අරුණලු දකිමි

කතුවැකිය

2022 සැප්තැම්බර් 21 ලංකාවට ඓතිහාසික දිනයකි. ඒ පෞද්ගලික පරමාර්ථවලින් තොර පූර්ණකාලීන දේශපාලනඥයකු, නායකයකු ලංකාවට ලැබුණු දිනය ලෙසය. 1948 නිදහසින් පසුව ගෙවී ගිය හැත්තෑ හය වසර තිස්සේ රට පාලනය කළේ නරක සහ සාපේක්ෂ හොඳ මිනිසුන් මිස සම්පූර්ණ හොඳ මිනිසුන් නොවේ. ඒ නිදහසින් පසු සමස්ත කාලය මුලුල්ලේම (විජේතුංග පාලනය හැර) පවුල් පාලනයක් රටේ දේශපාලන යාන්ත්‍රණය මෙහෙය විය. එය ඔවුන්ම හැඳින් වූයේ ‘පලපුරුදු’ යන නමිනි.
නිදහසින් පසුව වුවද අතීත යුගවලට සාපේක්ෂ වටිනාකම් සහිත දේශපාලකයන් සිටියහ. එය ලංකාවට පමණක් නොව මුලු ලෝකයටම අදාළ කාරණයකි. දුෂ් පාලනය මහත්සේ රජයන මහද්වීපය වන අප්‍රිකාවේ පවා ජුලියන් නියරේරේ, (ටැන්සානියාව) නිකෘමා (ඝානාව) වැනි යහපත් පාලකයන් උදාහරණ ලෙස ගතහැකිය. ලංකාවේද 1977 පමණ වන තෙක් සාපේක්ෂව යහපත් පාලකයන් දේශපාලකයන් රට කරවූහ. එහෙත් 1977 දී දැනුවත්වම වර්ගවාදය, දූෂණය අයහපාලනය රාජ්‍ය පාලනය තුළට පැමිණියහ. එහි ප්‍රතිඵල ලෙස ලංකාවේ සෑම වැදගත් අංශයක්ම කඩා වැටුණි. නව ජනාධිපතිවරයාටත් ඔහුගේ පාලනයටත් ඉදිරියේ ඇති අභියෝගය වන්නේ විශේෂයෙන් 1977 සිට මේ දක්වා රටේ ඇතිවුණු දුෂ් පාලනය යහපත් අතට වෙනස් කිරීමය. මේ වෙනස මේ මොහොතේ රටේ ඇති නොවූවා නම් රටට යන කලදසාව කවර ආකාර වනු ඇත්දැයි සිතා ගැනීමටත් නොහැකි තරම්ය.
නව ජනාධිපතිවර අනුර කුමාර දිසානායකගේ යටගියාව ලාංකිකයන් බොහෝ දෙනා හොඳාකාරව දනී. ඔහුගේ මුහුණේ ලපය සහ විවාහය පිළිබඳ පට්ටපල් කෙබරය හැරුණු කොට අන් යමක් වරදක් සේ කියාපාන්නට ඒ කිසිවකුට නොහැකි විය. ඔහුගේ චින්තනයද, දෑත් ද පිරිසිදුය. ඔහුගේ පිරිවර ද එසේය. අග්‍රාමාත්‍ය ධුරයට පත්වන හරිනි අමරසූරිය මෙනවියද නව ජනාධිපතිවරයා මෙන්ම අකලංක බව උපතින්ද, හැසිරීමෙන් ද ලැබූ කුලකතකි.
ඈත පිටිසර ගම් දනව් පුරා, මත් ජාවරම්කාරයෝ ළමා තරුණ පරපුර විනාශ කරති. ආයුධ සන්නද්ධ මැරයෝ කුඩා වෙළෙන්දාගෙන් පවා කප්පම් ගනිති. එක මිනීමැරුමක්වත් වාර්තා නොවන දිනයක් නැති තරම්ය. ස්ත්‍රී දූෂණ වැහි වැහැලාය. ඒ සියල්ලෙහි යෙදෙන අපරාධකාරයන් ආරක්ෂා කරන්නේ දේශපාලකයන්ම මිස අන් කවරෙක්ද?
ෂඵත්‍ කොන්දේසි අතර විශාල බදු, පෞද්ගලීකරණය ඇතුලු කොට ඇැති අතරම නාස්තිය දූෂණය වැළැක්වීමද වේ. එහෙත් අනුප්‍රාප්තික ජනාධිපතිව සිටි රනිල් වික්‍රමසිංහ පෞද්ගලීකරණය හා බදු ගැසීමට පෙළඹුනා වුවද දූෂණය හා නාස්තිය වැළැක්වීමට කිසිදු පියවරක් නොගත්තේය. ඉතාම හොඳ ධන උල්පත් වන ටෙලිකොම් වැනි ආයතන පවා පෞද්ගලීකරණයට කැස කැව්වේය.
අපි කන කෙහෙල්ගෙඩිය, අලිගැටපේර ගෙඩිය, මඤ්ඤොක්කා අලය පවා මේ රටට එන්නේ දකුණු, මධ්‍යම ඇමරිකානු රටවල අප වැනි දේශගුණයක් පසක් ඇති රටවලිනි. ඒවායේ ධනෝපායන මාර්ග සැකසී ඇත්තේ කෘෂිකර්මයද එහි විශාල පංගුවක් වෙමිනි.
අපටද කෘෂිකර්මය ආර්ථිකයේ යළි හොඳ පංගුවක් නියෝජනය කිරීමට යළි යොදවා ගත හැකිය. තාක්ෂණය හා කර්මාන්තකරණය ඇසුරින් නවෝදයක් ඇති කිරීමේ සැලැස්මක් දැනටමත් ඔවුන්ගේ පොරොන්දු මාලාවට ඇතුලත් කර තිබේ.
අන් සියල්ලට මෙන්ම දේශපාලනයටද හර පද්ධතියක් තිබේ. 77න් පසු යුගය වනාහි ඒ හර පද්ධතීන් දැනුවත්ව විනාශ වෙන්නට ඉඩ හැරියා වූ යුගයකි. නව ජන බලවේග පාලනය තුළ මාක්ස්වාදී රාජ්‍යයක් බිහිවෙනු ඇතැයි යන්න හුඹස් බියකි. එවැන්නකට බිය විය යුතු නැත. නව පාලනය දේශපාලනයේ විනාශ වී ගිය හර පද්ධතිය නැවත ස්ථාපනය කරනු ඇත. තනි තනි මිනිසාගේ සුපර්මෑන් බලයක් වෙනුවට සාමුහික පාලනයක් ඵල දරනු ඇත.
ජාතීන් එකිනෙකා ඇණ කොටා ගත් පාලනයක් වෙනුවට ජාතික සමගියට පාර කැපෙනු ඇත. ලංකාව බිඳ වැට්ටවූ ප්‍රධානම සාධකය වන දූෂණය තුරන් වනු ඇත. දූෂණයේ යෙදුණු උදවිය නීතියේ රැැහැනට හසුකරනු ඇතැයි ඡන්දය දුන් ජනයාගේ පරමි විශ්වාසයයි.
සංස්කාරක

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *