නොනිමි මතක පොත 34

January 5, 2018 in විශේෂාංග

1

මෙවර මතක පොත දිග හරින්නේ ඉතා මෑතදී ටොරොන්ටෝ නුවර සන්දර්ශන ශාලාවකදී මා දුටු අපූරු සංගීත කාර්යයක් පිළිබඳ ඇගයීමක් ඔබ වෙත ගෙන ඒම සඳහා ය. එනම් ටොරොන්ටෝවේ ගාන්ධර්වයකු වශයෙන් ප‍්‍රචලිත සරත් කුමාරසිංහ සංගීතවේදියා විසින් දෙසැම්බර් 7 වැනි දින මාජා ප්‍රෙන්ටිස් රංග ශාලාවේ – නැතිනම් බර්න්හැම්තෝප් රඟහලේදී එළිදක්වන ලද ‘සත්සර 2017’ දර්ශනයයි. ‘විඩාබර සිත නිවා පහන් වෙනු පිණිස’ මියුරු සර මියැසි සැරිසර හඳුන්වා තිබිණු මෙම සංගීත සන්ධ්‍යාව මා දකින්නේ අපූරු නිර්මාණ කාර්යයක් වශයෙනුයි. එය අපූරු නිර්මාණයක් වන්නේ නෙත පමණක් නොව දෑස් පිනවන සහ සිත් වශීකරන ආහ්ලාදජනක අංග එහි ඇතුළු වී තිබීම නිසාය. සරත් කුමාරසිංහයන්ගේ සත්සර 2017 එවන් අන්දමේ මාහැඟි නිර්මාණයකි. එහි පසුබිම යැවුණේ ඉතා මිහිරි ගීත ස්වර සම්භාරයකි. ප‍්‍රචලිත සංගීතය භාණ්ඩයක් වන ‘එස්රාජය’ මෙහි ජීවය වී තිබුණි. එස්රාජය යනු ඉන්දියානු සම්භවය ඇති වසර 300 වඩා දිගු ඉතිහාසයක් නොමැති තත් මගින් ශබ්ද මාධූර්යය ගෙන එන භාණ්ඩයකි. සීක්වරු මෙය නිතර භාවිතා කරති. බටහිර බෙංගාලය ද මෙය නිතර භාවිතා කරන බව පෙනේ. එස්රාජය ඩිල්රුබා නම් සංගීත භාණ්ඩයේ නූතනමය ස්වරූපය වී ඇත.
ප‍්‍රකට විද්‍යාඥයකු වූ සත්‍යෝද්‍ර නාත් මෝස් තමන්ගේ කල්කටා නිවසේ මෙම භාණ්ඩය නිතර වාදනය කළ බව වාර්ථා වී ඇත. සික් යුද හමුදාව තමන්ගේ රණකාමී ගමන්වලදී මෙම භාණ්ඩය රැුගෙන ගොස් විවේක වේලාවලදී විනෝද වූ බව අපි දනිමු. මෙය කෙනෙකුට සිතාරයක ළමා වියක් සේම පෙනෙන්නට පිළිවන. මෙහි ප‍්‍රධාන තත් සතරක් සහ පිරිවර තත් 15 දක්නට ලැබේ. අළුවකින් මෙය වාදනය කළ යුතු වේ. ශාස්ත‍්‍රීය සංගීතය සඳහා නිතර යොදා ගන්නා මෙම භාණ්ඩය, වයලීනය හා සමාන නාද රටාවක් බිහි කළ ද එයින් මතුවන නාදය ඊටත් වඩා සුමිහිරි යැයි සමහරු කියති. දුක්බර ගීතවලට එස්රාජය කදිම සහයකයකු වන්නේය.
සරත් කුමාරසිංහයන් අප දන්නා තරමට මෙම භාණ්ඩය වාදනය කළ හැකි අය අතුරින් උතුරු ඇමෙරිකාවේ පදිංචි කිහිපදෙනාගෙන් එක් අති දක්ෂ වාදකයෙකි. ඔහුගේ මෙම ප‍්‍රසංගයේ මූලික අවධානය යොමුවූයේ එස්රාජයෙන් බිහි කළ නිර්මාණශීලී වාදන වෘන්ද රාශියකට ය. පළමුවෙන්ම, මෙම සත්සර 2017 සංවිධානය වී තිබුණු ආකාරය පරික්ෂා කර බලමු.
වැඩසටහන මුල් භාගය කුමාරසිංහයන්ගේ එස්රාජ් වාදනවලට වෙන්වී තිබුණි. ඔහුගේ සහායට පසුබිම් තබ්ලා වාදකයකු, ගිටාර් වාදකයකු, වෙනත් බෙරවාදකයකු, සැක්සෆෝන් වාදකයකු සහ සංධ්වනි ජනනය කළ බටහිර සංගීතය භාණ්ඩයක් මෙහෙය වූ නාද සංගෘහිත වාදකයෙක් ද අපට දක්නට ලැබිණ.
ප‍්‍රසංගයේ දෙවෙනි කොටස කුමාරසිංහයන්ගේ ගීත ගායනා වලින් පිරී පැවතිණි. ඔහුට සහය වීම සඳහා වරින්වර ටොරොන්ටෝ ගායක ගායිකාවන් මෙන්ම ඉන්දීය ගායිකාවක්ද සහභාගිවූහ. කුමාරසිංහයන්ගේ ගෝලබාලයන් සිව් දෙනෙක් පමණද මෙම ප‍්‍රසංගය රසවත් කළ අය අතර වූහ.
ප‍්‍රසංගය ආරම්භ වූයේ ප‍්‍රඥා ප‍්‍රදීප දල්වා යන ප‍්‍රචලිත ගීතය එස්රාජයෙන් වාදනය කරමිනි. ඉන්පසුව වාදනය වූයේ පේ‍්‍රමකීර්ති ද අල්විස් රචනා කළ වික්ටර් රත්නායක ගායනා කළ ආදරයේ උල්පත වූ අම්මා යන ගීතයයි. එම ගීතය තුළ සැඟවී රසාලිප්ත භාවය සහ අර්ථ සම්පන්න ගුණය අම්මා පිළිබඳව අමුතු සංවේදීතාවක් ඇති කරන්නට සමත් වී ඇති බව වික්ටර්ගේ ගායනයට සවන් දී ඇති අපි දනිමු. මෙදින කුමාරසිංහයන් තත් පිරිමදිමින් කළේ අප සැම සමාධියකට යවමින් එම ගීතයේ ගීතමය සංධ්වනිය හා චමත්කාරය පුන පුනා ඉස්මතු කිරීමකි. වචන රහිතව සංගීතය රස විඳින්නට පුරුදු වී සිටි සමහරුනට ගීත වාදනය අවසන් වූයේ කවර මොහොතක දැයි් අමතක වූවා සේය. ඔවුනගේ සමාධිය දිගටම පැවතිණි. වචනවලින් තොරව සංගීතය රස විඳින්නට නුපුරුදු උදවිය එසේ කළ හැක්කේ කෙසේද යන්න එදින උගත් බව මම හඟිමි. මීට නොදෙවෙනි හාස්කමක් කුමාරසිංහයන් පෙන්වා දුන්නේ න්දා මාලනියගේ ඔබයි රම්‍ය සඳ කිරණ ඝන අන්ධකාරයේ යන ගීතය වාදනය කරන අවස්ථාවේ ය. නිසර්ගයෙන්ම දුකට බර වෘන්දයක් වූ එම ගීතය සමහරුන් තුළ කඳුළු ජනනය කර ඇති බව මම අසා ඇත්තෙමි. ආදරයේ මහිමය ද ප‍්‍රකාශ කරන එම ගීතය කුමාරසිංහයෝ හුදු වාදනය කළේ නැත. ඔහු ඒ තුළින් කර්ණරසායන නිර්මාණයක් ඉදිරිපත් කළේය.
ප‍්‍රසංගයේ ඉතා උත්කර්ෂවත් අවස්ථාව මා දුටුවේ ‘ ඕ සජනා’ නමැති සලීල් චවුද්රී සංගීතවත් කළ ගීතය වාදනය කරන අවස්ථාවේදීය. පරාක් නමැති චිත‍්‍රපටයේ (1960* අන්තර්ගත ශාස්ත‍්‍රීය ගීතයක් වන ‘ ඕ සජනා බර්තා බහායි ආයි’ ලතා මංගේෂ්කාර් ගේ කර්ණරසායන කටහඬින් පිටවූ දවස්වල ය. එහෙමනම් මීට 57 කට පෙර සංගීත ලෝලීන් දැවී ගිය බවක් මට මතකය. මෙදා කුමාරසිංහයන්ගේ චතුර වාදනය හා ඊට අනුරූපීව තාලය සැපයූ සම්පත් ශ‍්‍රී ගේ තබ්ලා වාදනය අතීත ස්මරණයන් නැවත පණ ගැන්වූයේ ය යි පමණක් සිතා තෘප්තිමත් විය නොහැකි ය. ඔවුන් දෙදෙනා මවා පෑ වාදනමය ද්වන්ධ සංයෝගය කලාතුරකින් දක්නට ලැබෙන, අසන්නට ලැබෙන උත්කෘෂ්ට ගණයේ රසවින්දනයක් වූයේය. ඕ සජනා… ඉන්දියානු පේ‍්‍රක්ෂකන් මවිතයට පත්කළ ගායනයකි. මෙදින කුමාරසිංහයන් පෙන්වූයේ වචන නොමැතිව ඕ… සජනා අප දෑස් ඉදිරිපිට රඟදක්වා පෙන්වීමකි.
සලීල් චවුද්රී ඕ සජනා ගීතය මුලින්ම සම්පාදනය කළේ බෙංගාලී භාෂාවෙන් 1959 දීය. එය එවකට ‘නෙ ජ්‍යො නා’ නමින් ප‍්‍රචලිත විය. බෙංගාල සංගීතකරුවන් අතර ලතා මංගේෂ්කාර් ප‍්‍රසිද්ධ වූ ප‍්‍රථම අවස්ථාව ද මෙය වූයේය. පරාක් චිත‍්‍රපටය පේ‍්‍රම ජවනිකාවක පසුබිම් වූ මෙම ගීතය ‘ මගේ පෙම් කඳ වැස්සෙන් පිරුණු වසන්තය දැන් පැමිණ සිටි’ ‘ඒ සමගම අපට ආදරය ද යහමින් ගෙනැවිත් තිබේ’ යන අරුතින් ලතා ගායනා කළාය. ගීතය සහ චිත‍්‍රපටිය හොදින් දන්නා අය තුළ කුමාරසිංහයන් මෙම අතීතාවර්ජනය ඉතා මැනවින් පුනර්ජීවනය කළ බව නොරහසකි.
වචන නොමැතිව ගීතයක අරුත් මවන්නට සරත් කුමාරසිංහයන් තුළ අසාමාන්‍ය දක්ෂතාවක් ඇති බව මා දුටුවේ මෙදිනය.
සත්සර 2017 තුළ තවත් සිංහල ගීත කිහිපයක්ම අපට වාදන වෘන්දයෙන් අසන්නට ලැබුණි. එක්තරා විශේෂත්වයක් ඔහු මීට ඇතුළත් කළේ දෙමළ සහ ඉංග‍්‍රීසි ගීත ඉදිරිපත් කරමිනි. න්‍දයබ ාැබඩැර ගැයූ ජදමබඑරහ රද්ා නමැති ඉතා ප‍්‍රසිද්ධ ගීතය එස්රාජය වාදනය වූවා මා ඇසුවේ මෙ දිනය. ගීතය අවසාන භාගයේදී ඔහුගේ තත් පිරි මැදුනේ ගුත්තිල- මූසිල සංගීතවාදය අපට සිහිපත් කරවමිනි.
සත්සර 2017 සිංහල, හින්දි, දෙමළ සහ ඉංග‍්‍රිසිවල මනා සුසංයෝගයකි. මෙම ප‍්‍රසංගය වර්ෂය 13ක් පවත්වාගෙන පැමිණි බව ප‍්‍රසංග අත්පොතෙහි සඳහන් වේ. එහෙත් මෙම ප‍්‍රසංගය නැවුම් පෙනුමක් ලබා දී ඇත්තේ එය කොටස් දෙකකට බෙදාගැනීමෙනි.
විනාඩි 20 ක විරාමයකින් පසු අපි නැවතත් රංග ශාලාවට පැමිණියෙමු. එම දෙවැනි කොටසේ අපට අසන්නට ලැබුණේ තනිව ගැයූ සහ යුගල වශයෙන් ගැයූ මෙන්ම සමූහ ගීත සමහරකි. මෙම ගීත සමහරකට දෘෂ්‍යමය අංගයන් එකතු කරමින් රසාන්ති හෙට්ටිආරච්චිගේ සහ නිලන්ත කරුණාරත්නයන්ගේ ගෝලබාලයන් ඉදිරිපත් කළ නැටුම් වේදිකාව සම්පූර්ණ කළ බව මට මතකය.
