‘ආණ්ඩුව පාස්කු ප්‍රහාරයේ විමර්ශකයින් දඩයමක’ -රැඩිකල් සෙන්ටර්

දේශපාලන

පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් නීතිය ඉදිරියට ගෙන ඒමට වඩා ආණ්ඩුව සහ පොලිසිය උත්සුක වී ඇත්තේ එහි විමර්ශන කටයුතු කළ නිලධාරීන් සහ

පාස්කු ප්‍රාහරයට යුක්තිය ඉල්ලා සිටින ක්‍රියාධරයන් දඩයම් කරන්නට වීම ඛේදවාචකයක් බව ‘රැඩිකල් සෙන්ටර්’ පවසයි.

හිටපු අමාත්‍ය මංගල සමරවීර විසින් ආරම්භකළ ‘රැඩිකල් සෙන්ටර්’ ව්‍යාපාරය ඊයේ (10) මාධ්‍ය හමුවක් කැඳවමින් එම කාරණය අවධාරණය කර සිටියේය.

”අපි දැඩිව ආණ්ඩුවට අවධාරණය කරනවා, සාධාරණ විමර්ශනයකට තියෙන ඉඩකඩ තහවුරු කරන්න කියල වගේම, පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් නීතිය ඉදිරියට ගේන්න කටයුතු කරනවා වෙනුවට ඒ පිළිබඳ විමර්ශනය කරපු නිලධාරීන් වන ශානි අබේසේකරගෙන් පළිගන්න ගන්න උත්සාහයන් නතර කරන්න කියල. ” මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ රැඩිකල් සෙන්ටර්’ කැඳවුම්කාරිනි ජයනි අබේසේකර පැවසුවාය.

”වත්මන් ආණ්ඩුව බලයට පත්වුනාට පස්සේ ශානි අබේසේකරට එරෙහිව ක්‍රියාක්මක වුන හිංසනයේම දිගුවක් හැටියටයි , පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන නිසි ලෙස සිදුවෙලා නෑ කියල කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරල තියෙන බී වාර්තාව අපි දකින්නෙත්.

දැන් ශානි අබේසේකර වගේම CIDය බාරව හිටපු නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්නත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කරල තියෙන පෙත්සම් දෙකෙන්ම පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණ නොවුන අන්දමේ විශාල සාක්ෂි සහ තොරතුරු ප්‍රමාණයක් හෙළිදරව් වෙලා තිබෙනවා.

විශේෂයෙන්ම රාජ්‍ය බුද්ධි අංශය සහ හමුදා බුද්ධි අංශ CID විමර්ශනයන් නොමඟ යවන්න කටයුතු කරල තියෙන ආකාරය පිළිබඳව.

පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා ?

එහෙම තත්ත්වයක, දැන් මේ ශානි අබේසේකරගේ පෙත්සම විමර්ශනය කරන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පත් කරල තියෙන නිලධාරියා තමයි සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා කියන්නේ.

ඔහු කවුද කියල අපි බැලුවොත්, ඔහු තමයි වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් ඝාතනය සම්බන්ධයෙන් චෝදනා ලබලා මරණ දඬුවම නියම වූන හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවාගේ බාල සහෝදරයා.

වැලිකඩ සිරකරු ඝාතනය සම්බන්ධයෙන් වන විමර්ශනයන් සිදුකළ නිලධාරියා ශානි අබේසේකර කියන එක අමතක නොකළ යුතුයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න CID යෙහි ප්‍රධානියාව සිටියදි සිය සහෝදරයාට ඇප ලබාගන්න මෙරිල් රන්ජන් ළමාහේවා තමන් හමුවට ඇවිත් ඉල්ලීමක් කළා කියල ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරල තියෙන පෙත්සමෙත් පැහැදිලිව සඳහන් කර තිබෙනවා.

දැන් මෙහෙම වාතාවරණයක ශානි සම්බන්ධව සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න තියෙන ඉඩ මොකක්ද?

මෙතන බැඳියාවන් අතර විශාල ගැටුමක් තියෙනවා. මේ ඥාති සම්බන්ධය, සාධාරණ අපක්ෂපාතී විමර්ශනයකට බරපතළ බාධාවක් වගේම ශානි අබේසේකරගේ ජීවිතයට අනතුරක්. ” ජයනි අබේසේකර මාධ්‍ය අමතමින් වැඩිදුරටත් පැවසුවාය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *