයකට යෑමට ඇන්. ඇම්. සහ ඔහුගේ සහෝදරවරු එළිකළ මාර්ගයක් අදත් හැඳින්වෙන්නේ ”මැලේරියා පාර” ලෙසය. සමසමාජ ව්‍යාපාරයේ හැදුනු වැදුණු අපට ඔහු ”ඇන්. ඇම්. සහෝදරයා”ය. ඇන්. ඇම්. සහ පාර්ලිමේන්තුව අප ඇන්. ඇම්. සමරන මේ මොහොතේ, අති බහුතර ජනතාවගේ ඉල්ලීම වී ඇත්තේ විධායක ජනාධිපති ක‍්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමය. එම ක‍්‍රමය ස්ථාපිත කල 1978 ව්‍යවස්ථාව පිලිබඳ ඉතාම විනිවිද යන විශ්ලේෂණය කලේ ඇන්. ඇම්. ය. ඔහු ඒ පිළිබඳව ”සෝශලිස්ට් නේෂන්” පුවත්පතට ලියූ ලිපි පෙළ පසුව ”1978 ව්‍යවස්ථාව පිලිබඳ විවේචනාත්මක විශ්ලේෂණයක්” නමින් කුඩා පොතක් ලෙස පලවිය. කල්යාමේ දී එය විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ අත් පොත බවට පත් විය.
ඇන්. ඇම්. පාර්ලිමේන්තු ක‍්‍රමය වෙනුවෙන් නොපැකිලව පෙනී සිටීම පුදුමයක් නොවේ. අප රටේ සිටි හොඳම පාර්ලිමේන්තු මන්ත‍්‍රීන් අතර කෙනෙක් වූ ඔහු එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ප‍්‍රංශය සහ ජර්මනියයේ පාර්ලිමේන්තු ක‍්‍රියා පටිපාටි පිලිබඳ කල සංසන්දනාත්මක විග‍්‍රහයට ලන්ඩන් විශ්ව විද්‍යාලය විසින් ඉහල ආචාර්ය උපාධියක් පිරිනැමුණි. වසර තිහක කාලයක් ශ‍්‍රී ලංකාව තුල පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමය දැක්වූ සාර්ථකත්වය බටහිර නිරීක්ෂකයින් පවා මවිත කල බව ඔහු වරක් පෙන්වා දුන්නේය. 1972 ව්‍යවස්ථාවට කල සංශෝධනයක් තුලින් පළමු වරට විධායක ජනාධිපති ක‍්‍රමය හඳුන්වාදීමට සති කීපයකට පෙර ඇන්. ඇම්. මෙසේ ලිවීය: ”වත්මන් ව්‍යුහය සම්පූර්ණයෙන් ප‍්‍රතික්ෂේප කිරීමට තරම් හේතු වන වත්මන් ව්‍යවස්ථාවේ අඩුපාඩු පිලිබඳ පැහැදිලිව සහ සංක්ෂිප්තව විදහා දැක්මක් අග‍්‍රාමාත්‍ය ජේ. ආර්. ජයවර්ධනගේ කතාවල අපට සොයා ගත නොහැක. වර්තමාන ආණ්ඩුක‍්‍රමය නිසා අස්ථාවරභාවය සහ අඛණ්ඩතාවය නොමැතිබව ඇති වන බවට ඔහු ඉදිරිපත් කරන දුබල තර්කය ඒ පිලිබඳ විමර්ශනයකට ඔරොත්තු නොදේ. 1960 මාර්තු මැතිවරණයෙන් පසු අගමැතිවූ ඩඞ්ලි සේනානායක රාජාසන කතාව පරාජයවීම නිසා ඉල්ලා අස්වී ජූලි මස නව මැතිවරණයක් කැඳවීමට සිදුවීම ඔහු සඳහන් කරයි. එසේම 1964 දෙසැම්බර් මස රාජාසන කතා විවාදයේදී බණ්ඩාරනායක මැතිනිය පරාජය වීම සඳහන් කරයි. එහෙත් කෙනෙකුට වැටහෙනු ඇත්තේ ඔහුගේ උදාහරණ දෙක වත්මන් පාර්ලිමේන්තු ක‍්‍රමය තබාගැනීමට හොඳ හේතු බවයි. ඒවායින් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ශක්තිය තවත් තහවුරු වේ. එම අවස්ථා දෙකේදීම පැවති නව මැතිවරණ වලදී ආණ්ඩුවේ ස්වරූපය වෙනස්විය. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නියම වටිනාකම විදහා දැක්වෙන්නේ මෙවැනි තීරණාත්මක අවස්ථාවලදීය. කුමන ප‍්‍රමිතියකින් විනිශ්චය කලද, ඔහුගේ උදාහරණ ඔප්පුකර සිටින්නේ වත්මන් පාර්ලිමේන්තු ක‍්‍රමය පරීක්ෂාවට ලක්කළ විට එහි අඩුපාඩුවක් නොමැති බවය.”
ජනතාව අහෝසියට පක්ෂයි
ජනාධිපති ආණ්ඩුක‍්‍රමය අහෝසි කිරීමේ යෝග්‍යතාව පිළිබඳ යමෙකුට සැක තිබුන්නේ නම්, සිරිසේන සහ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරුන්ගේ ක‍්‍රියාකලාපය නිසා එම සැක දුරුවනු ඇත. ජනාධිපති කාර්ය සාධක බලකායක් තුලින් ක‍්‍රියා කරමින් ජනාධිපති සිරිසේන ග්ලයිෆෝසෙට පලිබෝධනාශකය තහනම් කිරීමෙන් කෘෂිකර්මයට, විශේෂයෙන් තේ කර්මාන්තයට, විනාශකාරී ප‍්‍රතිපල ගෙන දුන්නේය. ඔහු කටයුතු කලේ විශේෂඥ උපදෙස් මත නොව දේශපාලන හිමිනමකගේ උපදෙස් අනුවය. එම හිමි නම සහ වෘත්තීය සමිති ප‍්‍රධානියෙකු වන වෛද්‍යවරයෙකු ගේ බලපෑම මත ශ‍්‍රී ලංකාව 100% ක් කාබනික කෘෂිකර්මය ඇති ප‍්‍රථම රට බවට එක් රැුයකින් පත්කිරීමේ සිය අභිලාෂකාමී වැඩසටහනේ කොටසක් ලෙස කෘෂිරසායන ද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඒකපාක්ෂිකව ගත් තීරණය මහා විපතකින් කෙළවර විය. ඔහුගේ අධීක්ෂණය යටතේ ආර්ථිකය වැරදි ලෙස හැසිරවීමෙන් මුළු රටම අගාධයට පත්වී ඇත.
විකල්ප ප‍්‍රතිපත්ති කේන්ද්‍රය විසින් 2021 ඔක්තෝබර්-නොවැම්බර් කාලය තුල කරන ලද සමීක්ෂණයකට අනුව එයට සහභාගිවූ අයගෙන් අඩකට මදක් වැඩි පිරිසක්, එනම් 50.3% ක්, කියා සිටියේ ජනාධිපතිවරයාගේ බලතල අඩුකර පාර්ලිමේන්තුව බලවත් කල යුතු බවය. ජනාධිපතිවරයාගේ බලතල වැඩිකල යුතු යයි හතරෙන් එකක් කියා සිටියහ. එහෙත් හය මසකට පසු 2022 අපේ‍්‍රල් මස කල සමීක්ෂණයකදී 74% ක්ම කියා සිටියේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කල යුතු බවය. සැලකිය යුතු කරුණක් වන්නේ සහභාගිවූ සිංහල අයගෙන් 74.2% ක්, එනම් ජාතික මට්ටමේ ප‍්‍රතිශතයට වැඩි ප‍්‍රතිශතයක්, එසේ අහෝසි කිරීමට පක්ෂ වීමයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ස්තුති වන්නට ජනතාව දැන් වඩා ප‍්‍රඥාවන්ත වී ඇත. එක්සත් වාමාංශික පෙරමුණ මෑතකදී කල ප‍්‍රකාශයකින් උපුටා දැක්වීම උචිතය: ”විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම ගැන යමෙකුට සැක තිබුණේ නම්, තනි කැමැත්තට ජනාධිපතිවරයා තීරණ ගැනීම වෙනුවට පාර්ලිමේන්තු ක‍්‍රියාවලිය තුලින් සාමූහිකව තීරණ ගත්තේ නම් පසුගිය කාලය තුල ඇතිවූ ශ‍්‍රී ලංකාවේ පෙර නොවූ විරූ තරම් වූ ආර්ථික සහ කෘෂිකාර්මික අර්බුදය සහ නීතිය සහ සාමය බිඳ වැටීම වැළැක්වෙන බව තේරුම් ගැනීමෙන් එම සැක දුරුවනු ඇත.” එහෙත්, විධායක ජනාධිපති ක‍්‍රමයට උමතුවෙන් වස`ග වූ අයද වෙති. එම ක‍්‍රමයෙන් සිංහල බෞද්ධ ආධිපත්‍යය තහවුරු වන බව අන්තවාදී ජාතිකවාදීන් විශ්වාස කරති.
ජනාධිපති වීමේ සිහින දකින්නන් සහ ඔවුන්ගේ ගෝලබාලයින් ගෙන්ද අඩුවක් නොමැත. පළාත් සභා සහ ජනාධිපති ක‍්‍රමය අහෝසිය පළාත් සභා අහෝසිය කල නොහැකි යථාර්ථය බව බලය බෙදීමට විරුද්ධ වූ බොහෝ දේශපාලන පක්ෂ අද පිළිගෙන ඇත. ජනාධිපති ක‍්‍රමය අහෝසියට විරුද්ධ සමහරු, ඇතිවිය හැකි බෙදුම්වාදී ප‍්‍රවණතා වලට මුහුණ දීමට නම් විධායක බලැති ජනාධිපතිවරයෙකු සිටිය යුතුයයි තර්ක කරති. බෙදුම්වාදී සහ වෙනත් අන්තවාදී ව්‍යාපාර වලට සාර්ථකව මුහුණ දුන් පාර්ලිමේන්තු ක‍්‍රමයක් ඇති හොඳම උදාහරණය යාබද ඉන්දියාවයි. පසුගිය පාර්ලිමේන්තුව පත්කළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කාරක සභාව යම් පළාත් සභාවක් සිය බලතල බෙදුම්වාදී ප‍්‍රවණතා සඳහා යොදා ගනු ඇතිය යන සැකය දුරු කිරීමට කල යෝජනාව වූයේ ජනරජයේ භෞමික අඛණ්ඩතාවයට හෝ ස්වෛරීභාවයට පැහැදිලි සහ පවත්නා අනතුරක් යම් පළාතක් තුල ඇති වුවහොත් එයට මැදිහත්වීමට කේන්ද්‍රයට ව්‍යවස්ථාවෙන් බලය පැවරිය යුතුය යන්නය. ඒ අනුව අදාළ පළාතේ ආණ්ඩුකාරවරයා, මහ ඇමතිවරයා, අමාත්‍ය මණ්ඩලය හෝ වෙනත් ආයතනයක බලතල අගමැතිවරයාගේ උපදෙස් මත තමා වෙත පවරාගැනීමට ජනාධිපතිවරයාට බලය ලැබෙනු ඇත. පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක තිබෙන සාමාන්‍ය රීතියට ව්‍යතිරේකයක් ලෙස එසේ බලය පවරා ගැනීම, අගමැතිවරයාගේ උපදෙස් මත නොව, අගමැතිවරයා විමසා කිරීමට ජනාධිපතිවරයාට බලතල පැවරීමට මෙම ලියුම්කරු විරුද්ධ නැත. හදිසි නීති ප‍්‍රකාශනයක් පාර්ලිමේන්තුව අනුමත කරන ආකාරයට එවැනි බලය පවරා ගැනීමද අනුමත කරවා ගත යුතුය. විධායක ජනාධිපති ක‍්‍රමය පවත්වා ගෙන යාම ජාතික ආරක්ෂක්ෂාවට අත්‍යවශ්‍ය බව තව තර්කයකි. ජාතික ආරක්ෂව කෙසේ වෙතත්, මැයි 09 දින හා ඉන් පසු මහජන සාමයවත් ආරක්ෂා කිරීමට ජනාධිපති රාජපක්ෂට නොහැකි විය. අරගලකරුවන්ට පහරදීමට එන මැරයන්ට ගාලූ මුවදොරට ඇතුල්වීමට ඉඩ නොදිය යුතු යයි ඔහු පොලිසියට දුන් පැහැදිලි නියෝග යම් බලවේගයක් විසින් නිශේධනය කර තිබුණි. ඔහුට තම දෙමව්පියන්ගේ ස්මාරකය හෝ ආරක්ෂා කර ගත නොහැකි වූයේ යයි ඔහුගේම ඥාති සොහොයුරෙකු සමච්චල් කර තිබුණි.
අභූත තර්ක
පාර්ලිමේන්තු ක‍්‍රමයට එරෙහි එක් අභූත තර්කයක් වන්නේ ඍජුව පත් නොවූ මන්ත‍්‍රීවරයෙකුට අගමැතිවී විධායක බලය හැසිරවීමට හැකි වන බවය. දිස්ත‍්‍රික්කයකින් පත්වුවත් ජාතික ලැයිස්තුවෙන් පත්වුවත්, අගමැතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබිය යුතුය; නැතහොත් ඔහු ගෙදර යැවෙන අතර ඒ සඳහා ”අගමැති ගෝ හෝම්” විරෝධතාවයක් පිට තිබීම අත්‍යවශ්‍ය නැත. අනෙක් අතට, ඇන්. ඇම්. පෙන්වා දුන් පරිදි සහ ජනාධිපති පේ‍්‍රමදාස ඉවත් කිරීමේ අසාර්ථක උත්සාහයෙන් අප ඉගෙන ගත් පරිදි, ජනාධිපතිවරයා දෝෂාභියෝගයකින් ඉවත් කිරීම ඉතාම අපහසුය. ඍජුව පත් නොවූ අයෙකු ආණ්ඩුවේ ප‍්‍රධානියා වූ අවස්ථා බොහෝය. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය අගමැති ලෙස සිය පළමු ධූර කාලය ගත කලේ සෙනෙට් සභාවේ පත්කළ මන්ත‍්‍රීවරියක් ලෙසය. ඉන්දිරා ගාන්ධි සිය පලමු ධූර කාලය තුල රාජ්‍ය සභා මන්ත‍්‍රීවරියක් වූවාය. අයි. කේ. ගුජරාල්, දේව් ගව්ඩා සහ මනමෝහන් සිං යන ඉන්දීය අගමැතිවරු පත් වූයේ රාජ්‍ය සභාව තුලිනි. මනමෝහන් සිං දස වසරක් අගමැති ධූරය දැරුවේ තමාට කිසිම සම්බන්ධයක් නැති ඇසෑම් ප‍්‍රාන්තයෙන් නම් කල රාජ්‍ය සභා මන්ත‍්‍රී වරයෙකු ලෙසය. ජර්මනියේ චාන්සලර් ධූරය සත් වසරක් දැරූ ගේඞ් රෝඩර් කොට්ඨාශයකින් පත්වී එනවා වෙනුවට පක්ෂ ලැයිස්තුවෙන් පත්වී ඒමට කැමති විය. වැදගත් කරුණ වන්නේ ඔවුන් සියල්ලටම ධූරය දැරීමට හැකිවූයේ බහුතරයක සහාය තිබෙන තාක් කල් පමණක් වීමය. 1964 දෙසැම්බර් මස බණ්ඩාරනායක මැතිනියට බහුතරය අහිමිවීමෙන් පසු පැවති මැතිවරණයේදී ඇය ජය ගන්තද අගමැති වීමට නොහැකි විය.