සෝමතිලක ජයමහ මුලින් ගැයූ ‘සැඳෑ අඳුර ලොව’ යන ගීතයෙන් දෙවෙනි කොටස ආරම්භ විණි. ගජමන් පුවත නාට්‍යයේ ප‍්‍රසිද්ධ ගීතයක් වූ ඇලපාත මුදලි ගැයූ ‘ තුටු කළ ලෙවන්’ මේ අතර විශේෂිත ගීතයක් වූයේ ය. කුමාරසිංහයන් ගේ මියුරු හඬින් එය ගායනය වූ අතර එය නාට්‍ය ගීතයකට වඩා මධුර ස්වරයෙන් ගැයූ ගීතයක් බවට ඔහු පරිවර්තනය කළේය. ඊට පිළිතුරු වශයෙන් ගජමන් නෝනා ගැයූ කවි මීට සම්බන්ධ කළේ නම් අගය කියා නිමකළ නොහැකි විය. තවත් විශේෂ කාරණයක් වූයේ මොහුවා පරියල් නම් ඉන්දියාවේ ජාතික ගායිකාව ගායකයා සමඟ සම්බන්ධ වූ ආකාරයයි. ආශා බොන්ස්ලේ ගේ කටහඬට ඉතා සමීප මනරම් ස්වර ගායනයක් සහිත මොහුවා මුලදී කුමාරසිංහ සමග අනුරා ඇගේ නම් ගීතය ගායනා කළාය. විදේශීය ගායිකාවක්ද එම ගීතය ගායනා කලේ? යන ප‍්‍රශ්නය අපට නොදැනුනේ ඇගේ වචන උච්චාරණය සහ සංගීත කාමීත්වය මැනවින් ප‍්‍රදර්ශනය වූ බැවිනි. මෙම ගීතය රෝහණ වීරසිංහ විසින් සංගීතවත් කළ බන්දුල නානායක්කාරවසම්ගේ පද රචනයකි. මොහුවා ගැයූ ඊළඟ ගීතය වූයේ ‘ගුන්ගුණා රහේ හා…’ නම් ඉතා ප‍්‍රකට හින්දි ගීතයකි. මීට වසර ගණනාවකට පෙර තිරගත වූ ආරාධනා හිංදි චිත‍්‍රපටයේ මොහොමඞ් රෆි ගැයූ මේ ගීතය තවත් පේ‍්‍රම ගීතයකි. මී මැස්සන් කොඳුරන අතර මල් පීදෙනු පෙනේ – සෑම වීදියකම මල් පිරී ඇත. සොඳුර මේ දෙස බලන්න. මල් ලජ්ජාශීලී ගතියක් පෙන්වන්නේ වේලයට මුවා වී සිටින තරුණ ඔබ වාගෙමයි.’ ‘ අප දෙදෙනා ආදරය හමුවේ හුන් හුන් තැන් අහිමි වූ අය වාගේමයි’ කුමාරසිංහයන්ගේ ගායනා ශෛලිය මෙම ගීතයට ජීවයක් මුසු කළ අතර, මොහුවාගේ රිද්මය, සංයමය සහ ගායන වෘන්දය ගීතය ඉදිරියට ගෙන ගිය ප‍්‍රධාන සාධක වූ බව මම හඟිමි. ආරාධනා චිත‍්‍රපටයේ ඉතා ප‍්‍රකට ගීත ගණනාවක්ම ඔබ අසා ඇත. ‘මෙෙරෙ සමුනො කි රානි කබ ආයෙගි තු’ එවැන්නකි.
මොහුවා ගේ හඬින් ඕ… සජනා ගීතය ගැයුණේ නම් තවත් අසාමාන්‍ය මානයක් මෙම ප‍්‍රසංගයට ඇතුළු විය හැකිව තිබුණු බව මම විශ්වාස කරමි. අනාගත වැඩසටහනකට මෙය ආරාධනයකි.
කුමාරසිංහයන් සමග එක් වූ ලාංකික ගායක ගායිකාවන් අතර රෝස් ලොකුලියන. අයිරා ඉඹුල්දෙනිය, දිනූ ද අල්විස් මෙන්ම අත්වැල් ගායනයෙන් සම්බන්ධ වූ හෙළසිරි ලොකුලියන, සම්පත්, සමනල් දිසානායක හා අසංග බෝගෙදර තම ගායන ශිල්පය පෙළහැර දැක්වූ බව නොරහසකි. සරත් ද අල්විස් සංගීතය සැපයූ සහ උරේෂා රවිහාරි මුලින් ගායනා කළ මල්මුතුලැල් ගීතය රෝස් ලොකුලියන මෙවර ගායනා කළේ අප ගායකයා සමඟය. දෙදෙනාගේ ස්වර සංඝට්ටනය ඉතා මධුර සංගීතයක් වූ බවද නොකියාම බැරිය. නීලා වික‍්‍රමසිංහ මුලින් ගායනා කළ පිපෙනා මලක් සේම මෙදින කුමාරසිංහයන් සමග ගායනා කළේ අයිරා ඇඹුල්දෙණියයි. අයිරා සතුව ඇත්තේ නිසර්ග ගායනා හැකියාවකි. මෙබඳු කටහඬවල් ශාස්ත‍්‍රීය පක්ෂයට බර ගීත සඳහා ඉතා මැනවින් ගැළපෙන බව මගේ අදහසයි.
රංගාරා නාට්‍යායතනය සිසුවියෝ මනඃකාන්ත නැටුම් කිහිපයක්ම ගීත වලට අනුකූලව ඉදිරිපත් කළහ. මින් මා ් සිත් ගත් එක් නැටුමක් නම් රෝහණ වීරසිංහ සංගීතය සැපයූ මරතෝන්ඩිය රටා නම් මුල් ගීතයට කුමාරසිංහයන්ගේ ගායනයයි. ඉස්ලාම් පසුබිමක සිදු වූ ඒ නැටුම අවස්ථානෝචිත වූවා පමණක් නොව අර්ථ සම්පන්න රංගනයක් ද වූයේය.
සරත් කුමාරසිංහයන් මෙසේ ඉදිරිපත් කරන ලද හයවැනි ඒක පුද්ගල ප‍්‍රසංගය ශාස්ත‍්‍රීය සංගීතයට ලැදි උදවියට පිරිනමන ලද උපහාරයකි. ශාස්ත‍්‍රීය සංගීතය නොදන්නා සහ නොවටනා උදවියට වුවද මෙම ප‍්‍රසංගය සිත් සහ වින්දනය පුබුදු කළ බව රංග ශාලාවෙන් පිටත් වී ගිය පේ‍්‍රක්ෂක ශ‍්‍රාවක උදවිය ගේ මුවින් පිට වූ වදන්වල ගැබ් වී තිබිණ. වචනවලින් තොරව සංගීතය කෙතරම් දුරට මිනිසාගේ හදවත පසා කරගෙන යා හැකිද යන්න එදා මේ ප‍්‍රසංගය පෙන්වා දුන්නේ රසාලිප්ත සහ ශාස්ත‍්‍රීය පක්ෂයට බරව වැයුණු එස්රාජ් වාදන තුළිනි. සහය වාදක කණ්ඩායමට ද මෙම කර්තව්‍ය ඉටුකිරීමට දුන් සහාය පිළිබඳව ගෞරවාදරය පිරිනැමිය යුතුය. ඔවුන්ගේ අනුවාදන අතුරුවාදන සහ ප‍්‍රතිසංයෝගි වාදන ජදමබඑැරචදසබඑ අලංකාරය දෙගුණ තෙගුණ කළ බව මම සිතමි.
ලෝකයේ ඉතා දක්ෂ කුසලතා දක්වමින් එස්රාජය වාදනය කළ අය නම් ගුරු ගෝවින්ද් සින් (1708* බීට්ල්ස්, ඒ.ආර්. රහුමන්, පණ්ඩිත් රවිශංකර්, සුකේෂ් ජානා සහ සුභායා සෙන් මජුම්දාර් බව වාර්තාවල සඳහන් වේ.
කුමාරසිංහයන් එදින හුදු එස්රාජය වාදනය කළේ නැත. ඔහු එස්රාජය තුලින් සංගීතක්, ඉතා ඉමිහිරි සංගීතයක් නිර්මාණය කළේය. සංගීත භාණ්ඩයක් වාදනය කිරීම ක‍්‍රමානුකූලව ඉගෙන ගත් අයෙකුට පහසු දෙයකි. එහෙත් එම භාණ්ඩය භාවිතාකර මධුර මනෝහර සංගීතයක් නිර්මාණය කිරීම සෑම අයකුටම කළ නොහැකි දෙයකි. සරත් කුමාරසිංහයන් සහ ඔහුට සහය වූ සම්පත් ශ‍්‍රී තබ්ලා වාදකයා ද ‘ රජ මැදුරේ ගාන්ධර්වයන්’ සේ දැක්වූ රඟපෑම පහසුවෙන් මතකයෙන් ඉවත් නොවනු ඇත.
සරත් චන්ද්‍රසේකර

Share Button