නොනිමි මතක පොත- 27

June 3, 2017 in විශේෂාංග

siri (1)

මහාචාර්ය සිරිගුනසිංහ ශූරීන් අප අතරින් වෙන්වී ගියේ මීට දින කිහිපයකට පෙරාතුව ය.
කැනඩාවේ වික්ටෝරියා විශ්වවිද්‍යාලයේ චිත‍්‍රකලාවේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය පදවියක් දැරූ එතුමා, බෙහෙවින් ජනාදරයට පත්වූ ගුරුවරයෙකු වූයේ ය.
දැනට කැනඩාවේ පදිංචි බොහෝ උදවිය සිරි ගුනසිංහ ගැන නොදන්නා බවට සැකයක් නොමැත. සමහරු ඔහුව හඳුනන්නේ සත්සමුදුර අතිවිශිෂ්ඨ කලානිර්මාණය තුළින් බිහිවූ සිනමාකරුවෙක් වශයෙනි. තවත් ඇතැම්හු ඔහු නිසඳැස් කවි ව්‍යාපාරය ඉදිරියට ගෙන ගිය පුද්ගලයා වශයෙන් හඳුනාගනිති. තවත් සමහරු ඔහු පේරාදෙණි විශ්වවිද්‍යාලයේ කලක් සංස්කෘත භාෂාව ඉගැන්වූ බව පමණක් දනිති. සිරි ගුනසිංහයන් පිළිබඳව දන්නා දේට වඩා නොදන්නා දේ බොහෝය.
මේ ලිපියෙන් මා බලාපොරොත්තු වන්නේ එතුමා විශ්වවිද්‍යාල ගුරුවරයෙකු වශයෙන් ගත කළ කාලය තුළ පෙන් වූ විශේෂ පෞරුෂ ලක්ෂණ සමහරක් විග‍්‍රහ කර දැක්වීමටය.
1955 දී පමණ පේරාදෙණිය සරසවියට පැමිණි සිරි ගුනසිංහ තරුණයා ඉගැන්වීම ආරම්භ කළේ සංස්කෘත දෙපාර්තමේන්තුවේ ය. මනමේ නාටකයට සම්බන්ධවීම ඔහුගේ මුල්ම කලා සම්බන්ධතාවල පෙර නිමිත්තක් බවට පත්විය. මනමේ බිහිකළ මහාචාර්ය සරච්චන්ද්‍ර සමග ඉතා සමීපව ඇසුරු කළ ගුනසිංහයන් තුළින් බිහි වූ මාහැගි කර්තව්‍යය නම් මනමේ නාට්‍යයෙහි විවිධ චරිත වලට ඔබින ඇඳුම් පැළඳුම් තෝරා ගැනීම සහ සකස් කිරීම ය. මෙම කර්තව්‍යයේ දී ඔහු දැක් වූ ප‍්‍රතිභා පූර්ණත්වය අදත් මනමේ නාටකය නරඹන බොහෝ අය රස විඳිති. එහෙත් එවැන්නක් නිර්මාණය වූයේ ඔහු අතින් බව දන්නේ ටික දෙනෙකි. සංස්කෘත දෙපාර්තමේන්තුව ශිෂ්‍යයන් බහුල ආයතනයක් නොවීය. එබැවින්ම සිරි ගුනසිංහයන්ගේ හිත මිතුරන් බවට පත් වූ බොහෝ දෙනා සමාජ විද්‍යාව වැනි වෙනත් විෂයයන් හදාරන සරත් අමුණුගම, පෝල් සේරම්, එච්.එල් සෙනෙවිරත්න වැනි පුද්ගලයෝ වූහ.
අනෙකුත් බොහෝ මහාචාර්යවරු මෙන් සිරි ගුනසිංහයන් ‘ගුරු කුලයක්’ තනන්නට වෑයම් දැරුවේ නැති බව සක්සුදක් සේ පැහැදිලිය. ඔහු වටා ගැවසුණු බොහෝ අය රසකාමිත්වය, සාහිත්‍යය, චිත‍්‍රකලාව සහ සංගීතය වැනි විෂයයන්ට දැක්වූ ආදරය නිසා ඔහු වටා එක් රොක් වූ බව ඒ සමහර උදවිය අදත් පවසති. ඉතා හොඳ ඇගැයීමක් මෙන්ම විචාරාත්මක පරිඥාණයක් සිරි ගුනසිංහයන්ගෙන් ලබාගත හැකි බව ඔවුහු දැන සිටිය හ. නිස`දැස් කවි ලිවීම ආරම්භ කළ වහාම ඔහු වටා සිටි බොහෝ දෙනෙක් ද එම සම්ප‍්‍රදාය මත කවි ලියන්නට පටන් ගත් බව වාර්තා වේ. සිරි ගුනසිංහයන්ගේ නිස`දැස් කවි සම්ප‍්‍රදායට විරුද්ධව බොහෝ දෙනෙක් එවකට අදහස් පළ කළ බව නොරහසකි. එම චෝදනා අතර සිංහල කවි රටාව ‘බහු බූත’ ක‍්‍රමයකට වෙනස් කරන්නට පේරාදෙණියේ නවීන උගතුන් උත්සාහ කරන බවට කරුණු පෙන් වූ බොහොමයක් කොළඹ සහ අවට ප‍්‍රදේශවල සිට සිංහල පුවත්පත් ඒ සඳහා පාවිච්චි කළෝය. එහෙත් සිරි ගුනසිංහ ඒවාට මුහුණ දුන්නේ නොසැලෙන මහ කන්දක් මෙනි. තමන් විවේචනය කළ කිසිවෙකුගෙන් පෞද්ගලිකව පළිගැනීමට හෝ නිර්දය විවේචනයට ලක් කිරීමට හෝ ඔහු උනන්දු නොවූයේ එය ඔහුගේ ගති ලක්ෂණයක් නොවුණු බැවිනි.
විචාරය වැඩි දියුණු වන තරමට සාහිත්‍යය වැඩි දියුණු වන බව ඔහු විශ්වාස කළේය. අනෙකුත් විෂයන් හැදෑරු ශිෂ්‍යයන් සමග කවි සාකච්ඡුා පැවැත්වීම ඔහුගේ එක් පුරුද්දක් වූ බව මා අසා ඇත. එකිනෙකාගේ කවි විවේචනය කර ගැනීම සහ එකිනෙකාගේ දක්ෂතා ඔප්නංවාලීමට උදව් කිරීම මෙම පේරාදෙණි කවි සංවාදවල පරමාර්ථය වූ බව පෙනේ.
වෙනත් විෂයයන් හැදෑරූ ශිෂ්‍යයන් සමග කලා ප‍්‍රදර්ශන පැවැත්වීම ද, ඒවා එකිනෙකා අතර හුවමාරුකර ගැනීම ද සිරි ගුනසිංහයන්ගේ පුරුද්දක්ව පැවතිනි. සිරිගුනසිංහයන් කවරෙකු ද යන්න බොහෝ ශිෂ්‍යයන්ට පැහැදිලි වූයේ එතුමා වරින් වර පෙන්වා දුන් මෙම බහුශ‍්‍රැත භාවය නිසාය.
සීගිරි සිතුවම් පිළිබඳ රචිත ග‍්‍රන්ථය දෙස බැලීමේ දී ඔහුගේ චිත‍්‍රකලාව පිළිබඳ දැනුම සහ විචාරාත්මක ප‍්‍රවේශය මැනැවින් ඔප්පු වේ. බෞද්ධ කැටයම් බුද්ධරූප පිළිබඳවද මාහැඟි පර්යේෂණ ලිපි ගණනාවක්ම සිරිගුනසිංහයන්ගෙන් බිහිවී තිබේ.
සිරි ගුනසිංහයන් සතුව තිබූ භාෂා දැනුම හා සරිලන මට්ටමේ තවත් දැනුමැති පුද්ගලයකු අද සරසවිවලින් සොයා ගත හැක්කේ නම් එය විමතියට කරුණකි. සිංහල, සංස්කෘත, පාළි, ඉංගී‍්‍රසි සහ හින්දි භාෂාව පමණක් නොව ප‍්‍රංශ භාෂාව පිළිබඳව ද ඉතා හොඳ විද්‍යාත්මක දැනුමක් හා පරිචයක් ඔහු සතුව පැවතිණි. පැරිසියේ ඉගෙන ගන්නා අවධියේදී සිරි ගුනසිංහ ශුරීන් ප‍්‍රංශ චිත‍්‍ර කලාවට ආදරය කරන්නට පටන් ගත්තා පමණක් නොව ඉන් ලද ආභාෂය තම චිත‍්‍රවල පවා නිරූපණය කරන්නට උත්සාහ කළ බව සමහරු කියති.
බෙංගාල කලාකරුවන් මෙන්ම විද්වතුන් රාශියක් ද සිරිගුනසිංහයන්ගේ ප‍්‍රතිභාව සහ විචාරාත්මක දර්ශනය බෙහෙවින් අගය කළ බව මිතුරෝ පවසති.
සිරි ගුනසිංහයන්ගේ තවත් උත්කෘෂ්ඨ පෞරුෂ ලක්ෂණයක් වූයේ විද්වතුන් තනි තනි කාමරවලට යොමු කර ඔවුන් විශේෂඥයන් ලෙස සැලකීම එතරම් නොවටිනා බවය. අවම වශයෙන් ප‍්‍රධාන අංශ අටක පමණ නියැලෙන්නට එතුමා වෙර දැරුවේ සහ සාර්ථකව ගමන් කළේ මෙම බහුශ‍්‍රැතභාවය පිළිබඳ දැඩිව විශ්වාස කළ බැවිනි. උගත්තු යනු විවිධ ක්ෂේත‍්‍රයන්හි මනා අවබෝධයක් සහ පරිචයක් ඇති කෙනෙකු විය යුතු බව එතුමා විශ්වාස කළේය. තමන් උගතකු වශයෙන් ‘ප‍්‍රතිභාවය’ වර්ධනය කර ගන්නේ නම් ඒ මගින් ඉදිරියට යාමට ඉඩකඩ බහුල බව එතුමා විශ්වාස කළේය. එක් ගුරු කුලයකට බැදී තම පරිචයට සීමා පනවා ගැනීම නොහොබිනා දෙයක් වශයෙන් එතුමා විශ්වාස කළ බව මට වැටහී තිබේ.
සිරි ගුනසිංහයන්ට තවත් ප‍්‍රහාර එල්ල වූ එක් අවස්ථාවක් වූයේ න ණ ල ළ භේදය පිළිබඳව දිවයිනේ පැවති විවාදයයි. එහෙත් එතුමා ඒ කිසිදු විචාරයක් හෝ විචාරකයෙක් සමග උරණ වූයේ නැත. ඒ අය නිර්දය ලෙසින් පලවා හරින්නට උත්සාහ කළේ ද නැත.
පේරාදෙණි සරසවියේ දේශපාලනයට ගොදුරු වූ පරිපාලනය එතුමා රැුකියාවෙන් ඉවත්වී යන තැනට කටයුතු කළ ද, සිරි ගුනසිංහයන් එම සරසවිය සමග උරණ වූයේ නැත. නිහතමානීත්වය කෙතරම් දුරට වර්ධනය වූයේ ද යත් එම සරසවිය විසින්ම එතුමාට සම්මාන ආචාර්ය උපාධියක් පිරිනමන අවස්ථාවේදී එය පිළිගත්තේ බුද්ධිමත් පුද්ගලයකු සතු විය යුතු ගුණාංග අන් අයට ප‍්‍රත්‍යක්ෂ කරමිනි.
සිරි ගුනසිංහයන්ට 90 වැනි විය පිරුණු අවස්ථාවේ මා විසින් එතුමා පිළිබඳව යාත‍්‍රා පත‍්‍රයට ලිපියක් සපයන ලදී. එම ලිපියේ අඩංගු දේවල්වලට වඩා එම පුද්ගලයා කෙබඳු උගතෙක් ද යන්න පෙන්වාදීමට මේ ලිපියේ අරමුණ විය.
යුග ගණනාවකින් පහල වන මෙබඳු නිහතමානී උගතකුගෙන් අපට ලබාගත හැක්කේ කුමක් ද? අද ලාංකීය සරසවිවල සිටින බොහෝ උගතුන්ට ඔහුගේ පරිචයෙන් ඉගෙන ගත හැකි දේ එමට ය. අධික දේශපාලන බලපෑම් නිසා අනන්‍යතාවය තුරන් කර ගත් ලාංකික සරසවි ඇදුරන්ට නැවත තමන් දෙස හැරී බලන්නට කෝණ ගණනාවක් සිරි ගුනසිංහයන් ගේ ජීවන චරිතයෙන් ලබාගත හැකිය.
එක් විෂයකට පමණක් සීමා නොවීම, අභීතව විවේචනවලට මුහුණදීම, ඉදිරි පරම්පරාවලට යමක් ලියා තැබීම හා සමකාලීන ගුරු ශිෂ්‍ය පරම්පරාවන් සමග මිතුරන් බවට පත්වීම මෙන්ම දක්ෂ ගුරුවරයෙකු වශයෙන් ශිෂ්‍යයන්ගේ ආදරයට පත්වීම ඒ සමහර වටනා ලක්ෂණ වේ.
1966 වර්ෂයේදී පේරාදෙණි සරසවිය මුළු ලෝකයෙන්ම 66 වන ස්ථානයේ රැුඳී සිටියේ මෙවන් උගතුන් රට තුළ සේවය කළ නිසාය. 2016 වන විට පේරාදෙණි වැනි සරසවි ලෝක අනුපාතයට අනුව 2500ටත් පහළට වැටී තිබීම සිරි ගුනසිංහ වැනි බහුශ‍්‍රැතයන් බිහිකළ රටක් ආයතන සහ දැනට එම ආයතන උගන්වන ආචාර්යවරුන් විසින් ඉතා ඉක්මනින් සැලකිල්ලට ගත යුතු කරුණකි. යමක් පරිහාණිය කරා ගමන් කරන්නට ගත වන්නේ වසර 10ටත් අවම කාලයකි. එහෙත්, යමක් බැබලවීම සඳහා සාමුහික ප‍්‍රයත්නයක යෙදුනහොත් අපේ උගතුන්ට අපේ සරසවිවල තිබුණු අතීත අසිරිමත්භාවය නැවත ළඟාකර දීම වසර 5කින් පමණ ඉටු කළ හැකි වන්නේය යනු මගේ ප‍්‍රාර්ථනයයි.

Share Button