(ටී.කේ.ජී.කපිල)
රුපියල් කෝටි 7කට අධික වටිනාකමින් යුතු කොත්තමල්ලි තොගයක් යූක්රේනයෙන් මිලදී ගැනීම සදහා ශ්‍රී ලාංකික ආනයනයකරුවන් පිරිසක් කළ ඇනවුමකට, ඔවුන් රවටා කෘෂිකාර්මික ශාක අපද්‍රව්‍ය තොගයක් කොළඹ වරායට එවා තිබියදී ශ්‍රී ලංකා රේගුවේ පාරිභෝගික ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද(24) සොයාගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේය.
යූක්‍රේනයේ ඇග්‍රොනිකා වෙළෙඳ සමාගමෙන් එය ඇණවුම් කර තිබුණේ පිටකොටුව ප්‍රදේශයේ ආනයන ව්‍යාපාරිකයන් 8 දෙනෙකි.
ඒ අනුව මේ මාසයේ, 10 වැනි දින බහාලුම් 08 ක් ද ,21 දින තවත් බහාලුම් 20 ක් ද යූක්‍රේනයේ සිට කොළඹ වරායට පැමිණ තිබේ. බහාලුම් 24 ක් කොළඹ වරායේත් , තවත් 04 රේගු බහාලුම් පරීක්ෂා කිරීමේ අංගනයේත් මේ වනවිට ගබඩා කර ඇත.
මෙම කොත්තමල්ලි සදහා යූක්‍රේනයේ ආහාර සුරක්ෂිතතාව සහ පාරිභෝගික ආරක්ෂක ආයතනය විසින් සුවස්ථතා සහතිකයක් ද
ලබා දී තිබිණි.බහාලුම් රැගෙන ආ නැව්වල නෞභාර පත්‍රවල මෙන්ම අනෙකුත් ලියකියවිලිවල ද මේවා තුළ කොත්තමල්ලි බවට සටහන් වී තිබිණි.
අද පස්වරුවේ කොළඹ වැලිගම්පිටිය රේගු බහාලුම් පරීක්ෂා කිරීමේ අංගනයේ දී මෙම බහාලුම් පරීක්ෂා කළ අතර , එයට රේගුවේ උසස් නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා පරිසර අධිකාරියේ නිලධාරීහු පිරිසක් ද සහභාගී වී සිටියහ.
එහිදී මෙම කෘෂිකාර්මික ශාක අපද්‍රව්‍ය මෙසේ ආනයනය කිරීම 1999 අංක 35 දරන ශාක ආරක්ෂක පනත යටතේත් නීතිවිරෝධී වන බව ප්‍රකාශ වූ අතර , මේ පිළිබඳව පැවැත්වෙන රේගු විමර්ශන වලින් පසුව මෙම බහාලුම් 28 යළිත් යූක්‍රේනය වෙත ප්‍රති අපනයනය කිරීමට නියමිත බව ද ප්‍රකාශ විය.
(Lankadeepa News)