මුන් වහන්සේ පිළිබඳව මව්බිම පුවත්පතේ 2019 අගෝස්තු මාස පළමු ඇගයීමේ සඳහන් වූයේ මෙසේය.
ළකඹර සසුන් කෙතෙහි පිරිපුන් සඳසේ වොරැඳි
අග්‍රගන්‍ය මහා පඞිරුවනක් ලෙසින් දෙස් විදෙස් හි
තම පාණ්ඩිත්‍යෙයන් කිතුගොස පැතිරූ කීර්තියෙන් පැවිදි
පඬිරුවනක්
මේ අන් කිසිවකු නොව මහාචාර්ය කොටගම වාචිස්සර හිමිපාණන් ය.
මට වාචිස්සර හාමුදුරුවන් හමු වන්නේ නවවැනි පංතියේ ඉගෙන ගනිද්දී ය. ඒ කොළඹ ආනන්ද විද්‍යාලය තුළදීය. උන්වහන්සේ එංගලන්තයේ ආචාර්ය උපාධිය හමාර කොට ලංකාවට පැමිණි වකවානුවේදීය. උන් වහන්සේගේ ප්‍රථම පත්වීම ලැබුණේ ගුරුවරයකු වශයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයට ය.
බුද්ධාගම හා ඉංග්‍රීසි භාෂාව ඉගැන්වීම උන්වහන්සේට භාර වී තිබුණේය. සාමාන්‍ය පෙළ පූර්ව වසරේ ශිෂ්‍යයන් වූ අප අතර ප්‍රේමකීර්ති ද අල්විස්, රංජිත් ලාල් වැනි ලංකාවේ ප්‍රසිද්ධ කලාකරුවන් ද උන්වහන්සේගේ අවධානයට හා ආදරයට පාත්‍ර වූ අය අතර වූහ. උන් වහන්සේ නිතරම පංතියට පැමිණියේ තමන්ගේ කන්නාඩි කුට්ටමේ ඇණ තද කරමිනි. දිනක් හදිසියේම උන්වහන්සේ පන්ති කාමරයට පැමිණියේ අනපේක්ෂිත වේලාවක ය.
මා ළඟ උන් ප්‍රේමකීර්ති කීවේ.
‘අන්න සරා – ගෝඨයිම්බර එනවා – මොකද දන්නෙ නැහැ කියාය.’
එය පැවසූ සැනින් උන්වහන්සේ පන්ති කාමරයට ප්‍රවිශ්ට වූ බැවින් කිසිවක් නොදත් මා හට ඉතා හයියෙන් සිනහවක් ජනිත වූයේ ය. ගෝඨයිම්බර කීවේ කාටද යන්න මට වැටහුනේ එවිටය.
වාචිස්සර හාමුදුරුවෝ අසාමාන්‍ය ප්‍රමාණයේ උත්තුංග දේහධාරී ප්‍රබල හා සිත් දිනාගන්නා පුද්ගලයකු වූයේය. එතුමන්ට ගෝඨයිම්බර යැයි පැවසීමට එක් අතකින් ගෞරවයක් මෙන්ම අනෙක් අතින් උපහාසයට කරුණක්ද විය. මෙබඳු නම් පටබැඳීම ප්‍රේමකීර්තිගේ පුරුද්දක් වී තිබුණි.
මගේ සිනහව ලෙහෙසියෙන් මැඩ පවත්වා ගැනීමට මට නොහැකි විය. ඒ නිසාම මගේ හිනාව පිළිබඳව විමසිලිමත් වූ උන්වහන්සේ මා ළඟට පැමිණ ‘චන්ද්‍රසේකර මොකද මේ හිනාවෙන්නේ’කියා ප්‍රබල ස්වරයෙන් විමසුවේය.
බොරු කීම වරදක් වශයෙන් අපට හඳුන්වා දී තිබූ එවන් අවධියක මට ඇත්ත කියන්නට සිදු විය.
‘හාමුදුරුවනේ- ප්‍රේමකීර්ති කිව්වා ඔන්න ගෝඨයිම්බර එනවා කියලා’ මම පැවසීමි.
‘ඔය මං ගැන ද කීවේ’ උන්වහන්සේ පෙරළා ඇසුවේ ය.
‘එහෙමයි’ මම කීවෙමි.
