දැවැන්ත දේශපාලනික මංකොල්ලකාරීත්වයක හා තුන් කල් නොදක්නා දේශපාලන නායකත්වයක සාමූහික එකතුවෙන් රටක් වැටිය හැකි අන්තයටම අපේ මව්බිම අද වට්ටවා තිබේ. පසුගියදා ගම්පහ ප‍්‍රදේශයේ අපේ හිතවතියකට ක්ෂණිකව හැදුනු හෘදයාබාධයකට අවශ්‍ය බෙහෙත් නොමැතිව ඇය මිය ගියාය. තවත් අපේ විදේශ සේවයේ නියුතු හිතවතෙක් තමන්ට ස්වීඩනය වැනි සුවපහසු රටකට ලැබුණු පත්වීම දුෂ්කර චෙන්නායි නුවරට හදාගත්තේ පිළිකා රෝගයෙන් දුක් විඳින තම පියාට අවශ්‍ය බෙහෙත් ඉන්දියාවේ සිට එවීම පහසු වනු පිණිස ය. මේ අප දන්නා සමීප තොරතුරුය. බෙහෙත් හිඟය නුදුරු අනාගතයේ අපේ රටේ විශාල මරණ සංඛ්‍යාවකට හේතු කාරක වනු ඇත. බෙහෙත් හිඟයට ඩොලර් නැතිකම පමණක් නොව තිබූ ඖෂධ නිසි කළමනාකාරිත්වයකින් යුතුව ගබඩා නොකිරීම ද හේතු කාරක වූවයි කියනු ලැබේ. එයින් කියවෙන්නේ දේශපාලන ක‍්‍රමවේදයේ අකාර්යක්ෂමතාව පමණක් නොව රාජ්‍ය සේවයේ ද ඇති අකාර්යක්ෂමතාවයි. රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව යනු දේශපාලන අකාර්යක්ෂමතාවය නිසා පැන නඟින්නකි. නව අගමැති තුමා ජාතිය අමතමින් පවසන්නේ අනිවාර්යෙන් ජූනි මාසයෙන් පසුව මහා ආහාර හිඟයකට හා ආපදා තත්ත්වයකට රට මුහුණ දෙන බවයි. ඒ බව කීමට අගමැතිවරයෙකු අවශ්‍යද? ”ගෝඨා ගෝ හෝම්” ජන අරගලය විස්ථාපනය වූයේ හිටපු අගමැතිතුමාට බලය අතහැර යාමට සිදු වීමෙන් හා ප‍්‍රධාන හා අප‍්‍රධාන දේශපාලනඥයන් රැුසකගේ දේපොළ ගිනිබත් කරමිනි. සුඛෝපභෝගී මන්ත‍්‍රී වාහන වෙනුවට ඇල්ටෝ කාර්වලට තෙල් මන්ද මේරු මන්ත‍්‍රී ශරීර පත බෑවුණි. දිට්ඨධම්මවේදනීය කර්මය අප ඇස් පනාපිටම පළ දෙමින් තිබෙන්නේය.
කැනඩාවේ පදිංචි මගේ සමීප උගත් මිතුරෙකු ලංකාවේ ප‍්‍රවෘත්ති නරඹමින් හඬා වැටෙන බව මම දනිමි. එමෙන්ම තවත් උගත් මිතුරෙකු ලංකාවේ වත්මන් පාලනය යුක්තිසහගත කරමින් වට්ස් ඇප් උදෘත එවයි. සුසාධිත පුරවැසි සමාජයක ජීවත් වෙන දෙදෙනෙකු දෙවිදිහකට තම මව් රටේ අර්බුදය විඳගන්නේ එසේය.
අපේ විශ්වාසයේ හැටියට ලංකාවේ දේශපාලනඥයන් බොහොමයකට පවත්නා අර්බුදයේ ගති ස්වභාවයන් ගැන හරිහැටි වැටහීමක් නොමැත. ඔවුන් සිතන්නේ මේ අර්බුදයට තමන්ගේ දේශපාලන හැසිරීම වග නොකිව යුතු බවයි. අන්තර්කාලීන ආණ්ඩුවක් තනාගෙන ඒ සඳහා හැකියාවක් සහිත සීමිත කැබිනට් මණ්ඩලයක් සකස් කරගෙන මේ අර්බුදයෙන් යම් ප‍්‍රමාණයකට වත් රට ගලවා ගැනීමක් සිදු කරතැයි වත්මන් අගමැතිවරයා පත් වීමෙන් සමහර ජනයා බලාපොරොත්තු විය. එහෙත් පරණ ගසාකෑ ඇමතිවරුම කිසිදු හැදියාවක් නැති පුද්ගලයින් ම පොරේට ඇමතිකම් ගනිද්දී එවැනි උත්සාහයක් නැති බවත් සිදුවන්නේ හිසරදයට කොට්ට මාරු කිරීමක් පමණක් බවත් පෙනෙන්නට තිබේ. අගමැතිවරයා දැනුමක් හා රාජතාන්ත‍්‍රික හසල බවක් සහිත පුද්ගලයකු බවට සැකයක් නැත. ඒ ගැන යම් විශ්වාසයක් ඔහුගේ විරුද්ධවාදීන්ට පවා තිබේ. එහෙත් දැන් පෙනෙන්නට තිබෙන්නේ රනිල් අගමැතිවරයාගේ ප‍්‍රමුඛ කාර්යය වී තිබෙන්නේ රාජපක්ෂවරු නිරුපද්‍රිතව බේරා ගැනීමත්, තමන්ගේ ප‍්‍රධාන විරුද්ධවාදියා වන සජිත් පේ‍්‍රමදාස ප‍්‍රමුඛ සජබ විනාශ කිරීමත්, ඒ තැනට නැවත ඞීල් හා උපක‍්‍රමික දේශපාලනයක් මගින් එජාපය ගෙන ඒමත් බවය. ඒ කාරණා තුන අතුරින් මුල් කාරණා දෙකම දැනට යම් පමණකට සාර්ථක ව තිබේ.
අර්බුදයේ ස්වරූපය හා එහි මූල බීජයෝ
ලංකාව වනාහි විශේෂයෙන් 1977න් ඇරඹි දේශපාලන යුගය රටට ඔබින සමාජ ආර්ථික දිවිපෙවෙත වෙනුවට අධිසුඛෝපභෝගී හා නාස්තිකාර දිවිපෙවෙතක් තෝරා ගත් රටකි. 1977න් පසුව නිදහසෙන් පසු ආරම්භ වූ රටේ කෘෂිකර්මයට හා දේශීය කර්මාන්ත නගා සිටුවීමේ රාජ්‍ය දිරිදීම් වෙනුවට සේවා ආර්ථිකයක් තෝරා ගත්තේය. කෘෂිකර්මය හා බැඳුණු කෘෂි ව්‍යාප්තිමය සේවාවන්, වී අලෙවි මණ්ඩලය, අලෙවි කිරීමේ දෙපාර්තමේන්තුව ආදිය අඩපණ කර දමන ලදී. වගා කිරීමට ඉඩම් නොමැති සමස්ත දේශයම මුඩු බිමක් වන සිංගප්පූරුව සිය ආදර්ශයට ගැනීමට දේශපාලකයෝ යන්ත දැරීය. රාජ්‍ය සේවයේ වගවීම හා වගකීම පිළිබඳව තිබූ ආචාරධර්ම විනාශ කෙරිණි. එය සිදු වූයේ දේශපාලකයන් සිය ආචාරධාර්මික ජීවිතය ස්වකැමැත්තෙන් අහෝසි කර ගැනීමත් සමගය. ලංකාවේ 1977 දක්වා තිබුණු කෘෂිකාර්මික දිරිදීම් තවදුරටත් පවත්වාගෙන ගියා නම් ලංකාවේ සාගතයක් පිළිබඳ බිය අද ඇති වෙන්නේ නැත.
ගසාකෑම කොමිස් මුදල් වේශයෙන් එන්නට පටන් ගත්තේ 1977 සිට ය. ඕනෑම රටක සංවර්ධනයට යොදන මුදලින් 35% ක් නාස්ති වීම වළක්වාගත නොහැකි යැයි කීවේ කෘතහස්ත දේශපාලකයෙකු යයි සැලකෙන ගාමිණී දිසානායකයි. වොක්ස්වාගන් වර්ගයේ මෝටර් රථයක් පමණක් සහිතව දේශපාලනයට පැමිණෙන ඔහු ඔස්ටේරලියාවේ ඇපල් වතු ගත්තේ ඒ ඔහු පවසන නාස්තිවන 35% න් නොවිය හැකිද? මේ කතාවම මෑතකදී පැවසුවේ හිටපු අගමැති පුත් නාමල් රාජපක්ෂය. ඔහු ගාමිණී දිසානායක නම් සිය ගුරුවරයා පසුකොට දැනටමත් බොහෝ දුර ගොසිනි.
මහවැලිය කොමිස් ඉල්ලමක් වුවත් එය රටේ අත්‍යවශ්‍ය සංවර්ධන ක‍්‍රියාවලියක් විය. එමගින් ජල විදුලි ධාරිතාව පුළුල් වූ අතර රටේ සම්පූර්ණ සහල් අවශ්‍යතාවය සපුරා ගැනීමට සමත් විය. එහෙත් පසුව සංවර්ධන ක‍්‍රියාවලීන් සිදුවූයේ දේශපාලකයන්ට හා රාජ්‍ය නිලධාරීන්ට ලැබෙන කොමිස් මුදල දෙස බලාගෙනය. අත්‍යාවශ්‍ය නොවන අධිවේගී මාර්ග, ගුවන් යානා මිලදී ගැනීම්, මත්තල ගුවන්තොටුපල, සූරියවැව ක‍්‍රීඩාංගණය ආදිය කොමිස් මුදලම ඉලක්ක කර කළ ඊනියා සංවර්ධන ක‍්‍රියා ය. ලංකාවේ ඉදිකොට ඇති නෙළුම් කුළුණ වනාහී ¥ෂණයේ කුළුණ ලෙස හැඳින්වූවාට වරදක් නැත.
ලංකාවේ අර්බුදයට හේතුව විටින් විට නායකයන් කියන කොරෝනා වසංගතය නොවේ. එයට අපට වඩා ගොදුරු වූ නේපාලය, බංග්ලාදේශය වැනි රටවල් වසංගතය ද මැඩ පවත්වා ගනිමින් රට කඩා වැටීමට හෝ ආර්ථික අර්බුදයක් කරා නොගොස් පවත්වා ගැනීමට සමත් විය.
අද අප දේශපාලන ගමන්මගේ තීරණාත්මක කඩඉමකට සපැමිණ සිටී. මේ කඩඉමේ දී නිදහසින් පසුව අප තෝරාගත් දේශපාලන රටාව සම්පූර්ණ වෙනසකට භාජනය කළ නොකළහොත් රට පත්ලක් නැති අගාධයකට ඇද වැටෙනු නිසැකය. ඡුන්දය දී බලයට පත් කර ගන්නා පුද්ගලයා රජෙකු හා ප‍්‍රාදේශීය රජෙකු ලෙස වෙස් ගන්වා සමාජය ඔහුගේ බල අධිකාරියට යටත් බූදලයක් කිරීමේ ක‍්‍රමයට දැන්වත් තිත තැබිය යුතුය. ඒ වෙනුවට ඔහු බලගන්වන ඔහු මෙහෙයවන පුරවැසි සමාජයක් බවට ශ‍්‍රී ලංකා ජන සමාජය පත්කර ගත යුතුය. ඒ සඳහා වන පූර්වාදර්ශය ආර්ථික අර්බුදයෙන් බැට කන ජනතාව පාරට බැස පාලකයන්ට එරෙහි වීමෙන් පෙන්වීය. එහිම දිගුවක් ලෙස ලංකාවේ තරුණ පරපුර ඉතාම සාමකාමී ලෙස ‘ගෝටා ගෝ ගම’ දී පුරවැසි සමාජයක ප‍්‍රබුද්ධ යුටෝපියාවක් තනාදී ඒ ජන සමාජයේ ප‍්‍රමිතීන් කවරේදැයි අපට පෙන්වා දී තිබේ. එය සියළු දේශපාලන පක්ෂ අභිබවා යන දේශපාලන පක්ෂ සිය පුහුණු න්‍යාය පත‍්‍ර වෙනස් කරගත යුතු ආකාරය පෙන්වා දෙන මහජන නැගිටීම කි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු පැවසූ ආකාරයට ඉදිරි යල් කන්නයේ ගොවි තැනට අවශ්‍ය පොහොර ලබා දීමට රජය අපොහොසත් වේ. එතෙක් ලැබුණු වී අස්වැන්න විකුණා ගැනීමට නොහැකිව දරිද්‍රතාවයේ පත්ලට ඇද වැටුණු ගොවියන් වස බිව් අතීතයක් තිබුණු රටේ තවත් කන්නයක් වගා කරන්නට පොහොර නැති වුවහොත් ඒ ගොවීන් ජීවත් වන්නේ කෙසේද? ඒ නිපදවූ බතෙන් යැපුණු රටේ අවශේෂ ජනයා බත් කන්නේ කෙසේද? නෙළුම් පොකුණ, නෙළුම් කුළුණ, අනවශ්‍ය අධිවේගී මාර්ග, අනවශ්‍ය ක‍්‍රීඩාංගන, අනවශ්‍ය ගුවන්තොටුපොළවල් හදන්නට වැඩි පොලියට ණය ගෙන ණය කන්දක හිරවී සිටින ශ‍්‍රී ලංකාව එදිනෙදාට අවශ්‍ය බෙහෙත් ටික, තෙල් ටික, පෝර ටික, ගෑස් සිලින්ඩර් ටික ගන්නට හතර අතට ණය වෙන්නට තතනයි. ඒ අත්‍යවශ්‍ය කාරණා වලට දැන් ණය දෙන්නට කෙනෙක් නැත.
පනස් වසරක පමණ අමනෝඥ දේශපාලන ගමන්මග ව්‍යසනයක් ව පුපුරා ගියේ එහි දුර්වලම පුරුක වන වත්මන් ගෝඨාභය පාලන පුරුක තුළිනි.
දැන් ඉතින් අපි කුමක් කරමුද?.
– සංස්කාරක