ඇපලෝ 11 ඓතිහාසික සඳ තරණ මෙහෙයුමේ, “අමතක කරන ලද අභ්‍යවකාශගාමියා” ලෙස නම කියවුණු මයිකල් කොලින්ස්, මිහිමතින් සදහටම නික්ම යාමේ ශෝකජනක පුවත නිවේදනය කරමින් The Guardian වෙබ් අඩවිය එසේ සටහන් තබා තිබිණි. එවකට බිලියන හතරකට ආසන්න සමස්ත ලෝකවාසී ජනතාවක් විශ්මිතව ඇළලෙමින්, ඇසි පිය නොහෙළා බලා සිටි තීරණාත්මක මොහොතේ, තම සගයින් දෙදෙනා නාඳුනන පොළවක පා තබා යන අසිරිය ආසන්නව සිට හැඟුම්බරව අත්විඳිමින්, චන්ද්‍ර කක්ෂය තුළ තනිව බලා සිටි මිනිසා එතැන් සිට ගතවූ දශක පහ පුරාවටම තාරකා අතර සැඟවෙමින්, වීර කාව්‍යයන් තුළ නොතකා හැරෙමින් වුවත් කිසිදා කිසිවෙකුට සම කළ නොහැකි වූ අභීත කර්තව්‍යයක සාඩම්බරය හද තුළ දරා උන්නේ ය.
ධූලියෙන් පිරි සඳ මතුපිටට ගොඩ බැසීම සඳහා, ඊගල් චන්ද්‍ර යානය මුදාහළ මොහොතේ පටන් චන්ද්‍ර පෘෂ්ඨයට සැතපුම් හැටක් ඉහළ කක්ෂයේ හුදෙකලා වූ කොලින්ස්, කොලම්බියා ආඥා මොඩියුලයේ සංකීර්ණ මෙහෙයුම් ආම්පන්න රැසක් මැද අවිවේකී වූත්, අවිනිශ්චිත වූත් පැය විසි එකක දුෂ්කර කාල පරිච්ඡේදයක් ගෙවා දැම්මේ ය. නීල් ආම්ස්ට්‍රෝං සහ එඩ්වින් ඕල්ඩ්‍රින් මිනිස් ඉතිහාසයේ නව පරිච්ඡේද ලියමින්, හූස්ටන් හි නාසා පාලක මැදිරියට සඳ මතුපිට චමත්කාරය විස්තර කරමින් සහ ඇමරිකානු ජනපතිවරයාට දුරකථන ඇමතුම් ලබා දෙමින් අමරණීයත්වයට එසැවෙමින් සිටියදී, තනිව සඳ වටා ගමනේ යෙදී සිටි සෞන්දර්යවාදියා තම දෑස් ඉදිරියෙන් පායා එමින් තිබූ මාතෘ ග්‍රහලෝකයේ අසිරිය පිළිබඳ කාව්‍යාත්මක වර්ණනා පෘථිවිය වෙත නිරන්තරව පා කර එව්වේ ය.
“ඒ කුඩා, දිලෙන, නීල සහ ධවල පැහැති ග්‍රහ වස්තුව, අතිශයින්ම අලංකාර වූත්, නිසංසල වූත් අප සැමගේම නිවහන, මා ඉදිරියෙන් පැහැබරව නැඟෙමින්…”
සිය දෑස් මානයෙන් පෙනි පෙනී තිබියදීත්, සඳ මතුපිට පහස නොලබාම හැරී එන්නට සිදුවූ නමුත්, චන්ද්‍රයාගේ අඳුරු කලාපය, එනම් පෘථිවියට ප්‍රතිපක්ෂව පිහිටා ඇති පෙදෙසට ඇතුළු වෙමින් එතෙක් මිනිසෙකු විසින් තරණය කළ දීර්ඝතම ගමන් මග සනිටුහන් කළ කොලින්ස්, ඒ මොහොතේ කිසිදු පෘථිවිවාසියෙකු අත් නොවිඳි පරිදි, චන්ද්‍ර මෙහෙයුමේ වඩා සංවේදී අවස්ථාවන් පියවි ඇසින් බලා සිටි මිනිසාද වෙයි. සෑම පැය දෙකකකටම වරක් චන්ද්‍රයා වටා ගමන් කිරීමේදී, එහි අඳුරු කලාපයේදී ඇතිවන සන්නිවේදන සබඳතා සහමුලින් ඇණහිටීම හේතුවෙන්, අහන්නට කිසිත් නැති, දකින්නට කිසිත් නැති අඳුරු සක්වලක ඔහු ඉතා සන්සුන්වත්, උපේක්ෂා සහගතවත් හුදෙකලාව බලා සිටියේ ය.
ඇපලෝ මෙහෙයුමෙන් පසු අතිශය කාර්යබහුල වීමෙන් සහ පමණ ඉක්මවූ ජන ප්‍රසාදයට ලක් වීමෙන් හානියට පත් ජීවන පැවැත්මෙන් පීඩා විඳි තම ගමන් සගයින්ට සපුරා වෙනස් මඟක් ගත් කොලින්ස්, චන්ද්‍ර කක්ෂයේ ගෙවා දැමූ නිහඬ නමුත් ප්‍රීතිමත් මානසිකත්වයම සිය ඉදිරි ජීවිතය වෙත අනුයුක්ත කරගත්තේ ය.
අභ්‍යවකාශ තාක්ෂණයේ නව මං සොයා යනු පිණිස, සිය බුද්ධිමය ශ්‍රමය ජීවිතාවසානය දක්වා ලබා දෙමින්, මානව වංශයේ රන් සලකුණු තැබූ නමුත් ප්‍රතිරූප උත්කර්ෂයෙන් නොසැලුණු නිහඬ ගගනගාමියා මෙතැන් පටන් පුරාවෘත්තයකි. තුරු මුදුන් ඉහළින් සඳ පායා දිලෙන සෞම්‍ය සිහිලැති රාත්‍රීන් හිදී නැවත නැවතත් සිහි කැඳවෙන, අපගේ කුඩා කාලය ගවේෂණාත්මක ආහ්ලාදයෙන් පිරවූ සුධීරමත් මිහිතලවාසියෙකු පිළිබඳ නැඟෙන ස්තූතිපූර්වක මතක සැමරුමකි.
” මම වඩාත් පීඩාවට පත් වුනේ, සඳ ගමන අසාර්ථක වීමවත්, අපට සඳ කරා යාමට, එසේත් නැත්නම් යළි පෘථිවිය කරා ඒමට නොහැකිවීමවත් පිළිබඳ කල්පනා කිරීමෙන් නෙමෙයි. නීල් සහ ඕල්ඩ්‍රින් දෙදෙනා රැගත් ඊගල් යානයට යළි ආඥා මොඩියුලය කරා ඒමට නොහැකි වී, මට පමණක් පෘථිවිය කරා එන්නට සිදු වූවොත් යන සිතිවිල්ලෙනුයි. මම මොකක්ද පෘථිවියේ මිනිසුන්ට කියන්නෙ. ගමන් සගයින් සඳ මත සදහටම අතරමං කර තනියම පෘථිවියට ගොඩ බහින බියගුල්ලෙක් කියා ඔවුන් මට පරිභව කරාවි.”
~ Michael Collins (October 31, 1930 – April 28, 2021)
හිරාන් ද සේරම්
(මුහුණු පොත් පිටුවෙන් උපුටා ගන්නා ලදී.)