අරුන්දතී රෝයි

කතුවැකිය පුවත් සියලුම ලිපි

‘පුරවැසි පනතට එරෙහිව නැගෙන උද්ඝෝෂණ මා තුළ අලුත් බලාපොරොත්තුවක් දල්වා තිබෙනවා. අපි ප්‍රශ්න වලින් හෙම්බත් වෙලා හිටිය රටක්. අපේ ප්‍රශ්න වලට මෝදිගේ ආණ්ඩුවට උත්තර තිබුනේ නැහැ. එයා දිගටම අපිට හින්දු මහා ජාතිකවාදය විකුණුවා. ඒත් අවුරුදු ගාණකට පස්සේ ඉන්දියාවේ තරුණයෝ සහ තරුණියෝ මෝදිට අපූරු උත්තරයක් දුන්නා.
එයාලා මෝදිට කිව්වා
‘මෝදි ඔයා ජාතිවාදය විකුණුවාට – අපි තවදුරටත් ඔයා විකුණන ජාතිවාදය මිලදී ගන්න ලෑස්ති නෑ.’

ඉන්දියාවේ යළිදු ගිනි ඇවිලී තිබේ. ජාතික නිදහස් ක්‍රියාදාමය හා නිදහසින් පසු පාලන බලය ලබාගත් කොංග්‍රස් පාලනයත් අනේකවිධ ජාතික ආගමික හා කුල බෙදීම් සහිත ඉන්දියාව ඒ සියල්ලට සංවේදී, සියල්ලටම පිළිගත හැකි ව්‍යවස්ථාවක් තනා නූතන ලෝකයේ ඉදිරිගාමී රටක් බවට පත්කලේය. ඒ ව්‍යවස්ථාව පසුගාමී ගෝත්‍රවාදී ඉන්දියානුවා නූතන දියුණු ඉන්දියානුවකු කිරීමට සමත් විය. ව්‍යවස්ථාවේ අනුහසින් අධිකරණ ක්‍රමය සාධාරණ ස්වාධීන එකක් විය. යුක්තිය සොයා දුගී ජනයාට අධිකරණය වෙත යාමට හැකියාවක් නැතිනම් අධිකරණ ක්‍රමය ඔවුන්ගේ පිහිටට ඔවුන් ළඟට ආවේය. මාධ්‍යවල පවත්නා ප්‍රෞඩ ස්වාධීනත්වය එරට ප්‍රජාතන්ත්‍රවාදයට ජීවන හුස්ම පිඹින්නේය. ජනමාධ්‍ය, අධිකරණ ක්‍රමය, ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාව යන තුන් ඈදුත්ත විසින් ඉන්දියාවේ ගෝත්‍රික හා ආගමික ආධානග්‍රාහීත්වය නොවැදගත් කිරීමට සමත් විය.

නැගී එන ඉස්ලාම් ත්‍රස්තවාදය හා එයට පකිස්තානය හා ඇෆ්ගනිස්තානය පදනම් රටවල් වීමත් හරහා අළු යට යමින් තිබුණු මුස්ලිම් විරෝධය ඉන්දියාව තුළ බියක් නිර්මාණය කළේ තරමක් දුර අතීතයක සිටය. එමෙන්ම ඉන්දිරා ගාන්ධි පාලනය තුළ පැවතුණු ඇතැම් අත්තනෝමතික ක්‍රියා නිසා භාරතීය ජනතා පක්ෂයේ පිබිදීමක් ඇති වෙන්නට පටන් ගති. බීජේපීය හින්දු වාදය මුල්කරගත් දේශපාලන ව්‍යාපාරයක් නිසා මුස්ලිම් විරෝධී බව එහි ගර්භයේ තිබිණ. නමුත් ඉන්දියාව තුළ දේශපාලකයන් මාධ්‍යවේදීන් උගතුන් වඩාත් උසස් ලෙස හින්දු ජාතිවාදයට එරෙහිව අඛණ්ඩව පෙනී සිටීම නිසා ජාතික අසමගිය අරබයා ලොකු දෙයක් බී්.ජේ.පියට කර නොහැකි විය.

