එබෝලා ලංකාවට එයිද?

September 7, 2014 in විශේෂාංග

ebolaඑබෝලා යනු මේ දිනවල කවුරුත් කතා කරන මාතෘකාවකි. එබෝලා පැතිරෙමින් තිබෙන ලයිබීරියාව නම් අපි‍්‍රකානු රටේ සේවය කරමින් සිටි ලාංකිකයන් 200ක් ආපසු ගෙන්වා ගන්න ලංකාව කටයුතු කළා. මේ දිනවල එබෝලා පැතිරීම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක හදිසි තත්වයක් ප‍්‍රකාශයට පත් කරලා.
මොකක්ද මේ එබෝලා? එබෝලා රක්තපාත රෝගය නමින් හැඳින්වෙන මෙම රෝගය වයිරස් ආසාදනයක්. එය කෙතරම් භයානක එකක් ද කියනවා නම් මරණ අනුපාතිකය 90% කට වැඩියි. ඒ කියන්නේ වැළඳුනොත් 90% ක් ම ඉඩ තිබෙන්නේ මිය යන්නයි.
එබෝලා වයිරසයේ ප‍්‍රභේද පහක් හඳුනාගෙන නම් කර තිබෙනවා. දැනට රෝග පැතිරෙමින් තිබෙන්නේ අපි‍්‍රකා මහාද්වීපයේ වුණත්, මෙම වයිරස් ප‍්‍රභේද අතරින් එකක් චීනයේ හා පිලිපීනයේත් සතුන් අතර පැතිර තිබෙනවා. එය මිනිසුන්ටත් බෝ විය හැකි වුණත්, තවම මරණ වාර්තා වී නැහැ.
එබෝලා මිනිසුන්ට බෝ වන්නේ පලතුරු වවුලන්, වඳුරන්, චිම්පන්සීන්, ගෝරිල්ලන් වැනි වන සතුන්ගෙන්. එහෙත්, එය මිනිසුන් අතර පැතිරුණු පසු මිනිසාගෙන් මිනිසාට ස්පර්ශයෙන් බෝ වෙනවා. ආසාදිතයන්ගේ ලේ, සෙම්-සොටු වැනි තරලයන් මගින් වෙනත් අයට රෝගය බෝ වෙනවා. රෝගය වැළඳුණු අය දැඩි සත්කාර ලැබිය යුතුයි. සුව වූ අයත් සති හතක පමණ කාලයක් රෝගය බෝ කරන වාහකයන් ලෙස කටයුතු කරනවා.
එබෝලා වසංගත තත්වයකදී නිසි පරිදි අසාදන පාලනයකින් කටයුතු නො කළොත් සෞඛ්‍ය සේවකයන් දැඩි අනතුරුදායක තත්වයකට පත් වෙනවා.
මේ වයිරස් ආසාදනය සුව කිරීම සඳහා හෝ රෝගය වළක්වා ගැනීම සඳහා එන්නතක් හෝ වෙනත් ප‍්‍රතිකාරයක් තවම සොයාගෙන නැහැ.
එබෝලා මුලින් ම වසංගතයක් ලෙස පැන නැගුණේ 1976 දී සුඩානයේ හා කොංගෝවේයි. රෝගය පැතිරුණු එක් ප‍්‍රදේශයක් පිහිටා තිබුණේ කොංගෝවේ එබෝලා නදිය අසබඩයි. වයිරසයට එබෝලා යන නම පටබැඳුණේ ඒ නිසායි.
ක්ෂණික තද උණ, අධික දුබලකම, මස් පිඬු වේදනා, උගුරේ වේදනාව තමයි මූලික ලක්ෂණ. ඉන පසු වමනය, පාචනය, සමේ කුෂ්ට, වකුගඩු හා අක්මා කි‍්‍රයාකාරිත්වය බිඳවැටීම හා ඇතැම් විට බාහිර මෙන් ම අභ්‍යන්තර රුධිරය වහනය වීම් ද දක්නට ලැබෙනවා. රුධිරයේ සුදු රුධිරාණු හා පට්ටිකා පහත වැටෙනවා. අක්මා එන්සයිම ඉහළ යනවා. රුධිරයේ හා අනෙකුත් තරලවල වයිරසය පවතින තාක් කල් රෝගීන් වාහකයෝ වෙනවා. රෝගය මතු වී දින 61 කට පසුවත් රෝගීන්ගේ තරලවලින් වයිරසය සොයාගෙන තිබෙනවා. ආසාදනය වී දින දෙකත් 21 ත් අතර කාලය තුළ රෝගය ඉස්මතු වෙන්න පුළුවන්. රෝගීන් විජලනයට පත් වීමේ අනතුරට මුහුණ දෙනවා. රෝගයට නිශ්චිත ප‍්‍රතිකාරයක් නැහැ.
මෙවර එබෝලා වසංගතය පැතිර යමින් තිබෙන අපි‍්‍රකානු රටවල් අතරින් දරුණු ම තත්වය තිබෙන්නේ සියරා ලියෝන්හි ය. අගෝස්තු 12 වන විට එහි රෝගීන් 700 කට වඩා වාර්තා වී තිබුණා. ලයිබීරියාවෙන් 600ක් පමණ රෝගීන් ද, ගිනියාවෙන් 500 කට වඩා ද රෝගීන් වාර්තා වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව, හඳුනා ගත් රෝගීන් 1848 ක් අතරින් 1013ක් ම මිය ගොස් තිබෙනවා.
ලයිබීරියාවේ අගනුවර වන මොන්රෝවියාවේ තත්වය ඉතා දරුණුයි. ජලය හා සනීපාරක්ෂක පහසුකම් අඩු, අධික ජනගහණයක් ජීවත් වන නගරයක් වන මොන්රෝවියාවේ මේ වන විට මහ මග මළ සිරුරු කුණු වී යන තත්වයක් ඇති වී තිබෙනවා. සෞඛ්‍ය සේවකයන් 40කට වඩා රෝගයට ගොදුරු වී තිබෙනවා. මේ වන විට රෝහල් නිසි පරිදි පැවැත්වෙන්නේත් නැහැ.
මේ රටවල සෞඛ්‍ය පහසුකම්වල තත්වය සිතා ගන්න පහත සඳහන් කරුණ ප‍්‍රමාණවත්. ලයිබීරියාවේ 42 ලක්ෂයක් ජනතාවට වෛද්‍යවරුන් ඉන්නේ 250ක් පමණයි. ලයිබීරියාව බටහිර අපි‍්‍රකාවේ වෙරළබඩ පිහිටි වර්ග කිලෝමීටර් 111×369 ක් විශාල වන, ලංකාවට වඩා ලොකු රටක්. ඝර්ම කලාපීය දේශගුණයක් තිබෙන ඒ රටේ 40%ක් පමණ භූමිය ආවරණය වී තිබෙන්නේ ඉහළ ගිනියානු වැසි වනාන්තරයෙනුයි. මේ කාලය ලයිබීරියාවේ වැසි කාලයයි.
ලයිබීරියාව කියන්නේ 19 වන සියවසේදී ඇමරිකාව විසින් බිහි කරන ලද රාජ්‍යයක්. නැව්වලින් හා වෙනත් සේවාවන්ගෙන් මුදා හරින ලද කළු ජාතික වහලූන්ව පදිංචි කිරීමෙනුයි ලයිබීරියාව අලූතින් ජනාවාස කළේ. එහි ස්වදේශික අපි‍්‍රකානු ගෝති‍්‍රක ජනයාත් ජීවත් වුණා. අලූතින් පදිංචි කරන ලද ජනතාව 1847 දී ඇමරිකා ස්වරූපී රාජ්‍යයක් පිහිටුවා ගත්තා. එහි අගනුවර මොන්රෝවියාව ලෙස නම් කර තිබෙන්නේ එක්සත් ජනපදයේ පස්වන ජනාධිපති වන ජේම්ස් මොන්රෝ සිහිපත් වන්නයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරම්භක රටක් වන සංවර්ධනය වෙමින් පැවති ලයිබීරියාවට කණ කොකා හැඬුවේ 1980 හමුදා කුමන්ත‍්‍රණයෙන් පසුවයි. එතැන් සිට ඇති වූ සිවිල් යුද්ධවලින් 250,000 ත් 300,000ත් අතර ජනගහණයක් මිය ගියා.
ලයිබීරියාව වටා පිහිටා තිබෙන රටවල් වන්නේ සියරා ලියොන්, ගිනියා හා අයිවරි කෝස්ට් ය. මුලින් කී රටවල් දෙකත් මේ වන විට එබෝලා වසංගතයෙන් බැට කමින් තිබෙනවා. සියරා ලියෝන්හි ප‍්‍රධාන පෙළේ වෛද්‍යවරුන් දෙදෙනෙක් ද එබෝලා රෝගීන්ට ප‍්‍රතිකාර කරද්දී රෝගය වැළඳීමෙන් මිය ගියා. නයිජීරියාවට ගිය ලයිබීරියානු රාජ්‍ය තාන්ති‍්‍රකයකු එහිදී මිය ගියා. ඔහුගෙන් නයිජීරියාවටත් එබෝලා පැතිරුණා.
එබෝලා ලෝක වසංගතයක් වෙන්නට ඉඩ තිබෙනවා. මේ වන විට සවුදි අරාබියෙන් හා ස්පාඤ්ඤයෙන් ද එබෝලා මරණ වාර්තා වී තිබෙනවා. සවුදි අරාබිය කියන්නේ ලාංකිකයන් විශාල පිරිසක් ඉතා දිළිඳු හා අනතුරුදායක රැුකියාවල නියැලී සිටින රටක්. එවැනි රටක රෝගය පැතිරුණොත් මුලින් ම අනතුරට පත් විය හැකි පිරිස් අතර ලාංකික විදේශ ශ‍්‍රමිකයෝ ඉන්නවා.

(W3Lanka )

Share Button