ලංකාවෙ කුල කියන්නෙ රහසින් කතා කරන, රහසින් වැඩකරන දෙයක්. පත්තරවල මගුල් දැන්වීම්වල තමයි ටිකක් හරි එලිපිට කතාකරනවා දකින්නෙ. අපේ ආච්චිලාගෙ කාලෙ නං ඒ ගොල්ලො ගොයිගම, අරගොල්ලො බඩහැල වගේ හඳුන්වාදීම් ඕන කාරනේකදි මුලික වටයේ පැහැදිලි කිරීමක් වුනා. අම්මලගෙ කාලෙ වෙද්දි ඕක යටගිහින් එයා අපේ කට්ටියෙද වගේ ප්‍රශ්නයක් විතරක් අහන තැනට ආවා. මට පොඩි කාලෙ ඉඳන් මේ අපේ කට්ටිය ලොකු ප්‍රශ්නයක් වුනා.
සුද්දා ඇවිත් ගියාට පස්සෙ කුල මූලික රස්සා ක්‍රමය අහවර වුනාට කුලය පංතිය විදිහට පරිනාමය වෙන්න පරම්පරා ගානක කාලයක් ගියා. ඒ අතරෙ කුලය කියන එක ප්‍රයෝජ්‍ය තැනකින් ගැලවිලා සංකේත තැනකට මාරු වුනා. ඒක සමාජයේ යටිපෙල ගනුදෙනුවක් වුනා. කොයිතරං කුල බේදයක් නෑ කිව්වත් අදත් ලංකාවෙ සිද්ද වෙන ගොඩක් දේවල් පිටිපස්සෙ කුලය කියන සාධකය වැඩ කරනවා. ඒක පුද්ගලික දීග තුලා මට්ටමේ ඉඳන් දේශපාලනයට, කොටින්ම කුල භේදයට එරෙහි බුද්ද සාසනයට පවා තීරනාත්මක වෙලා තියෙනවා. වන්ෂොට් වුන රංජා පවා හඩපටවලදි එයා ඩී ද කියල අහන්නෙ කුලේ අවුල.
මේ කුල අපිට එන්නෙ ඉන්දියාවෙන්. ඉන්දියාවට කුල ක්‍රමය එන්නෙ ආර්යයන්ගෙ පැමිනීමත් එක්ක කියල කියන්නෙ. විජය එක්ක ආපු සෙට් එකෙන් එක කාලෙකත් කිං අශෝක එවපු සෙට් එකෙන් තව කාලෙකත් කුලේ ලංකාවට එනවා.
කුලවලට නියම වෙලා තිබුන රැුකියා තියෙනවා. ඒ රැුකියා අනුව කුලවල උසස් පහත් බව තීරනය වෙනවා. කුලේ අයින් වෙලා ගියත් අදටත් සමහර වෘත්තීන්වල මේ කුල ප්‍රමුඛතාවය වැඩ කරනවා. උදා විදිහට රත්තරං වැඩ කරන්නෙම නවන්දන්න කුලේ අය. ඒක අනිත් අය ඉගෙන ගැනීම පවා යටිපෙලක් විදිහට අධෛර්යය කරනවා. මේක එච්චර අවුලක් නොවෙන්නෙ අද තියෙන වැදගත් කියන තරගකාරී රැුකියා කුල උඩ පදනම් වෙලා නැති හින්ද.
සමහර හීන කුලවල මිනිස්සු උරුමයක් විදිහට කුල පීඩනයෙන් දුක් වින්දා. මං අහලා තියෙනවා සයිමන් නවගත්තේගමට ඉගෙන ගන්න උදව් කරන්න කියලා ඒ පැත්තෙ වලව්වට ගිය කතන්දරයක්. මොකද උඹලා ඕකට උගන්නලා මහමුදලි කරන්නද කියල වලව්වෙ ඇත්තො ඇහුවලූ. ඒ වගේම සයිමන් පේරාදෙනියෙ ඉගෙන ගන්න කාලෙදිත් මේ කුලවාදෙ තදට වැඩකරලා තියෙනවා. ඒක හින්ද සයිමන්ලට නිදාගන්න වෙලා තියෙන්නෙ බිම. ඒ ඉහල කුලවල අය තමයි ඇඳන් වල හිටියෙ .. හිහ් හිහ් ගගා සයිමන් මට කියල තියෙනවා. මස්ඉඹුලගෙ සෙංකොට්ටං කියෙව්වොත් රෙදි හෝදන කුලේ හේනයන් විඳවපු ජීවිතේ තේරුම් ගන්න පුළුවන්.
මේ කුලේ අයින් වෙලා ගියත් පරම්පරා ගානක් තිස්සෙ ඒ කුල ඇතුලෙ වැඩ කෙරුනු සම්ප්‍රදායන්, ඇවතුම් පැවතුම් තාමත් ජානගතව වගේ පරපුරෙන් පරපුරට පැවතීගෙන යනවා. උදා විදිහට මට කෙනෙක් ඇවිදින කතා කරන විදිහෙන් එයාගෙ කුලය අනුමාන කරන්න පුළුවන්. මේක කොහෙත්ම අර කුලේ අරකට වඩා උසස් හෝ පහත් කියන විහිලූව නෙමෙයි. අපේ ජීවිතවල වෙනස්කම්, අපේ සම්ප්‍රදායන්, අපිට දේවල් තේරෙන දැනෙන විදිහෙ වෙනස්කම් ගැන කතාවක්. ඒ ටේ්‍රට්ස් සමහර වෙලාවට අපිත් නොදැනීම අපේ තීරනවලට බලපානවා.
හැමදාම මට ඕන වුනේ අම්මලා කියන අපේ කට්ටියෙන් එලියට එන්න. මට ඒ කට්ටියට අයිති වෙන එක තරම් එපාකරපු දෙයක් තිබුනෙ නෑ. ඒ තරම්ම නියතිවාදයකට ගෝත්‍රවාදයකට කොහෙත්ම සෙට් වෙන්න මට අමාරු වුනා. ඒක හරියට හරක් කොටුවක් වගේ දැනුනෙ. මට කොහොමත් දීලා තියෙන කුලකයකට අනුගත වීම දුෂ්කරයි. අපේ ඉස්කෝලෙ, අපේ රටේ මේ කිසි කුලකයක්වත් මට වැඩ කරන්නෙ නෑ. වෙන රටකදි ලංකාවෙ මිනිහෙක් දැක්කම දුවගෙන යන පුරුද්ද සාමාන්‍ය වෙද්දි මං කරන්නෙ ලංකාවෙ එකෙක් දැක්ක ගමන් හැංගිලා මාරු වෙන එක.
ඒත් මං කුලවල තියෙන විශේෂ ඇවතුම් පැවතුම් අඳුරගන්න කැමතියි. ඒවා ජානගතව මෙහෙයවෙන තැන් කියවගන්න කැමතියි. මං හිතන්නෙ කුලය කියන එක කතා නොකරන මාතෘකාවක් වීම නරකයි. ඒක පාපිස්ස යටට දාන එකෙන් වෙන්නෙ නොදැනීම ඒ හෙවනැල්ල ලොකු වෙන එක. කුලය සීරියස් වෙන එක. කුලය අපි විනෝදයක් කරගන්න ඕන. ඒ සංස්කෘතික වෙනස්කම් හුරුකම් අපි බෙදීමක් නැතුව විඳින්න ඕන.
කුලේට සීමා වෙන්න අකමැති වුනත් මගේ කුලේ ඉතිහාසයට මං කැමතියි. ඒක තමයි ලංකාවෙ කලා කුලය විදිහට හඳුන්වන්නෙ. නවන්දන්න කුලය. ඒ කුලේට කලාත්මක කර්මාන්ත නමයක් දන්න පිරිස් ඇතුලත් වුනා. ලංකාවෙ ඉහලම කුලය විදිහට හඳුන්වන්නෙ ගොයිගම කුලය. ඒ කියන්නෙ ගොවිතැන් කරපු අය. කුලවල උස් පහත් බවට අමතරව එකම කුලේ වුනත් උඩරට පහතරට විදිහටත් ආපහු මට්ටම් බෙදෙනවා. උඩරට්ටු කවදාවත් පහතරට්ටුන්ව ගනං ගත්තෙ නෑ. පහතරට්ටු හැමදෙයක්ම කලේ උඩරට්ටුන්ට කෙලවන්න.
ඉතිහාසෙ බලද්දි නවන්දන්න කුලේට රාජ්‍යත්වයත් එක්ක තිබුන කිට්ටු සම්බන්දයත් ඒ අය බ්‍රාහ්මනයන්ගෙන් පැවත එනවා කියන විශ්වාසයත් හින්ද තරමක ධුරාවලියෙ යම් පිලිගැනීමක් ලැබිලා තියෙනවා. රජාට ඔටුන්න හැදීමෙ ඉඳන් රජගෙදර සියලු ආභරන තැනීම බාරවෙන්නෙ නවන්දන්න කුලේ රන්කරුවන්ට. දකුණු සහ නැගෙනහිර ඉන්දියාවෙන් වරින්වර ආපු මේ කලා ශිල්පීන්ගෙන් නවන්දන්න කුලය හැදුනා කියලයි කියන්නෙ.
ජනවංශය කියන විදිහට කිං අශෝක ජයසිරි මහ බෝදියත් එක්ක එවන ශිල්පීන්ගෙන් නැත්තං කඹුරා කියල හඳුන්වන පිරිසෙන් තමයි නවන්දන්නයො බෝවෙන්නෙ. බෝදිවංසය කියන විදිහට කඹුරු පවුල් 08ක්, ලෝකුරු පවුල් 08ක්, ස්වර්ණක පවුල් 08ක් මේ විදිහට එවලා තියෙනවා.
නවන්දන්න කුලේ පහතරට මුහුදු තීරයෙ වගේම රටේ මැදත් පැතිරුන කුලයක්. නුවර නීලවල කියන මේ කුලේ ආදිගමේ මිනිස්සුන්ව සලකන්නෙ නීල නාරායාන කියන බ්‍රාහ්මනයාගෙන් පැවතගෙන එන පරපුරක් කියල. නීල නාරායන, පරම නාරායන, දේව නාරායන, තින්න නාරායන කියල හතරදෙනෙක් ගැන මේ කතාවෙ එනවා. නීල නීලවල, පරම මඩවල පැත්තෙ, තින්න උඩිස්පත්තුවෙ, දේව ඇල්දෙනියෙ නැවතුනා කියලයි කියන්නෙ.
මේ කුලේ විජයගෙ කාලෙ පාණ්ඩ්‍ය දේශයෙන් ආපු ශිල්පීන්ගෙන් පැවතිීගෙන එනවා කියලත් කතාවක් තියෙනවා. බ්‍රාහ්මණයො පාන්ඩ්‍ය දේශය හරහා ආවා කියලයි කියන්නෙ. කොහොම වුනත් විජයගෙ කාලෙ ආපු අයයි දේවානම් පියතිස්සගෙ කාලෙ ආපු අයයි දෙගොල්ලොම එකතු වෙලා නවන්දන්නයො හැදෙනවා.
නවන්දන්න කුල වික්‍රමයන්ගෙ තවත් ප්‍රසිද්ධ සිද්ධියක් තමයි පරාක්‍රමබාහු රජ්ජුරුවො මුන්නේස්වරම් දේවාලෙ ප්‍රතිසංස්කරනය කරන්න ගෙනාවා කියන ආචාරියාගෙ කතාව. එයා දේවාලෙ වැඩ ඉවර කරලා නුවර පත්තිරිප්පුවත් හදනවා. මේ ගැන පැහැදුන රජතුමා මේ ආචාරියාට වරදාන නම්බුනාම දෙනවා. මුතුගල රාජකරුණාධි වීරවර්ධන විජිතනන්දන ආචාරි කියලා මේ මනුස්සයාට නම් ලැබෙනවා.
ආනන්ද කුමාරස්වාමි මේ කුලේ ගැන කියන්නෙ සිංහල සහ හින්දු මුහුවක් විදිහට. දේවසුරේන්ද්‍ර වගේ නම් වලින් කියවෙන්නෙ මේ හින්දු උරුමය. මේ කුලය හරහා සිංහල කලාවන් සහ ඉන්දියානු කලාවන් දෙක මිශ්‍රවුනා කියල කුමාරස්වාමි කියනවා. මේ කුලේ අය ශිව ඇදහිල්ල දිගටම අරගෙන ආවාලූ. නේත්‍ර මංගල්‍යය වගේ සිරිත් පවත්වාගෙන ආවලූ. හින්දු මන්ත්‍ර පවා දිගටම පාවිච්චි කරාලූ.
නවන්දන්න ඉතිහාසෙ ගැන තියෙන තවත් ප්‍රවාදයක් තමයි දකුනු ඉන්දියාවෙ කම්මලර් කියන අයගෙන් මේ කුලේ පැවතෙනවා කියන එක. ඒ ප්‍රවාදෙ හැටියට ලෝකෙ සියලු නිර්මාණවලට අධිපති විශ්වකර්මයා තමයි මේ කුලේ මුල්පියා. එයාට ඉන්නවා පුත්තු පස් දෙනෙක්. මනු කියන්නෙ යකඩ වැඩට අධිපති, මායා ලී වැඩ, ත්වස්ත්‍ර කියන්නෙ ලෝකඩ, සිල්පි කරන්නෙ ගල් වැඩ, විශ්වජන රන් රිදී වැඩ. මේ කම්මලර් කියන කුලේට ආර්ය සම්බන්දයක් තියෙනවා කියලයි කියන්නෙ. වාස්‍ය විසින් වේදය එකලස් කරන්න කලින් විශ්ව බ්‍රහ්මය, දේව බ්‍රහ්මය ආදී විදිහට පැවතුනු බ්‍රාහ්මන වංශයෙන් මේ කම්මලර්වරු පැවතීගෙන එනවා කියලයි ප්‍රවාදය. මේ කම්මලර්වරු නූතන බ්‍රාහ්මන වංශය පිලිගත්තෙ නෑ. ඒ ගොල්ලො ඒ ගොල්ලොන්ගෙම බ්‍රාහ්මන පරපුරක් පවත්වාගෙන ආවා.
තාමත් නවන්දන්නයො මේ බ්‍රාහ්මන කතාව කියනවා. ඒකෙම දිගුවක් විදිහට පත්තරවල ඇඩ් කරන්නෙ විශ්වකුල කියල. ඒ කියන්නෙ විශ්වකර්මගෙන් පැවතීගෙන එන සම්බන්දෙ මතක් කරනවා.
නවන්දන්න කොටසක් ශිව වෙනුවට විෂ්නු භක්තිකයො වුනා කියලත් කියනවා. දේව නාරායන, දන්ත නාරායන වගේ නම් එන්නෙ මේ විෂ්නු භක්තික නවන්දන්න කොටසෙන් කියලයි කියන්නෙ. විෂ්නු භක්තිකයන් වුන නිසා බුද්ධාගමත් එක්ක බද්ධ වෙන්න ලේසි වෙන්න ඇති කියල අනුමාන කරනවා.
නවන්දන්න කුලේ අය පැවතීගෙන එන්නෙ හින්දුන්ගෙන් කියන්න ශරීර පෙනුම වර්ණය ආදියත් බලපානවා. මගේ නං පෙනුම අජපල් වුනාට නුවර පැත්තෙ මේ කුලේ අය බලද්දි සමේ පැහැපැත් පැහැය, නාසය, තොල් ආදියේ පිහිටීම මේ හින්දු සම්භවයෙ ශේෂයන් විදිහටයි කියන්නෙ. මාරසිංහගෙන් මේ ගැන ඇහුවම කිවවෙ නවන්දන්න කියන්නෙ ලස්සන ගෑනු ඉන්න කුලයක් කියල. ඒ වගේම මේ කුලේ අය අතර බුද්ධිමත් ලක්ෂණ, සංස්කෘතිකව හික්මවුනු ගති දකින්න තිබුනා කියල ලියලා තියෙනවා. ඒකත් මේ බ්‍රාහ්මන ඉතිහාසයේ උරුමයක් විදිහට දකිනවා.
නවන්දන්න කියන්නෙ කර්මාන්ත නවයක් දන්නවා කියන එක.
ජනවංශය කියන්නෙ නවකම් නැත්තං අලූත් කර්මාන්ත, නව නිර්මාණ කරන හින්ද මේ නම කිව්වා කියල. කම්මල් වැඩ, රන් රිදී වැඩ, ගල් මැදුම්, ගල් කැපුම්, සිත්තර වැඩ, හී- හෙල්ල වර්ණ ගැන්වීම්, ඇත් දළ වැඩ, ලෝකඩ වැඩ සහ වඩු වැඩ තමයි මේ පාරම්පරික වැඩ නවය කියන්නෙ.
රොබට් නොක්ස් කියන්නෙ මේ කුලේ අය ගොවිගම කුලේ අයට සමාන තත්වයක් ඉසුලූවා කියල. වෙන කුලවල අයට ඉඳගන්න තහනම් වුනු අසුන්වල ගොවියන් සමග එකට ඉඳගෙන ඉන්න පවා නවන්දන්නයන්ට අවසර තිබුන කියනවා. අමේන්ද්‍ර, අඹේපිටිය, අලහේන්ද්‍ර, ඉඹුලාන, ඉලූක්කුඹුර, කෝදාගොඩ, තේනුවර, දේවේන්ද්‍ර, දේවසුරේන්ද්‍ර, හේමචන්ද්‍ර, දේවපුර, දේවනාරායන, දන්ත නාරායන, නවරත්න, නාරායන, බටුකුඹුර, බර්තොලමියුස්, මනමේන්ද්‍ර, මිද්දෙනිපිටිය, රබෙල්, රත්නවිභූෂන, වැලිහිඳ, වීරමන්ත්‍රී, විජයේන්ද්‍ර, විජයසුරේන්ද්‍ර, විමලසුරේන්ද්‍ර, විජයනාරායන, විමලරත්න, සල්වතුර, සොන්නේදර සහ සම්පායා කියන්නෙ නවන්දන්න කුලෙන් පැවතගෙන එන නම්.
කුල කියනවා වෙනුවට කුල ගැන හොයන එක ලංකාවෙ ගොඩක් ප්‍රශ්නවල ඇත්ත යටිපෙල තේරුම්ගන්න උදව්වක් වෙනවා. මේ විදිහට අපි අපේ කුල ගැන එලිපිට ලියන එක කතා කරන එක හංගලා කුණු ගඳ ගහන කුලවාදයට හොඳ උත්තරයක් කියලයි මං හිතන්නෙ. අපේ රටේ කුල සහ ඒවායෙන් සිද්ධවෙන බලපෑම් ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක් නන්දන වීරරත්න. ගොඩක් අර්බුද ගැන මේ හැංගුනු යටිපෙල කතාවලින් ඉතාම අවශ්‍ය පැහැදිලි කිරීම් නන්දන අතින් කෙරෙනවා.
මෙතන තියෙන්නෙ නවන්දන්න කුලේ ගැන විතරයි. අනිත් හැම කුලයකමත් ඉතාම විචිත්‍ර ඉතිහාස කතාවක් තියෙනවා. ඒ ඉතිහාසෙට එබෙද්දි අපිට අපි ගැන වගේම රට ගැනත් ගොඩක් දේවල් තේරුම් යනවා. මං හිතන්නෙ කුල ගැන අවබෝදයකින් තොරව මේ රටේ සමාජ ප්‍රශ්න දිහා බලන එකම ඌන විදිහට කියවීමක් වෙනවා.