එහෙත් නරේන්ද්‍ර මෝදි බලයට පත් වන්නේ ලෝක මුස්ලිම් ්‍රත්‍රස්තවාදය විසින් ලෝකය පුරාත්, ඉන්දියාව තුළත් ඇති කරන බය පදනම් කරගෙනය. නරේන්ද්‍ර මෝදි අගමැතිවරයා කලෙක ගුජරාට ප්‍රාන්තයේ මහ ඇමතිවරයාව සිටියේය. එහිදී උසස් පාලන හැකියාවක් ඔහු විසින් පෙන්නුම් කළ නමුත් මුස්ලිම් විරෝධී ලෙස සිය පාලන ශෛලිය සකස් කර ගත්තේය. ගුජරාටයේ ඔහුගේ සාර්ථක පාලන විධි ක්‍රමයත්, ලෝක මුස්ලිම් ත්‍රස්තවාදයේ නැගී ඒම ඉන්දියාවට බිය ගෙන දීමත් හේතුවෙන් ලෝක දේශපාලන විචාරකයන්ගේ අනාවැකි බොරු කරමින් මෝදි අගමැතිවරයා ලෙස පත් විය. එමෙන්ම මේ වසරේ මුල් භාගයේ පැවැති දෙවන මැතිවරණයෙන් ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන ඉන්දීය කොංග්‍රස් පක්ෂය අන්ත පරාජයට පත් කිරීමට සමත් විය. නිදහස් ඉන්දියාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ ප්‍රථම වතාවට එකදු මුස්ලිම් මන්ත්‍රීවරයකු රහිත පාර්ලිමේන්තුවක් දැන් ඉන්දියාවේ සකස් වී තිබේ.

ඒ සියලූ තත්ත්වයන් එසේ වුවත් මෝදි පාලනයේ පාර්ලිමේන්තු බහුතරය විසින් සම්මත කරගන්නා ලද ඉන්දීය පුරවැසි පනත මේ වන විට මහජන විරෝධයට ලක් වී ඇතිවා පමණක් නොව හින්දු බලයක් සහිත ප්‍රාන්තයක පැවැති මැතිවරණයකින් බවා බී.ජේ.පිය පරාජය වීමටද හේතු වී ඇත.

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ආණ්ඩුව වි්සින් ගෙනවිත් සම්මත කරගත් පනත මගින් පකිස්ථානය, බංග්ලාදේශය, සහ ඇෆ්ගනිස්ථානය යන රටවල මුස්ලිම් නොවන සංක්‍රමණිකයන්ට ඉන්දීය පුරවැසිභාවය ලබා දෙන නමුත් දකුණු ආසියාවේ ඕනෑම රටක මුස්ලිම්වරුන්ට එම අයිතිය ප්‍රතික්ෂේප කරයි.

ඒ අතරම ආණ්ඩුව, දැනටමත් ඊසාන දිග ඇසෑම් ප්‍රාන්තයේ පනවා ඇති ජාතික පුරවැසි ලේඛනය (NRC) අනෙකුත් සියලුම ඉන්දියානු ප්‍රාන්ත වෙත දීර්ඝ කර තිබේ. එන්.ආර්.සී. යටතේ ඔවුන්, තමන් ඉන්දියාවේ පුරවැසියන් බව ඔප්පු කිරීමට බලධාරීන් වෙත ලේඛනගත සාක්ෂි ඉදිරිපත් කළ යුතුය.
CAA සහ NRC නීති මගින් මිලියන 200ක් වන ඉන්දියානු මුස්ලිම් පදිංචිකරුවන් පුරවැසියන් නොවන අය ලෙස ප්‍රකාශයට පත් කිරීම හා නෙරපා හැරීමේ තර්ජනයට මුහුණ දෙයි.

මේ ජනවර්ගයක් ඉලක්ක කරගත් අන්ත ජාතිවාදී පනත ඉන්දියාව ගොඩනැගූ බහුත්වවාදී පදනම විනාශ කරන්නක් යැයි පවසන හින්දු උගතුන් කලාකරුවන් හා ප්‍රාන්ත දේශපාලකයන් පවා ජන උද්ඝෝෂණ වලට සහාය දෙමින් සිටී. නූතන ඉන්දියාවේ නිර්මාර්තුවරයා ලෙස සැලකෙන මහත්මා ගාන්ධිගේ මුණුබුරා පවා මෙම විරෝධතා උද්ඝෝෂණ වලට සහභාගී වෙමින් තිබේ.

මූලාශ්‍ර WSWS.org.

ලෝකයේ රටවල් තුළ මුස්ලිම් විරෝධය ඉහළ මට්ටමකින් ආරම්භ වූයේ ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ ජයග්‍රහණයත් සමඟය. තලේබාන් ISIS වැනි ත්‍රස්ත ව්‍යාපාර මුස්ලිම් අන්තවාදය වඩවමින් ලෝකයේ අභිවෘද්ධි දායක අනාගතයකට හානි පැමිණවීය. මේ සංවිධාන දෙකත් තවත් සංවිධානත් සීතල යුධ සමයේ ඇමරිකාවේම නිර්මාණ වුවත් ඒවා අද වන විට ඔවුන්ටම පාරාවළල්ලක් වී ඇති සැටියකි. යුරෝපයේ තැන් තැන් වල ජීවිත නාශක බෝම්බ පිපිරීමත් ඒවායේ හිමිකාරීත්වය මුස්ලිම් ත්‍රස්තවාදය විසින් භාර ගැනීමත් නිසා එරට ජනතාවගේ මුස්ලිම් විරෝධයක් ගොඩ නැගුණි. එහි ප්‍රතිඵලය වූයේ ඇමෙරිකාවේ මෙන්ම බොහෝ බටහිර රටවල දිගින් දිගටම දක්ෂිනාංශික පාලකයන් බලයට පත් වීමයි. කොහොමත් මුස්ලිම් විරෝධී බරපතළ ඉතිහාසයක් ඇති නරේන්ද්‍ර මෝදි මෙම තත්වය තමන්ගේ ජාතිවාදී වැඩ සැලැස්මට අනුව, එයට ගැලපෙන ලෙස මෙකී පුරවැසි පනත ගෙන ආවේය.

ඉන්දියාවේ නිදහස් අරගලයේ නායකයින් අනාගත වාදීන් වූ නිසාම, ආගමික ඉන්දියාවේ අන්තවාදය සමනය කිරීමට අනාගාමික ව්‍යවස්ථාවක් ගෙන ආවේය. නිදහස ලබන විටම මුස්ලිම් පකිස්තානය වශයෙන් බිඳී ගියත් ප්‍රාන්තවල පවත්නා ජාතිවාදී ප්‍රවණතා වෙනම රාජ්‍යයක් ලෙස බිඳී යාමට ඉඩ නො සැලසුනේ ඉන්දීය ව්‍යවස්ථාවේ ඇති ප්‍රබලකම නිසාය..

ඉන්දු උප මහද්වීපයේ ඉතිහාසය වනාහි හින්දු මුස්ලිම් එකකි. ඉන්දියාවේ ඉතිහාසය ගොඩනැගීමට මුස්ලිම්වරුන් ලබාදුන් දායකත්වය අතහැර එය ලිවිය නොහැකිය. විශේෂයෙන් අතීතයේ මූගල් පාලනය ඉන්දියාව සංස්කෘතික වශයෙන් ආඪ්‍ය කළහ. ටජ්මහල වැනි අනර්ඝ ලෝක උරුමයන් ද, ඉන්දියානු සංගීතයට හා අනෙකුත් කලාවන්ට සිදු වූ මුස්ලිම් බලපෑම ද විශාලය.

1948 දී ලංකාවේ ඉන්දියානු වතුකර ජනයාට එරෙහිව මේ ආකාරයේම පුරවැසි පනත ඩී.එස් .සේනානායක ආණ්ඩුව විසින් ගෙන එන ලදී. ඒ වන විටත් ලංකාවේ විදේශ විනිමය සංචිතයෙන් වැඩි හරියක් උපයා දුන් ඉන්දීය සම්භවයක් සහිත වතුකම්කරුවන්ට ඡන්ද බලය අහිමි කළේ, ඔවුන් එක්තරා ‘දේශපාලන වරදක්’ කළ නිසාය. ඒ වරද නම් මෙම ජනතාවගේ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් සුදු අධිරාජ්‍යවාදය හා අරගල කළ සමසමාජවාදීන්ට ඡන්දයේ දී පාර්ලිමේන්තුවේ විශාල බලයක් ලබා දීම හේතුවෙනි. වඩාත් උත්ප්‍රාසජනක කාරණය වන්නේ විසිවන සියවසේ මුල් භාගයේදී වතුකම්කරුවන් ලංකාවට ගෙන එන විට එය නිසැක අනාගත උවදුරක් විය හැකි බව පවසා එයට සමසමාජවාදීන් විරුද්ධ වෙද්දී සුදු අධිරාජ්‍යවාදීන්ගේ පැත්ත ගත් ඩී.ඇස් සේනානායකලා ඉන්දීය දෙමළ ජනයා මෙරටට ගෙන ඒමේ රාජ්‍ය මන්ත්‍රණ සභා පනතට පක්ෂව ඡන්දය දුන්නේය. අනතුරුව තමන්ගේ දේශපාලන බලයට තර්ජනයක් වන විට ඔවුන්ගේ ඡන්ද බලය අහිමි කළේ ද ඩී එස් සේනානායකලා, ජේ ආර් ජයවර්ධනලායි. පසුකාලීන තොන්ඩමන් හරහා ඉන්දීය වතු කම්කරුවන්ගේ පක්ෂපාතිත්වය එක්සත් ාතික පක්ෂය වෙත ලැබෙන විට 1987 ඉන්දු ලංකා ගිවිසුම ප්‍රකාරව එකී ජනයාට නැවතත් පුරවැසිකම ලැබුණි.

අද ඉන්දියාවේ CAA පුරවැසි පනතට එරෙහිව සබුද්ධික ජනයා උද්ඝෝෂණය කොට එයට දේශපාලන පරාජයක් අත්කර දීම ස්ථිරය. එහෙත් එවැනි අණපනත් ලංකාවේ ද ක්‍රියාත්මක වුවහොත් තත්ත්වය ඊට වෙනස් විය හැකිය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *