එඞ්වින් ආරියදාස;සියවසක් පුරා දැල්වෙන දැනුම පහන

February 12, 2017 in විශේෂාංග

z_p-37-Edwin

එඞ්වින් ආරියදාස
සියවසක් පුරා දැල්වෙන දැනුම පහන

අර්ථාන්විතව ගෙවා දැමූ අනූපස් වසරක ජීවිතය අබිමුවේ ආචාර්ය එඞ්වින් ආරියදාසයන් සිය අතීතය ආවර්ජනය කරනවා නිසැකය. මගේ වෘත්තිය ජීවිතයේ අඳුරුතම වසරක එනම් 2002 දී දිගු ඇසුරකට එකම ආයතනයක දී මුණ ගැසුණු ආරියදාසයන්ගේ පෞද්ගලික ජීවිතයේ සුමට නිරවුල් බව මම එකල්හි හඳුනා ගතිමි.
ආරියදාසයන් දශක හතක පමණ යුග පරාසයක් ආලෝකවත් කළ මිනිසෙකි. ඔහු දැනුම කෙරේ පිපාසිත වූ මිනිසෙකි. එමෙන්ම ඒ උපයා සපයා ගත් මහාර්ඝ දැනුම බෙදා හදා දීමට උත්සුක වූ දානපතියෙකි. දැනුම උකහා ගැනීමේත් බෙදා දීමේත් සිත් ගන්නා සුලූ විලාසයක් තමන් සතුව තිබූ අපූර්වයෙකි.
අද දවසේ මුහුණු පොත . පුවත්පත්, එෆ්.එම්. නාලිකා හා රූපවාහිනී නාලිකා තුළ ගොඩ ගැගෙන කුණු තොරතුරු කන්දරාව ( ඕපා¥ප* හා ඒවා බෙදා හරින සිවිල් චරිත හා එඞ්වින් ආරියදාසයන් අතර ඇති දුර යොදුන් ගණනකි. එමෙන්ම ආරියදාසයන් ඔහු අයත් පරම්පරාවේ ගැඹුර හා වටිනාකම් සමූහයම නියෝජනය කළ අද්විතීය චරිතයකි. ඒ යුගයේ ගැඹුර හා විශිෂ්ටතා පෙන්වන කැඩපතකි.
දශක හතක් තිස්සේ එඞ්වින් ආරියදාසයන් හා ඔහුගේ පරම්පරාවේ මිනිසුන් විසින් දැනුමෙන් පුරවාලන ලද සමාජ අවකාශය අද පිරවෙනු ලැබෙන්නේ තිරස්චීන දේශපාලනයේ තම තමන්ගේ හිතලූ වලිනි. ඒවායේ පදනම ඇත්තේ තමා තුලම මිස විසල් දැනුම ලෝකයක නොවේ.
ආරියදාසයන්ගේ විශිෂ්ටතම බුද්ධිමය දායකත්වය වූ නවයුගය පුවත්පත වැනි පුවත්පතක් අන්තර්ජාලීය ලෝකයක සැරිසරන අදටවත් අතික‍්‍රමණය කිරීමට තබා ඒ කුඩා විශ්වකෝෂයට අහලින්වත් යන ප‍්‍රකාශනයක් බිහි නොවීම මේ යුගයේ දැනුමේ හා දැනුමත්තන්ගේ තරම කියා පායි. අප ද ඇතුළත් ආරියදාසයන්ගේ පසු පරම්පරාවන් බොහෝ දේ කියවන බවත් ලෝකය තොරතුරුමය වශයෙන් දන්නා බවත් හදාරන බවත් සැබෑ ය. එහෙත් ඒ දැනුම මහපොළොවේ, තමන් අයත් සමාජයේ දෙයක් බවට පත් කොට ඒ අසන දකින පුරවැසි සමාජය දැනුමෙන් ශික්ෂිත කිරීමට අප සමත් වී ද? අප අසමත් වන ඒ අත්‍යාවශ්‍ය කාර්ය කිරීම නිසා ආරියදාසයන් විශේෂයෙන්මත් හා ඔහු අයත් බුද්ධිමය පරම්පරාව ඉතිහාසයක් නිර්මාණය කළ වූන්ගේ ගනයට වැටෙති. අපි හිටගෙන සිටින්නේ ඔවුන් තැනූ මණ්ඩප මතය. ආරියදාසයන් සමග කන බොන තැනක සිටින විට, ගමනක් බිමනක් යන විට එකට සිටිමින් වැඩක යෙදෙන විට ඔහුගෙන් කාන්දුවන දැනුම දහරාවක් තිබේ. ඒ කාන්දුවන නිරායාස දැනුමත්, ඔහු වේදිකාවක දී හෝ සභාවක දී හෝ කරන පූර්වයෙන් සකස් කරගත් දේශනයකත් අතර සුවිසල් පරතරයක් නැත . ඒ ආරියදාසයන්ගේ සමස්ත දිවි සැරිය පුරාම අවදිවු දැනුමැත්තෙකු සිටින නිසාය.
අද දේශපාලනයේ ද, ආගමික සමාජයේ ද, බුද්ධිමය සමාජයේ ද, ජනමාධ්‍යවල ද, ව්‍යාපාරික හා අනෙකුත් වෘත්තික ක්ෂේත‍්‍රවල ද එදිනෙදා සමාජයීය සංවාදවල ද අතීතයට සාපේක්ෂව පොදු යමක් තිබේ. ඒ නිම්නැති අශිෂ්ට බවයි. එය ඒවායේ නිමග්න උදවිය දැනුවත්වම නඩත්තු කරන අශිෂ්ට බවකි. ආරියදාසයන් නිමග්න වූ ජනමාධ්‍ය හා දැනුම බෙදා දීමේ ක්ෂේත‍්‍රයේ දී ඔහු විසින්ද ඔහු ගේ පරම්පරාව විසින් ද විශිෂ්ට ලෙස රැුක්කා වූ ශිෂ්ට බව අද නැත්තටම නැතිවී ගොසිනි.
දැනුම විසින් ආගමික හා ජාතිකමය පවුරු ඉවත් කරන බවට හොඳම උදාහරණයකි. එඞ්වින් ආරියදාසයන්. ජාතිකවාදීන් ආගම්වාදීන් බිහිකරන හොඳම නවාතැන් වූ ගම, ඕල්කට් පාසල් ආරියදාසයන්ට ද සෙවන දුන්නත් ඔහු ආගම්වාදියකු හෝ ජාතිවාදියකු නොවූයේ ඔහු ලැබූ විශ්ව දැනුමේ අනුහසිනි.
මීට දශක දෙකකට පමණ පෙර කොළඹ ලංකා බැංකුවේ සිංහල සාහිත්‍ය සංගමයේ අනුග‍්‍රහයෙන් පැවති සාහිත්‍ය සම්මන්ත‍්‍රණයකට එඞ්වින් ආරියදාසයන් ද, මහාචාර්ය නලින් ද සිල්වා ද ඇරයුම් ලබා තිබිණ. මහචාර්ය සිල්වා මාතෘකාවට අදාළ නැතත් සිය සුපුරුදු ජාතික චින්තන කතාවම කළේය. ඊළඟට දේශනයට පැමිණියේ ආරියදාසයන් ය. ඔහු කීවේ ඉන්දියාවේ දුරදර්ශන් රූපවාහිනියෙත් මහා රාමයනය විකාශනය වන අවස්ථාවේ හින්දු බැතිමතුන් රූපවාහිනී යන්ත‍්‍රයට මල් පහන් පුදමින් ගරු කරන බවයි. එහෙත් හින්දු පුවත්පතේ කලා විචාරකයෙක් මෙ රාමායනය මාලා නාටකය දුර්වල කෘතියක් බව සිය පුවත්පතට ලියා තිබිණි. පසුව එකී විචාරකයාද රාමායනය නරඹමින් සිටියදී සිය රූපවාහිනියේ තිරය පුපුරා ගියේය. මේ කතාව වර්ණ පිහිටුවමින් සභාවට පැවසූ ආරියදාසයන් උපහාසාත්මකව නලින් ද සිල්වාට අවවාද කළේ ‘ඔබත් මෙවැනි කතාවලින් පසුව රූපවාහිනි නරඹන විට පරෙස්සම් වන’ ලෙසයි.
තොරතුරු දැනුම් විෂයක් බවට පත් කරමින් උපහාසාත්මකව යළි උපයෝගී කර ගැනීමට ආරියදාසයන්ට තිබූ හැකියාවට හොඳම උදාහරණයකි ඒ.
ආරියදාසයන් විශ්වවිද්‍යාලයකට සින්න නොවීම නිසා ඔහු සතු දැනුමේ ආලෝකය හත් දශකයක් පුරා සමස්ත දේශයටම ලබාදීමට ඔහුට හැකියාව ලැබිණ. එහෙත් ඒ නිසාම අත මිට යහමින් සරු නැතිව ගාලගෝට්ටි පරිසරයක තට්ටු නිවසක සිය දිවි සැරිය ගත කරන්නට එතුමන්ට සිදුව තිබේ. එපමණක් නොව විවේකයක් ගැන නොතකා සිය මහලූ වියේදීත් වැඩ කරන්නට ඔහුට සිදුව තිබිණ.
අද අප රට ගෙවා දමන දරුණුම ඛේදවාචකය ජාතිවාදය හා ඒ ඇසුරේ වැඩෙන ආගම්වාදයයි. එයට එක් ප‍්‍රධාන හේතුවක් වන්නේ සංහිඳියා සම්පන්න ලෝකයක රුව ගුණය පිළිබඳ දැනුම ශී‍්‍ර ලාංකීය පුරවැසි සමාජයට නිසි ලෙස නොලැබීමයි. කවුරු කෙසේ කීවත් ඒ දැනුම එන්නේ බටහිර දෙසිනි. ලෝක යුද්ධ දෙකක අමිහිරි අත්දැකීම් සමග මාක්ස්වාදය හා ලිබරල්වාදයේ සංකල්ප ප‍්‍රධාන වශයෙනුත් අනේක විධ ආගම් හා දර්ශනයන් නිශ්චිතව විමර්ශනයට ලක් කොට ඒ සියල්ල ඇසුරින් තනාගත් පාලන ක‍්‍රම හා ජීවන විලාසයක් බටහිරයන් තනාගෙන ඇත. අනෙකාට ගෞරව කිරීම හා අනෙකාගේ ‘අනෙක් බව’ රැුකීම ඔස්සේ ජාතිවාදයන් ආගම්වාදයත් ශිෂ්ටාචාර හා සංවර්ධන බාධාවක් නොකර ගෙන ඇත.
දේශපාලන මතවාද දෙස උපේක්ෂාවෙන් බැලීම ආරියදාසයන්ගේ ජීවන විලාසිතාව යයි මම සිතමි. එහෙයින් ම ඔහුට බටහිර දැනුම අගතියකින් තොරව දේශපාලන කවරයක නොබහා දැනුම විශේෂයක් ලෙසම සමාජයට ලබා දීමට හැකි විය. ආරියදාසයන්ගේ ඒ උපේක්ෂාවම වාම දේශපාලනය ප‍්‍රබලව තිබූ 70 හා 80 දශකයන්හි එතුමා ගර්හාවට ලක්වීමටද හේතු කාරක විය.
අනූපස් විය සපුරන ආරියදාසයන් සිය කතා බහෙන් ලිවීමෙන් හා හැසිරීමෙන් පෙන් වූ මහ`ගු ගුණ සමුදාය දුහුනන් විසින් ආදර්ශයට ගැනීමට තරම් වටනේය. දශක හතක් පුරා අඛංඩව සිය මෙහෙවර ඉටු කරමින් නොනැසෙන තාරුණ්‍යයකින් යුතුව හා උපේක්ෂාවෙන් යුතුව සමාජය දෙස බලා සිටී. ඔහුගේ සෘජු දැනුම ලාභීන් වූ අපේ පරම්පරාව එක්තරා අයුරකින් එතුමන්ට ණයගැතිය.
චන්ද්‍රරත්න බණ්ඩාර

Share Button