කොරෝනා හා එහි ආංශික බලපෑම

කතුවැකිය සියලුම ලිපි

වසංගත, ලෝක ශිෂ්ටාචාරය වෙනස් කළ බව ඉතිහාසඥයන්ගේ මතයයි. අපේ අත්‍යන්තයෙන්ම සශ්‍රීකව තිබූ අනුරාධපුර පැරණි ශිෂ්ටාචාරය බිඳ වැටීමට හේතුව ලෙස සමහර ඉතිහාසඥයන් පවසන්නේ මැලේරියා වසංගතයයි. 1935 තුන්කෝරළය අවට පැතිර ගිය මැලේරියා වසංගතයෙන් සිය ගණනක් මිය යද්දී සමසමාජවාදීන් එහි ගොස් ‘ක්විනීන්’ නැමති ඖෂධයත් ආහාර පානත් බෙදුවේය. එයම ශතවර්ෂයකට ආසන්න කාලයක් ඇදීයන වාමාංශික ව්‍යාපාරයේ උපතට හේතු විය.

ලෝකය වසංගත ගණනාවකින් මෑත ඉතිහාසයේ දුක් වින්දේය. ඒඞ්ස්, එබෝලා, සාර්ස් ඒවා කිහිපයකි. ආසියාවේ නව වසංගත බොහෝ විට ආරම්භ වන්නේ චීනයෙනි. සාස් හා වර්තමාන කොරෝනාහි ආරම්භය ද චීනයෙන් වාර්තා වෙයි. කොරොනා වසංගතය වවුල් මස් වැළඳීම හරහා ඒ ඔස්සේ ඇති වූවකැයි එක මතයකි. එහෙත් ලෝකයේ වෛද්‍ය පර්යේෂකයන් තවමත් කොරෝනා වෛරසයේ පදනම පිළිබඳ නිශ්චිත එකඟතාවයකට පැමිණ නැත. එහෙයින්ම එයට නිශ්චිත ප්‍රතිකාර විධින් සොයා ගැනීමට තවමත් අසමත්ව තිබේ. මෙය ලියන දිනට (පෙබරවාරි 26) පෙරදින ඉතාලියේ නියෝජ්‍ය සෞඛ්‍ය ඇමතිවරියට ද කොරෝනා වෛරසය ශරීරගත වී ඇතැයි වාර්තා විය.

දැන් වන විට චීනයේ කොරෝනා ආසාදිතයන් යම් ප්‍රමාණයකට අඩුවෙමින් පවතින නමුත් කොරියාව හා ඉතාලියේ ආසාදිතයන් ප්‍රමාණය වැඩිවෙමින් පවතී. ඉතාලිය යුරෝපයට පිවිසෙන වාහල්කඩ (පියස්ස) යයි හැඳින්වෙන තත්වයක් යටතේ එරට කොරෝනා රෝගීන් බහුලව හමුවීම යුරෝපයට මහත් ව්‍යසනයකි. ඉතාලිය අපගේ පමණක් නොව බොහෝ රටවල ශ්‍රමිකයන් වාසය කරන රටක් නිසා අනෙක් රටවලට ඔවුන් ඇසුරෙන් මේ රෝගය පැතිරීමේ අවදානමක් ද පවතී. මේ වන විට යුරෝපයේ අනෙකුත් බොහෝ රටවල් ඉතාලිය හා සබඳතා තාවකාලිකව නැවැත්වීමට කටයුතු කර ඇත. ඉතාලියේ පමණක් දැනට රෝගීන් සියයක් පමණ සොයාගෙන ඇති අතර 75,000 ට වැඩි ප්‍රමාණයක් නිරෝධායන (ූම්ර්බඑසබැ) ක්‍රියාවලියට යොමු කොට තිබේ.

ශීත කාලයේ මෙවැනි රෝග පැතිරීමට වැඩි අවකාශයක් සැලසෙන බවයි විශේෂඥ මතය. ලංකාවේ දැන් පවත්නා සෙල්සියස් අංශක 35කට ආසන්න උෂ්ණාධික තත්ත්වය කොයි වසංගතයක් කඩාවදින අපේ රටේ තවමත් කොරෝනා ළඟා වීම වළක්වා ඇතිවා විය හැකිය. එහෙත් මාර්තු අප්‍රේල් මාසය වන විට තත්ත්වය වෙනස් විය හැකිය. මේ කාලයේදී කැනඩාව, ඇමරිකාව ඇතුලත් උතුරු ඇමරිකාව හා යුරෝපය ඇතුළත් උතුරු අර්ධගෝලයේ ශීත තත්වය අඩු වෙමින් යයි. ඕස්ටේ්‍රලියාව නවසීලන්තය ආදිය ඇතුළත් වන දකුණු අර්ධගෝලයට ශීත කාලය එළඹෙයි. මේ දේශගුණික විපර්යාසයන් ඇතිවීමට පෙරාතුව කොරෝනා වසංගත තත්වයන් නිමාකර ගැනීමට නොහැකි වුවහොත් මෙම රෝගය විශ්ව ව්‍යාප්ත අවදානමක් දක්වා පත්විය හැකි බව විශේෂඥ මතයයි.

චීනයේ වුහාන්හි ආරම්භ වූ කොරෝනා (2019 බ ජදඩ) වෛරසය දැනටමත් වේගවත් ගමනක යෙදුනු චීන ආර්ථිකයට මරු පහරක් එල්ල කර ඇත. එමෙන්ම ලොව පුරා පැතිරී සිටින චීන ජනතාව කෙරේ සැකයෙන් බලන තත්ත්වයක් උදාවී ඇත. කාර්යාල හා අනෙකුත් මහජනයා ගැවසෙන ස්ථානවල පමණක් නොව චීන අවන්හල්වල පවා ‘රෝගකාරක තත්වයන් ඇතිවූ කාලයේ චීනයට ගොස් පැමිණියා නම් මෙහි ඇතුළු නොවන්න’ වැනි දැන්වීම් ප්‍රදර්ශනය කර තිබේ. දැනටමත් චීනයේ දැවැන්ත අපනයන නිෂ්පාදන කර්මාන්ත ශාලා විශාල ප්‍රමාණයක් වසා දමන්නට සිදුව ඇත. එමගින් ලෝක මූල්‍ය වෙළඳපල බලවත් ලෙස අන්දමන්ද වී තිබේ.

චීනය ආර්ථිකමය බලවත්කම අතින් දෙවැනි වන්නේ ඇමෙරිකාවට පමණි. එමෙන්ම චීනය හිතාමතාම දුගී රටවලට උදව් කරන මුවාවෙන් එහි රටවලට වැඩි පොලියට මුදල් ආධාර ලබා දෙමින් සිටී. ඒ අතර ඒ රටවල දේපල තමා සන්තකයට ගැනීම ලෝකයේ මූල්‍ය සම්පාදකයත් පාවිච්චි නොකළ අවිනීත ක්‍රමවේදයක් ද චීනයේ විදේශ ආර්ථික භාවිතාව තුළ පවතී. මේ ආර්ථික යටත්විජිතකරණයට දකුණු ආසියාවේ වඩාත්ම ගොදුරු වී ඇති රට බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාවයි. අප්‍රිකාවේ බොහෝ රටවල්ද, දකුණු ඇමරිකාවේ බොහෝ රටවල්ද මේ තත්ත්වයට ගොදුරු වී ඇත. එමෙන්ම ලෝකයේ මේ රටවලට යවා ඇති චීන ජනයා ඒ ඒ රටවල සංස්කෘතික සමාජ ජීවිතයට කර ඇති බලපෑම ද සුළුපටු නොවේ. ශ්‍රී ලංකාවේ පමණක් මේ වන විට ජීවත්වන හතළිස් දහසකට ආසන්න චීන ජනගහනය ලාංකීය ආර්ථිකයට කඩා වදිමින් සිටින ආකාරය ලොමුදැහ ගන්වන සුලූය. විශේෂයෙන් ආත්මාර්ථකාමී පාලකයන් චීනයේ හිතවතුන් කරගන්නා චීන විදේශ ප්‍රතිපත්තිය, එකී පාලකයන්ගේ ජාගර උවමනාවන් වෙනුවෙන් නොමදව මූල්‍ය පහසුකම් සලසයි. මෙකී පාලකයෝද තමාගේ උදර පෝෂණය ගැන පමණක්ම සිතමින් රටක් එළඹිය නොයුතු ගිවිසුම්වලට චීනය සමඟ එළැඹෙති. දැනටමත් කෙන්යාවේ ප්‍රධානතම වරාය චීන දේපලක් බවට පත්වී ඇති අතර කාම්බෝජයේ ප්‍රධාන වෙරළ තීරුවට ද ඒ ඉරණම ම අත් වී ඇත. ලංකාවේ හම්බන්තොට වරාය, කොළඹ වරාය නගරය, මේ සඳහා අනෙක් උදාහරණය.

චිනයේ ලෝක ව්‍යාප්තවාදී පිළිවෙතත් එරට තුළ පවත්නා උග්‍ර මානව හිමිකම් විරෝධී ප්‍රතිපත්තියත් නිසා චීනය කෙරේ ලෝක පරිමාණ අප්‍රසාදයක් ගොඩනැගී තිබේ. එමෙන්ම ලෝකයේම අනාගතය චීනකරණය කිරීම සඳහා වන ඔවුන්ගේ ආර්ථික සංස්කෘතික හා දේශපාලනමය මූලෝපායන් පිළිබඳව දැන් ලෝක පරිමාණ සාකච්ඡාවක් ආරම්භ වෙමින් තිබේ.

එවැනි තත්ත්වයක් යටතේ කොරෝනා වෛරසය පදනම් කරගත් චීන ජන විරෝධයක් ඔවුන් කෙරේ වන පිළිකුළක් පැතිර යමින් තිබේ. රෝග කාරකයක් ඇසුරින් මානව ප්‍රජාවක් සමච්චලයට ලක් වීම මනුෂ්‍යයත්වයට නිගා දෙන්නකි. ලංකාවේද එහි වෙනසක් නැත. චීන ජාතිකයන් සමග එක්ව පොදු ප්‍රවාහන සේවා පාවිච්චි කිරීම, චීන ජාතිකයන් වෙළෙඳසල් තුළට වැද්ද නොගැනීම ආදිය සිදුවෙමින් පවතී. මෙවැනි කටයුතුවලින් චීන ජාතිකයන්ට හිංසා නොකරන්න යැයි පවසමින් ලංකාවේ චීන තානාපතිවරයාට ආයාචනාත්මක පණිවිඩයක් පවා නිකුත් කිරීමට සිදුවිය. සාමාන්‍යයෙන් තමාගේ නොවන අනෙකා ප්‍රතික්ෂේප කිරීමේ දුෂ්ට පුරුද්ද වතාවතක් වශයෙන් පුරමින් සිටින ශ්‍රී ලාංකිකයන්ගෙන් මේවා බලාපොරොත්තු විය යුතුය.

කෙසේ වෙතත් කොරෝනා වෛරසය ලෝක උවදුරක් බවට පත්වී ශිෂ්ඨාචාරයක් කණපිට හැරවීමට සමත් වේද නොවේද යන කාරණය අනාගතයට භාරය.

එහෙත් ලංකාව ඉතාම ඉහළින් වසංගත රෝග පාලනයට සමත්කම් දැක්වූ රාජ්‍යයෙකි. එහෙත් අද ඒ තත්වයන් සියල්ල වෙනස් වී ඇත. ඩෙංගු රෝගය පාලනය කිරීමට වසර විස්සක් පමණ ගෙවී ගොසිනුත් එය බැරි වූ තත්ත්වයක් යටතේ කොරෝනාද පැමිණියහොත් තත්වය කෙසේ විය හැකිද? වෛද්‍ය සේවාවේ සාරධාර්මික බිඳවැටීම සහ සෞඛ්‍ය සේවය උදෙසා පාලකයන් දක්වන අඩු සැලකිල්ල මෙයට හේතුවී ඇත. එවැනි තත්වයක් යටතේ කොරෝනා වසංගතයක් ඇති වුවහොත් තත්ත්වය කෙසේ විය හැකිද?

කොරෝනා උදෙසා ප්‍රතිකාරයක් තවමත් නිශ්චිතව සොයාගෙන නැති තත්වයක් යටතේ ලංකාවේ ගොඩවෙද්දදු ඇතැම් කොරෝනා ප්‍රතිකාර බෙහෙත් මුල් වෙළඳපොලට පවා එවා ඇත. ලංකාවේ ඖෂධ නියාමනයක් නැතිකමට හොඳම උදාහරණයකි ඒ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.