හීන්සරය

February 12, 2017 in විශේෂාංග

පරිහානියේ සතර අගතීන් ඔබ දුටුවෙහිද?
8657_10153375704869226_7704201333476615879_nදහම් රාජපක්ෂ
යමෙකුට කොපමණ කුසලතා හා දැනුම පිහිටියත්, ඔහු හෝ ඇය තුළ නිවැරදි ආකල්ප නොමැති නම් ලබා ගත හැකි ප‍්‍රගතිය ඉතාමත් අවම බව බොහෝ සමාජ විද්‍යාඥයන්ගේ මතයයි. මෙය විශාල සමාජයක් සඳහා ද එලෙසම බලපාන බවට බොහෝ ප‍්‍රායෝගිතා උදාහරණ ඇත. මෙම විශ්ව සත්‍යයය මනාව අවබෝධ කර ගත් සමහර රටවල නායකත්වය හොඳ සමාජ ආකල්ප ගොඩ නැඟීමට දැඩි කැපවීමකින් උත්සාහ කරනු අප දැක ඇත .
කෙනෙකුගේ ආකල්ප බාහිර පෙනුමෙන් වටහා ගැනීම පහසු නොවේ. අප බොහෝ විට ආකල්ප වටහා ගන්නේ පුද්ගලයන්ගේ කි‍්‍රයාත්මක විම තුළිනි. අයහපත් ආකල්ප සමූහයන් සහිත සමාජයන් පරිහානිය කරා ගමන් කරන බව වටහා ගැනීමට අපට අමතර උදාහරණ අවශ්‍ය නැත.
බොහෝ දුරින් සිටියත් අප මව් රටෙහි ආකල්ප ගොඩ නැගෙන අයුරු වටහා ගැනීමට, ශී‍්‍ර ලංකාවේ අභිවෘද්ධිය ගැන හැඟීමක් මෙන්ම උනන්දුවක් දක්වන හිතවතුන් ගණනාවක් සමග අප බොහෝ අදහස් හුවමාරු කර ගෙන ඇත. එම සාකච්ඡුා තුළින් ගොඩ නැගුණු අදහස්වල නිවැරදි හෝ දෝෂ සහගත බව වටහා ගැන්මට, ශී‍්‍ර ලංකාව තුළ සිදුවන බොහෝ සමාජ කි‍්‍රයාවන් ද අප නිරීක්ෂණයට ලක් කළෙමු.
අප කල එම නිරීක්ෂණයන් අද සමාජයට ඉතාමත් අයහපත් ප‍්‍රතිඵල දෙන බවක් අපට පෙනී ගිය අතර ඉන් වඩාත් දුක්ඛදායි තත්ත්වය වන්නේ ඊළඟ පරම්පරාවට ඉන් ඇතිවන ඉතාමත් අයහපත් බලපෑමයි. අප දුටු පහත දැක්වෙන එම සඳහන් සතර වැදෑරුම් ප‍්‍රවණතාවය, ඔබටද උත්සාහ කල හොත් දැකිය හැකි බව අපගේ විශ්වාසයයි.
මෙම නිරීක්ෂණ රටට සිදුව ඇති සතර අගති ලෙස අර්ථ දැක්වුවහොත්, එය වඩාත් ගෝචර යයි අපට සිතේ.
චෞර පේ‍්‍රමය
වර්ග වාදය
මිත්‍යාව අඳ ගොළු බිහිරි බව

චෞර පේ‍්‍රමය
බහුතරයක් පුරවැසියන් හොරුන්ට ආදරය කරන බව පසුගිය මැතිවරණ ප‍්‍රතිඵල අපට පැහැදිලිව පෙන්නුම් කළේ ය. පත් වූ අති බහුතරය සොර දෙටුවන් බවට ඉතාමත් පැහැදිලි උදාහරණ ඇත. කලක් තිස්සේ ගොඩ නැගුණු මෙම උප සංස්කෘතිය, අද අප බොහෝ ආඩම්බරයෙන් කථාකරන මහා සංස්කෘතියෙහි ප‍්‍රධානතම එක් සංකේතයක් වී හමාර ය. හොරකමෙහි යෙදෙන්නෝ සහ ඒවා ප‍්‍රවර්ධනය කරන්නෝ බොහොමයක් රටෙහි ප‍්‍රභූ පැලැන්තිය වේ. සාමාන්‍ය ජනයාට ඔවුනට පේ‍්‍රම නොකර ජිවත්වීමට හැකි නම් එය අභියෝගයකි. මේ දිනවල කථාබහට ලක්ව ඇති පළමු වසර සඳහා දරුවන් ඇතුළු කිරීමේ දී සිදුවී ඇති විශාල ප‍්‍රමාණයේ වංචා, චෞර පේ‍්‍රමයේ ඉහළම තලය බව අපගේ නිගමනයයි. පාසැලට යාමටත් පෙර කුඩා දරුවනට සොරකම් කිරීම සහ බොරුකීම ගැන අවබෝධයක් ඔවුන්ගේ දෙමාපියන් විසින් ම ලබාදීම තුළින් ඔවුනට චෞර පේ‍්‍රමයේ අත් පොත ගෙදර දීම ලබා දෙන බව අපගේ වැටහීමයි.

වර්ගවාදය
අප බොහෝ විට දකින්නේ වර්ග වාදය ඇත්තේ ජාතිය සහ ආගම පෙරදැරිකරගෙන බවයි. මෙවැනි ආකල්ප ගොඩ නැගීමට සුදුසු දේශනා සම්මන්ත‍්‍රණ නැති තැනක් ශී‍්‍ර ලංකා සමාජය තුළ සොයා ගැනීමට ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. විවිධ අනන්‍යතාවයන් භාවිතයට ගෙන ඒ වටා තම වර්ගයා ගොඩ නගා ගැනීම අන් කවර කලකටත් වඩා රටෙහි පවතී. මේවා ආගම් මූලික කරගත් විවිධ කණ්ඩායම් මෙන්ම ජාතීන් මුල් කර ගත් විවිධ කණ්ඩායම්වලට පමණක් සීමා වී නොමැත. පාසැල, නගර, ප‍්‍රදේශ, විවිධ ක්ෂේත‍්‍ර යනාදිය පෙරටු කොට ගත් සහජීවනයෙන් බැහැරව කි‍්‍රයාත්මක වන පසුගාමී ආකල්පවලින් සැදුම් ලත් කුඩා ලබ්ධික කණ්ඩායම් බහුල ලෙස හතු පිපෙන්නාක් මෙන් ගොඩ නැගෙනු පහසුවෙන් දැකගත හැකි ය.

මිථ්‍යාව :
මිථ්‍යාව ප‍්‍රචලිත කරන්නන්ට සමාජය තෝතැන්නක් වී ඇති සැටි විශ්වාස කල නොහැකි තරම් ය. මොනයම් හෝ තාර්කීය ඥානයක් භාවිත නොකොට කිසිම විමර්ශනයක් නොකොට කනට ඇසෙන ඇසට පෙනෙන හෝ නොපෙනෙන දේ පසු පස හඹා යාම රටෙහි ප‍්‍රධාන ජාතික ලක්ෂණයක් වී ඇත. සියලූම ප‍්‍රධාන ආගම් ශෘස්තෘන් ඉදිරිපත් කල දර්ශනවලට පටහැනි විවිධ ඇදහිලි, මායාවන් සහ භක්තිය වඩවන කි‍්‍රයාවන් පෙරදැරිකර ක්ෂණික විමුක්තිය ලබාගත හැකි යයි පෙන්වන මිථ්‍යාවන් පසුපස යන්නෝ බොහෝ විට සමාජයේ උගත් හෝ ප‍්‍රභූවරුන් යයි හඳුන්වන්නෝ ය. අතට අසුවන කුමන භාණ්ඩයක් හෝ සම්බන්ධකර විජ්ජාවක් හෝ ඇස් බැන්දුමක් පෙන්වා, ආරූඪ කර ගත් භාෂා විලාසිතාවක් මෙන්ම තමුන් ගුරුකොට සලකන වන්දනා මාන, ස්ත්‍රෝත‍්‍ර, ගාථා සහසා අනුන් ලවා ඒවා තමුනට ගායනා කර බොහෝ පිරිස් බලය සහ ධනය ලබා ගත් පුද්ගලයන්ගේ වැඩිවීමද අසාමාන්‍ය ය.

අඳ බිහිරි ගොලූ බව
ඉහත කාරණා ති‍්‍රත්වයම සියැසින් දුටුවත් කනට ඇසුනත්, ඒවා ගැන කිසියම් අංග චලනයකින් හෝ වචනයකින් හෝ තම අප‍්‍රසාදය ප‍්‍රකාශ නොකිරීමටත් ඒවා නිහ`ඩව සිටීමටත් බොහෝ රට වැසියන් පුරුදු පුහුණු වී ඇත්තේ විශ්වාස කල නොහැකි අයුරිනි. අප දන්නා පරිදි මින් බොහෝමයක් අතීතයේදී මෙවන් ආකල්ප නොතිබූ පුද්ගලයන් ය. ශී‍්‍ර ලංකාවේ මෙම කොට්ඨාසය වර්ධනය වන වේගය, ලෝකයේ මොනම මිනුම් දණ්ඩකටවත්, අසුවන බවක් අපට පෙනී ගොස් නැත. මෙවන් නිහඬතාවයක් අප නම් දැක ඇත්තේ, ඉතා දැඩි පීඩනයට ලක්වූ රාජ්‍යයන් හි පමණි.
මෙම සතර අගතීන් අප සංක‍්‍රමික සමාජයටද ක‍්‍රමානුකූලව පැතිර යමින් පවතින බව ඔබ අවදිව සිටිය හොත් දැක ගත හැකිය. එහෙත් ශී‍්‍ර ලංකාවේ වෙසෙන අපගේ නෑදැ හිතවතුන් තරමටම මෙම කරුණු නිසාවෙන් විශාල බලපෑමක් තවමත් අපට සිදු වී නොමැති බව අපගේ තක්සේරුවයි. ඔබ මෙම කරුණු වටහා ගන්නේ නම් අපට ඇති පහත සඳහන් ප‍්‍රධාන අභියෝගයන් දෙක බවට පෙනෙනු ඇත.
-සතර අගතීන් මෙම සමාජයේ ප‍්‍රචලිත වී අපට ඇතිවන අහිතකර බලපෑම් වළක්වා ගැනීම.
-සදාචාරාත්මක වගකීමක් ලෙස සලකා, මෙයට ගොදුරු වී ඇති අපගේ නෑදෑ හිතවතුන් ඉන් ගලවා ගැනීමට ඔබගේ අවධානය යොමු කිරීම.
මෙහි මුල් පියවර, මෙම කරුණු තමුන් වටහා ගෙන ඔවුනට වටහා දීම බව අපගේ විශ්වාසයයි.
මෙම කරුණු තවදුරටත් මෙලෙස වර්ධනය වුවහොත් ඔබගේ දරුවන් ඔවුනගේ ශී‍්‍ර ලාංකික සම්භවය හෝ අනන්‍යතාවය අත හරින දවස වැඩි ඈතක නොවන බව අපගේ අනුමානයයි.

Share Button