නොකෙරෙන වෙදකම
විධායක ජනාධිපති ක‍්‍රමයෙන් දේශපාලන ස්ථාවර භාවයක් ලැබෙන බවත්, පාර්ලිමේන්තු ක‍්‍රමය තුල එවැනි ස්ථාවර භාවයක් නොමැති බවත් තව තර්කයකි. ජනාධිපතිවරණයේදී පැහැදිලි වැඩි ඡුන්දයකින් පත්වුනු, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් ද ලබාගත්, 19 වන සංශෝධනයෙන් ඇතිකල සීමා සියල්ලද ඉවත් කරගත් ජනාධිපතිවරයෙකු යටතේ රට අස්ථාවරවනු පසුගිය මාස කීපයේ අප අත්දුටිමු. පාර්ලිමේන්තු ක‍්‍රමයකට යන්නේ නම් ඒ සමගම මැතිවරණ ක‍්‍රමයද වෙනස් කල යුතු බවටද මතයකි. ජනමතය බෙදී විසිරී ඇත්නම් තනි පක්ෂයකට පැහැදිලි බහුතරයක් නොලැබෙනු ඇත. පාර්ලිමේන්තුව ඒ බෙදුණු මතවාද පිළිබිඹු කරන යතාර්ථය වේ. එසේ නම් සැබෑ මහජන මතය විකෘති කරන මැතිවරණ ක‍්‍රමයකට යන්නේ ඇයි? පොහොට්ටු පක්ෂයට සිය සහායක පක්ෂවල සහාය නොමැතිවද පැහැදිලි බහුතරයක් තිබුනේ නම් අද ඇති අර්බුදය මීටත් වඩා ගැඹුරු වනු ඇත. අප ජීවත්වන්නේ සභාග ආණ්ඩු යුගයකය; 1994 න් පසු තිබූ සියලූ ආණ්ඩු සභාග ආණ්ඩුය. යතාර්ථය එයයි. ආණ්ඩුව පිහිටුවන පක්ෂයට හෝ සභාගයට ප‍්‍රසාද ආසන කුඩා සංඛ්‍යාවක් දීමට මෙම ලියුම්කරු විරුද්ධ නොවේ. දිස්ත‍්‍රික්කයට ප‍්‍රසාද ආසනය බැගින් දීමේ අරමුණ වූයේ ආණ්ඩුවට යම් ස්ථාවර භාවයක් දීම වුවද, එම ප‍්‍රසාද ආසන පක්ෂ ගණනාවක් අතර බෙදී යාමෙන් එයද ඉටු නොවීය. ප‍්‍රසාද ආසන සංඛ්‍යාව අවසාන ප‍්‍රතිපලය විකෘති කරන තරම් විශාල නොවිය යුතුය. සෝල්බරි ව්‍යවස්ථාව යටතේ පත්කළ මන්ත‍්‍රීවරු හයක් විය. රටට හෙනයක් වී ඇති විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා නව මැතිවරණ ක‍්‍රමයක් ඇති කිරීම පූර්ව-කොන්දේසියක් නැතහොත් ”නොකෙරෙන වෙදකමක්” නොවිය යුතුය. විධායක ජනාධිපති ක‍්‍රමයේ ආදීනව මතුවන හැම අවස්ථාවකම ඇන්. ඇම්. ඒ පිලිබඳ පුරෝකථනය කල ආකාරය අපට මතක්වේ. විධායක ජනාධිපති ක‍්‍රමය අප රට විනාශ මුඛයට රැුගෙන ගොස් ඇති මේ අවස්ථාවේ එය සම්පූර්ණයෙන් අහෝසි කිරීමට කටයුතු කරමු.
(ලියුම්කරු එක්සත් වාමාංශික පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකයෙකි.)

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.