‘තමුසෙල දන්නවද ගෝඨයිම්බරගේ වීරකම්’ යනුවෙන් අසමිනි උන්වහන්සේ ද හිනා උනේ එදා පාඩමට ආරම්භයක් සපයමිනි.
‘වාචිස්සර හාමුදුරුවෝ’ යන සුරතල් නාමයෙන් අප කා අතරත් ජනප්‍රිය වූ උන්වහන්සේ විචාරාත්මකව බුද්ධාගම උගන්වන්නට පටන් ගත්තේ ඒ අවධියේය. තිස්තුන් කෝටියක් දෙවි දේවතාවෝ පිළිබඳව මෙන්ම දහඅට රියන් බුද්ධ ප්‍රතිමා පිළිබඳව උන්වහන්සේ තුළ ප්‍රකාශ වූයේ උපහාසාත්මක විග්‍රහයකි. මේවා ඇත්ත නම් -‘ඒ කාලේ ඉණිමං තියලා වෙන්න ඇති බුදුන්වහන්සේට දන් දෙන්න ඇත්තේ’ කියලා උන්වහන්සේගෙන් නිතර පිටවූ අදහසකි.
සෝමපාල බණ්ඩාර රත්නායක නිලමේ නමින් උපත ලැබූ තොටගම වාචිස්සර ස්වාමීන් වහන්සේ මූලික අධ්‍යාපනය ලැබුවේ පින්නවල ද්වි භාෂා පාඨශාලාවෙනි. 1930 ජූනි 27 දින උන්වහන්සේ පැවිදි ජීවිතයට ඇතුළත් වූ වග සැලයි. 1943 දී ප්‍රාචීන පණ්ඩිත විභාගය සමත් වූයේ දිවයිනේම ප්‍රමුඛයා ලෙස ය. උන්වහන්සේ ඉංග්‍රීසි උගත්තේ මහනුවර ධර්මරාජ විද්‍යාලයේදීය. 1953 දී ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා 1961 දී ආචාර්ය උපාධිය ද ලබා ගත්තේය.
උන්වහන්සේගේ ආචාර්ය උපාධිය සඳහා ලියූ නිබන්ධනය වූයේ ‘වැලිවිට සරණංකර සහ බුද්ධ ධර්මයේ පුනර්ජීවනය’ යන ග්‍රන්ථයයි. අදාළ මාතෘකාව පිලිබඳව මුලින්ම ලියවුනු සාරගර්භ ශාස්ත්‍රීය ග්‍රන්ථය මෙය වන අතර 1976 දී මහාචාර්ය කිත්සිරි මලල්ගොඩ ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයට පිරිනැමූ Buddhist in Sinhalese society – 1750-1900″ the story of religion revolution change නැමැති ග්‍රන්ථය මේ පිළිබඳව සමාජ විද්‍යාත්මකව ලියැවුණු දෙවැනි ග්‍රන්ථය වී ඇත.
උන්වහන්සේ 1969 අගෝස්තු 19 දින අප අතරින් වියෝවන තුරුම ජපුර විශ්ව විද්‍යාලයේ බුද්ධ ධර්මය හා පාලි භාෂාව පිළිබඳ මහාචාර්ය ධූරය දැරුවේය. උන්වහන්සේ ජීවත් වූයේ අවුරුදු 52 ක් පමණ කෙටි කාලයකි.
තොටගම වාචිස්සර හිමිපාණන් තුළ දක්නට ලැබුණු සුවිශේෂීය පෞරුෂ ලක්ෂණ රාශියකි. කිවයුතු දේ නොවළහා මූණටම පැවසීම උන්වහන්සේගේ එක් භූමිකාවකි. සමාජවාදී දර්ශනය මැනවින් හදාරා බුද්ධකාලයේ සංඝ ශාසනය ප්‍රජාතන්ත්‍රවාදීව පවත්වාගෙනයාම පිළිබඳව උන්වහන්සේ දේශනා කළේ හරියාකාරවම එම කාලයේ ජීවත් වූවකු පරිද්දෙනි. ධනවාදී සමාජයේ අඩු ලුහුඞුතාව, තාඩන පීඩන පිළිබඳව උන්වහන්සේ පන්ති කාමරවලදී මෙන්ම මහජන දේශනවලදී ද කෙලින් ප්‍රකාශ කර සිටියේය. සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය උන්වහන්සේ අනුශාසක වරයෙකු වශයෙන් සැලකූ බව රහසක් නොවේ.
ඕනෑම තරාතිරමක පුද්ගලයකු සමඟ හිතවත්කම් පැවැත්වීමත්, බුද්ධිමත් සාකච්ඡාවකට පෙළඹීමත් උන්වහන්සේගේ මහඟු චරිත ලක්ෂණවල ගැබ් වී තිබුණි. කුල භේද, ජාති භේද, වර්ග භේද, සහ ස්ත්‍රී පුරුෂ භේද උන්වහන්සේගේ මාතෘකාව වූයේ නැත. මානව සංහතිය එක් වර්ගයක් වශයෙන් සලකා ඔවුන්ට ඉදිරියට යාමට ආගම ධර්මය අනුව මග පෙන්වා දීමට උන්වහන්සේ නිතර උත්සාහ කළ සේක. ඇතැම් උදවිය පහත් කොට සැලකීමට උන්වහන්සේ ප්‍රතික්ෂේප කළ අතර එතුමා තමන් සතුව තිබූ අසාමාන්‍ය දැනුම් සම්භාරය පිළිබඳව කිසිසේත් උඩඟු නොවූ පුද්ගලයෙකු වූයේ ය.
උන්වහන්සේගේ මරණය පිළිබඳ විවිධ මතිමතාන්තර එකල පැතිරී තිබුණි. උන් වහන්සේගේ විරුද්ධ මතධාරීන් උන්වහන්සේ ඝාතනය කිරීමට ආරෝග්‍ය ශාලාවේ දී කුමන්ත්‍රණය කළ බව එක් පුවතකි. හර්නියා ශල්‍යකර්මයට අවශ්‍ය තරම් නිර්වින්දන බෙහෙත් නොලැබීම තවත් හේතුවක් වශයෙන් ප්‍රචලිත වූයේ ය. ඇත්ත කවරක් වුවද උන්වහන්සේගේ හදිසි අපවත්වීමෙන් ලංකාවට සිදුවූයේ ඉතා බලගතු පහසුවෙන් පිරිමැහිය නොහැකි පාඩුවකි.
වාචිස්සර හාමුදුරුවෝ අප ශිෂ්‍ය සමූහයාට ඉතා සෙනෙහෙබර පියකු වූවා පමණක් නොව අසමසම ගුණාංගවලින් සමන්විත ගුරුවරයෙකුද වුයේය. ගුරුවරයකු වශයෙන් ශිෂ්‍යයන් ශාවකයන් පමණක් කරන්නට උන්වහන්සේ මැළි වූහ. ශිෂ්‍යයන් විචාරාත්මක දේවල් උගත යුතු බව උන්වහන්සේ නිතර කියා පෑහ. ප්‍රශ්න නොනඟන ජාතියකට හෝ පුද්ගලයකුට යා හැකි දුර ඉතා කෙටි බව උන්වහන්සේ දේශනවලදී පැහැදිලි කර දුන්හ. ‘පටිපූච්ඡා ව්‍යාකරණය’ නැතිනම් ප්‍රශ්නයකට තවත් ප්‍රශ්නයකින් උත්තර දීම වාචිස්සර හිමියන්ගේ පුරුද්දක් වී තිබුණි.
මෙවන් ගුරුවරු අදත් ඇත්නම් ඒ ලංකාවට මහා සම්පතක් වන්නේය. එවන් වූ යෝධ පුරුෂයන් හා අභීතව ප්‍රශ්න කරන පුරුෂයන් හා ස්ත්‍රීන් ලංකාවට අද බෙහෙවින් අවශ්‍ය වන්නේය. මෙවන් යතිවරයන් ඒ තත්ත්වයට පත් වූයේ කෙසේද යන්න අද නව තරුණ පරම්පරාවට හඳුන්වා දීම උන්වහන්සේගේ ගෝලබාලයන්ගේ වගකීම වේ යැයි මම කල්පනා කරමි. උන්වහන්සේගේ ධර්ම දූත සේවයේ ආදර්ශය ලැබූ අය අතර ලන්ඩන්, රුසියානු, මොංගෝලියානු, ජර්මන් හා ඉන්දියානු පුරවැසියෝ ද එමටය.